11. ඒකාදසක නිපාතය
1. මාතුපෝසක ජාතකය (455)
තස්ස නාගස්ස විප්පවාසෙන යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ මව්පෝෂණය කළ භික්‍ෂුවක අරබයා දේශනා කළ සේක. වර්තමාන කථා පුවත සාම ජාතකයෙහි කථා ප්‍රවෘත්තිය හා සමානය. ශාස්තෲන් වහන්සේ භික්‍ෂූන් අමතා මහණෙනි, මේ භික්‍ෂුවට නොබනිව්. පැරණි පණ්ඩිතයෝ තිරිසන් යෝනියෙහි උපන්නාහුද මවගෙන් වෙන් වූවාහු සත්දිනක් නිරාහාරව වියලෙන්නාහු රජුන්ට සුදුසු බොජුන් ලැබද මව නැතිව අනුභව නොකරන්නෙමුයි කියා මව දැකම ගොදුරු ගත්තාහු යයිද කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝසත් තෙම හිමවත පෙදෙසෙහි ඇත් කුලයෙහි ඉපදී මුළුමනින්ම සුදු වූයේ වීය. මනා රූ ඇත්තේය. අසූදහසක් ඇතුන් පිරිවරකොට ඇත. ඔහුගේ මව අන්ධය. හෙතෙම මිහිරි මිහිරි ලොකු කුඩා ගෙඩි ඇතුන්ට දී මව සමීපයට යවයි. ඇත්තු ඇයට නොදී තමාම කත්. හෙතෙම පරීක්‍ෂා කරනුයේ ඒ ප්‍රවෘත්තිය දැන සමූහය හැර මගේ මව පෝෂණය කරන්නෙමි යයි රාත්‍රී කාලයෙහි අන් ඇතුන් නොදනිද්දීම මව ගෙන චණ්ඩෝර නම් පර්වතය මුලට ගොස් එක් නෙලුම්විලක් ඇසුරුකොට තිබූ පර්වත ගුහාවෙක මව තබා පෝෂණය කෙළේය. ඉක්බිති බරණැස් වැසි එක් වනචරයෙක් (වැද්දෙක්) මංමුළා වූයේ දිසාව තීරණය කරන්නට අපොහොසත් වූයේ මහත් වූ ශබ්දයෙන් කෑගැසුවේය. බෝසත් තෙමේ ඒ ශබ්දය අසා මේ පුරුෂයා අනාථ වූවෙකි. යම් හෙයකින් මා ඇති කල්හි මෙහිදී නැසේනම් එය නුසුදුසු යයි ඔහු සමීපයට ගොස් බියෙන් පලායන ඔහු දැක එම්බා පුරුෂය, මා නිසා තොපට බියක් නැත. පලානොයව. කුමක් හෙයින් තොප හඬමින් හැසිරෙහිදැයි විමසා ස්වාමීනි, මම මංමුළා වූවෙක්මි. අද මගේ සත්වන දවස යයි කී කල්හි එම්බා පුරුෂය, බිය නොවෙව. මම ඔබ මනුෂ්‍ය වාසයෙහි තබන්නෙමියි ඔහු තමාගේ පිටෙහි හිඳුවා වනයෙන් බැහැරකොට පෙරළා පැමිණියේය. ඒ පවිටු පුරුෂයා ද මම නගරයට ගොස් රජුට දන්වන්නෙමියි. ගස් සළකුණු ද පර්වත සළකුණු ද කරන්නේම නික්මී බරණැසට ගියේය.
එකල්හි රජුගේ මංගල ඇතා කළුරිය කළේය. රජු ඉදින් කවරෙකු විසින් හෝ කිසිතැනක නැගීමට සුදුසු ඇතෙකු දක්නා ලද්දේ ඇත්ද ඔහු කියවයි බෙර හැසිරවීය. ඒ පුරුෂයා රජු වෙත එළඹ දේවයන් වහන්ස, මම ඔබවහන්සේට නැගීමට සුදුසුවන මුළුමනින්ම සුදු හීලෑ ඇත් රජකු දැක්කෙමි. මම මාර්ගය කියන්නෙමි. මා සමග ඇත් ඇදුරන් යවා ගෙන්වා ගනුව යයි කීවේය. රජු මැනවයි මොහු මාර්ගදේශකයා කර වනයට ගොස් මොහු විසින් කියන ලද ඇත්රජු ගෙන එවයි ඒ වනචාරියා සමග මහත් වූ පිරිවරින් හස්ත්‍යචාර්යයා යැවීය. හෙතෙම ඔහු සමග ගොස් පියුම්විලට පිවිස ගොදුරු ගන්නා වූ බෝසතුන් දුටුවේය. බෝධිසත්වයන් ද හස්ත්‍යාචාර්යයා දැක මේ බිය අනිකෙකුගෙන් උපන්නේ නොවේ. ඒ පුරුෂයා වෙතින් උපන්නක් වන්නේය. මම වූ කලී මහත් බල ඇත්තෙමි. ඇතුන් දහසක්ද නසන්නට පොහොසත් වෙමි. කිපී රටවල් සහිත බලසේනා වාහන නසන්නට පොහොසත් වෙමි. ඉදින් කිපෙන්නෙමි නම් මගේ සිල් බිඳෙන්නේය. එහෙයින් අද කොටනු ලබන්නේද නොකිපෙමි යි අධිෂ්ඨාන කොට හිස නමා නිසලව සිටියේය. හස්ත්‍යාචාර්යයා පියුම්විලට බැස ඔහුගේ ලක්‍ෂණ සම්පත් දැක එව පුතැයි රිදීදමක් හා සමාන වූ සොඬින් ගෙන සත්වන දවසෙහි බරණැසට පැමිණියේය. බෝසතුන් මව පුතු නොඑන කල්හි මගේ පුතා රාජමහාමාත්‍යයන් විසින් ගෙනයන ලද්දේ වන්නේය. දැන් ඔහුගේ පිටත වාසය කිරීමෙන් මේ වනලැහැබ හඬන්නේ යයි විලාප නගමින් ගාථා දෙකක් කීවාය.
තස්ස නාගස්ස විප්පවාසෙන - විරූළ්හා සල්ලකීව කූටජාච,
කුරුවින්‍දකර වරාභි සසාමා - නිවාතෙ පුප්ඵිතාච කණිකාරා
1. ඒ ඇතුගේ වෙන්වීම නිසා නිසැකයෙන්ම ඉඳුසල් ගස් ද කෙළිඳ ගස් ද කුරුඳු ගස් ද ඉළුක් වැනි මහතෘණ ද බොඩහමු ගස් ද හඬමින් වැඩෙත්. පර්වත පාමුල කිණිහිරි ගස් මල් පිපී ගියහ.
2. රන් අබරණ ඇති යම් රාජ-රාජමහාමාත්‍යයෝ ඇත් රජු ආහාරයෙන් පෝෂණය කරත්ද, රජුද රාජකුමාරයාද යම් ඇතෙකු පිට නැගුනේ බිය රහිතව සතුරන්ගේ යුද සැට්ට බිඳින්නේද?
එහි විරූළ්හා යනු වැඩුනේ නම් වේ. මෙහි සැකයක් නැතැයි සැක රහිත වශයෙන් මෙසේ කීය. සල්ලකී ච යනු ඉඳුසල් හා කෙළිඳ ගස් ද, කුරුවින්‍ද කරවරා භිසස්මා යනු කුරුවින්‍ද ගස් ද කරවර නම් වූ මහ තණකොළ ද බොඩහමු ගස් ද සාමාත නම් ධාන්‍ය වර්ගයදැයි අර්ථයි. මේ සියල්ලෝම දැන් වඩ්ඪිස්සන්ති වැලපෙත්. නිවාතෙ යනු පර්වත පාමුල. පුප්ඵිතා යනු මගේ පුත්‍රයා විසින් අතු කඩා නොකනු ලබන කිණිහිරි ගස් මල් පිපුණාක් මෙන් වැඩුනේ වේ යයි කියන ලද්දේ වෙයි. කොචි දෙව යනු කිසියම් ගමක හෝ නගරයක හෝ. සුවණ්ණකායූරා යනු රන් අබරණ ඇති රාජ රාජමහාමාත්‍යයෝය. භරන්ති පිණ්ඩෙන යනු අද මාතෘපෝෂක ඇත්රජු රජුන්ට සුදුසු වූ භෝජනයන්ටත් වඩා වඩනා ලද ආහාරයෙන් පෝෂණය කරත්. යත්‍ථ යනු යම් ඇත්රජෙකු පිට රජු හිඳ. කවචම භි භෙස්සති යනු යුද්ධයට පිවිස පසමිතුරන්ගේ යුදසැට්ටය විනාශ කරන්නේ ය. බිඳින්නේ ය. මෙය කියන ලද්දේ වෙයි. යමෙක් මගේ පුතු මත හුන් රජු හෝ රාජ කුමාරයා හෝ බිය නොවී පස මිතුරන්ගේ යුද සැට්ටය විනාශ කරන්නේ ය. එය හඟිමින් ඇත් රජුම රජවරු අද ආහාරයෙන් පෝෂණය කරත්.