7. දසරථ ජාතකය (461)
එථ ලක්ඛණ සීතා ච යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන්නේ එක් පියා මළ කෙළෙඹියෙකු අරභයා දේශනා කළ සේක. ඔහු පියා කළුරිය කළ කල්හි ශෝකයෙන් මඩනා ලද්දේ සියළු කටයුතු අත්හැර ශෝකය අනුව පවතින්නෙක් වීය. බුදුරජාණෝ අළුයම් කාලයෙහි ලොව බලන්නේ ඔහුගේ සෝවාන් ඵලයට පැමිණීමේ හේතුසම්පත් දැක දෙවන දවස්හි සැවැත්නුවර පිඬු පිණිස හැසිරී කරන ලද බත් කිස ඇත්තේ භික්‍ෂූන් පිටත්කර යවා අනුව යන්නා වූ එක් භික්‍ෂුවක් ගෙන ඔහුගේ ගෙට ගොස්, වැඳ සිටි ඔහුට මිහිරි වචනයෙන් අමතන්නේ උපාසකය, කුමක් හෙයින් ශෝක කරන්නෙහිදැයි කියා. එසේය ස්වාමීනි, පියා මළ ශෝකය මා පීඩාවට පත් කරයි යි කී කල්හි උපාසකය, පෙර පණ්ඩිතයන් අෂ්ටලෝක ධර්මයන් තත් වූ පරිදි දැනගෙන පියා මළ කල්හි ස්වල්ප වූද ශෝකයක් නොකළාහු යයි කියා ඔහු විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පෑ සේක.
අතීතයෙහි බරණැස් නුවර දසරථ නම් මහරජ අගතිගාමී බව අත්හැර දැහැමිව රාජ්‍යය කරවීය. ඔහුගේ සොළොස් දහසක් ස්ත්‍රීන්ට ප්‍රධාන වූ අගමෙහෙසිය පුතුන් දෙදෙනෙකුද එක් දුවක්ද වැදුවාය. වැඩිමහල් පුතා රාම පණ්ඩිතයා නම් වීය. දෙවැන්නා ලක්ඛණ කුමාරයා නම් වීය. දුව සීතා දේවී නම් වීය. මෑත කාලයෙහි අගමෙහෙසිය කළුරිය කළාය. රජු ඇය කළුරිය කල්හි බොහෝ කලක් ශෝකයෙහි වසඟයට ගොස් අමාත්‍යයන් විසින් අවබෝධ කරවන ලද්දේ ඇයට කළයුතු අවසන් කටයුතු කොට අන් තැනැත්තියක් අග්‍රමහේෂී තනතුරෙහි තැබීය. ඇය රජුට ප්‍රිය වූවාය. සිත් ගත්තීය. ඇයද මෑත කාලයෙහි ගැබ්ගෙන ලබන ලද ගැබ ආරක්‍ෂා ඇත්තී පුත්‍රයෙකු වැදුවාය. ඔහුට ‘භරත’ කුමාරයායි නම් කළාහුය. රජ පුත්‍ර ස්නේහයෙන් සොඳුර, තොපට වරයක් දෙමි. ගනුව යයි කීවේය. ඇය ගන්නා ලද්දක් කොට තබා කුමාරයාගේ අවුරුදු සත අට වයස් කාලයෙහි රජු වෙත එළඹ, දේවයන් වහන්ස, ඔබ විසින් මගේ පුතාට වරයක් දෙන ලදි. දැන් ඔහුට එය දෙවයි කීය. සොඳුර, ගනුවයි. දේවයන් වහන්ස මගේ පුතාට රාජ්‍යය දෙවයි. රජු අසුරු ගසා වසලිය නැසේවා! මගේ පුතුන් දෙදෙනා ගිනිකඳන් මෙන් දිළිසෙති. ඔවුන් මරවා ඔබගේ පුතාට රාජ්‍යය ඉල්ලන්නෙහිදැයි තර්ජනය කෙළේය. බියට පත් වූ ඇය සිරියහන් ගැබට පිවිස අන් දවස්හිදී නැවත නැවතත් රජුගෙන් රාජ්‍යයම ඉල්වීය.
රජු ඇයට ඒ වරය නොදීම සිතුවේය. ස්ත්‍රිය නම් කළගුණ නොදන්නීය. මිත්‍රද්‍රෝහීය. මැය කපටි සහගත ලෙස ගිවිසුම් කර හෝ කපටි ලෙස අල්ලස් දී හෝ මගේ පුතුන් මරවන්නේ යයි සිතීය. හෙතෙම පුතුන් කැඳවා දරුවෙනි, මෙහි වසන්නා වූ නුඹලාට අනතුරක් වන්නේය. තෙපි සමීප රාජ්‍යයට හෝ වනයට හෝ ගොස් මා මළ කල්හි අවුත් කුලය සතුවූ රාජ්‍යය ගනුව යයි කියා - නැවත නිමිති කියන්නන් කැඳවා තමාගේ ආයුෂ කාලය විමසා දොළොස් වසරකට වඩා පවතින්නේය යි අසා දරුවෙනි, මෙයින් දොළොස් වසරක් ඇවෑමෙන් අවුත් සේසත් නංවන්නහු යයි කීය. ඔවුහු මැනවයි කියා පියා වැඳ හඬමින් පහයෙන් බැස්සාහුය. සීතා දේවියද මමද සොහොයුරන් සමගම යන්නෙමියි පියා වැඳ හඬන්නී නික්මුනාය. ඒ තිදෙනට මහජනයා විසින් පිරිවරන ලද්දාහු නගරයෙන් නික්ම මහජනයා නවත්වා පිළිවෙලින් හිමාලයට පිවිස ජලයෙන් යුත් ලොකු කුඩා ගෙඩි සුලභ වූ ප්‍රදේශයක ආශ්‍රමයක් කරවා ලොකු කුඩා ගෙඩිවලින් යැපෙන්නාහු වාසය කළහ.
ලක්ඛණ පණ්ඩිතයාද සීතා දේවියද රාම පණ්ඩිතයන් අයැද තෙපි අපගේ පිය තනතුරෙහි සිටියේය. එහෙයින් අසපුවෙහිම සිටුව. අපි ලොකු කුඩා ගෙඩි ගෙනවිත් තොප පෝෂණය කරන්නෙමුයි ප්‍රතිඥාවක් ගත්තේය. එතැන් පටන් රාම පණ්ඩිතයා එහිම වෙයි. අන්‍යයෝ ලොකු කුඩා ගෙඩි ගෙනවුත් ඔහු පෝෂණය කළාහුය. මෙසේ ඔවුන් ලොකු කුඩා ගෙඩිවලින් යැපී වසන කල්හි දසරථ මහරජු පුත්‍ර ශෝකයෙන් නවවන අවුරුද්දෙහි කළුරිය කෙළේය. දේවිය ඔහුගේ සිරුර දවා තමාගේ පුතු වූ භරත කුමාරයාට සේසත් ඔසවවයි කීවාය. ඇමතියෝ සේසතෙහි ස්වාමිවරු වනයෙහි වසත් යයි නොදුන්නාහුද? භරත කුමාරයා මගේ සොහොවුරු රාම පණ්ඩිතයා වනයෙන් ගෙන්වා සේසත් නංවාලමියි පස්වැදෑරුම් රාජ්‍යත්‍වයේ උපකරණ ගෙන සිව්රඟ සෙනඟ සමග ඔහු වසන තැනට ගොස් නුදුරෙහි කඳවුරු බැඳ ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග ලක්ඛණ පණ්ඩිතයාද සීතා දේවිය ද වනයට ගියකල්හි ආශ්‍රමයට පිවිස ආශ්‍රම දොරටුවෙහි මනාව තබන ලද රන්රුවක් මෙන් සැක නැතිව සුවසේ හුන් රාම පණ්ඩිතයා වෙත එළඹ වැඳ එකත්පස්ව සිටියේ රජුගේ තොරතුරු කියා ඇමතිවරුන් සමඟ පාදයන්හි වැටී හැඬුවේය. රාම පණ්ඩිතයා ශෝක නොකළේමය. නොහැඬීය. ඉඳුරන්ගේ වෙනස්වීම පමණක් හෝ නොවීය. භරත කුමරු හඬා සිටිකල්හි සවස් කාලයෙහි අන් දෙදෙනා ලොකු කුඩා ගෙඩි රැගෙන ආවාහුය. රාම පණ්ඩිතයා සිතීය. මේ දෙදෙන තරුණය. මම මෙන් විමසීමේ නුවණ මොවුන්ට නැත. තොපගේ පියා මළේයයි වහා කී කල්හි ශෝකය දරන්නට නොහැකි වන්නා වූ ඔවුන්ගේ හදවතද පැලෙන්නේය. උපක්‍රමයෙකින් ඔවුන්ට ජලයට බස්සවා මේ පුවත අස්වන්නෙමි යි. ඉක්බිති ඔවුන්ට ඉදිරියේ වූ එක් ජලය ඇති තැනක් පෙන්වා තෙපි බොහෝ වේලා ගතකොට පැමිණියෝ වෙති. මෙය ඔබලාට දඬුවම වේවා! මේ ජලයට බැස සිටුවයි පළමුකොට ගාථා අර්ධයක් කීය.