6. යුද්ධඤ්ජය ජාතකය (460)
මිත්තා මච්ච පරිබ්බූළ්හං යන මේ ගාථාව ශාස්තෲන් වහනසේ ජේතවනයෙහි වාසය කරන සේක් මහා අභිනිෂ්ක්‍රමණය අරබයා දේශනා කළ සේක. එක් දිනයක් දම්සභා මණ්ඩපයෙහි රැස් වූ භික්‍ෂූන් වහන්සේලා ඇවැත්නි, ඉදින් දසබලධාරී බුදුරජ ගිහිගෙයි විසුයේ නම් සියළු සක්වල ගැබහි සක්විති රජ වන්නේය. සත්රුවනින් යුක්ත වූ සතර වැදෑරුම් සෘද්ධියෙන් යුක්ත වූයේ දහසකට වැඩි පුත්‍රයන් පිරිවර කොට ඇති හෙතෙම මෙබඳු වූ ශ්‍රී සම්පත්තිය හැර කාමයෙහි දොස් දැක මධ්‍යම රාත්‍රී කාලයෙහි ඡන්න ඇමතියා සහායකොට ඇත්තේ කන්ථක අසුපිට නැගී නික්මී අනෝමා ගංතෙරදී පැවිදි වී සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කර සම්මා සම්බුදු බවට පත්වූයේ යයි ශාස්තෲන් වහන්සේගේ ගුණ කථා කීවාහුය. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කවර කථාවෙකින් යුක්ත වූවෝදැයි විමසා මෙනම් වූවනකැයි කී කල්හි මහණෙනි, තථාගතයන් වහන්සේ මහාභිනිෂ්ක්‍රමණයෙන් නික්මුනේ දැන් පමණක් නොවේ. පෙරද දොළොස් යොදුන් වූ බරණැස්නුවර රාජ්‍යය හැර නික්මුණේම යැයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි රම්‍ය නම් වූ නගරයෙහි සබ්බදත්ත නම් රජෙක් වීය. මෙය උදයභද්‍ර ජාතකයෙහි සුරුන්‍දන නම් වීය. චුල්ලසුතසෝම ජාතකයෙහි සුදස්සන නම් වීය. සොනනන්‍ද ජාතකයෙහි බ්‍රහ්මවද්ධන නම් වීය. ඛණ්ඩහාල ජාතකයෙහි පුප්ඵවතී නම් වීය. මේ යුද්ධඤ්ජය ජාතකයෙහි රම්ම නම් නගරය වීය. මෙසේ කිසිදිනක මෙහි නම වෙනස් වේ. එහි සබ්බදත්ත රජුට පුතුන් දහසක් වීය. යුද්ධඤ්ජය නම් වූ වැඩිමහල් පුතුට යුවරජ තනතුර දුන්නේය. ඔහු දිනපතා මහදන් පැවැත්වීය. මෙසේ කල් ගතවන කල්හි බෝධිසත්ත්ව තෙමේ එක් දවසක් උදෑසනම උතුම් රථයකට නැගී මහත් වූ ශ්‍රී සම්පත්තියෙන් උද්‍යාන ක්‍රීඩාවට යන්නේ ගස් අග තණ අග අතු අග මකුළුදැල් ආදියෙහි මුතුදැල් ආකාරයෙන් ලැගුනු පිනිබිඳු දැක යහළු රථාචාරියෙනි මේ කුමක්දැයි විමසා, දේවයන් වහන්ස, මේ හිම වැටෙන කාලයෙහි වැටෙන්නා වූ පිනිබින්‍දු නමැයි අසා දවල් කාලය උයනෙහි ක්‍රීඩා කර සවස් කාලයෙහි පෙරළා පැමිණෙන්නේ ඒවා නොදැක යහළු රථාචාරියෙනි, ඒ පිනිබිඳු කොහිද? ඒවා දැන් නොදකිමියි විචාළේය. දේවයන් වහන්ස, ඒවා හිරු උදාවන කල්හි සියල්ලම කැඩී පොළොවෙහි වැටෙත් යයි අසා සංවේගයට පත් වී මේ සත්ත්වයන්ගේ ජීවිත සංස්කාරයෝද තණඅග පිනිබිඳු වැනි වෙති. මා විසින් රෝග-දිරීම-මරණය යන මේවායෙන් නොපෙළන ලද්දේම මව්පියන් විමසා පැවිදිවීමට වටනේයයි පිනිබිඳුම අරමුණු කොට භවත්‍රය ගිනිගත් කල්හි මෙන් දකින්නේ සිය මාලිගයට ගොස් අලංකාර කර සරසන ලද විනිශ්චය ශාලාවෙහි හුන් පියා සමීපයටම ගොස් පියා වැඳ එකත්පස්ව සිටියේ පැවිද්ද සඳහා අවසර ඉල්ලන්නේ,
මිත්තා මච්ච පරිබ්බූළ්හං අහං වන්‍දෙ රථෙසභං,
පබ්බජිස්සං හොතජ - තං දෙවො අනුමඤ්ඤතුති
1. මම මිතුරන් හා ඇමතිවරුන් පිරිවරා ගත් පිය රජතුමන් වඳිමි. මහරජතුමනි, මම පැවිදි වෙමි. දේවයන් වහන්ස එය අනුදනීවායි, පළමු ගාථාව කීවේය.
එහි පරිබ්බූළහං යනු පිරිවරන ලද. තං දෙවො යනු මගේ පැවිද්ද දේවයන් වහන්ස අනු දනීවා යි අර්ථයි.
ඉක්බිති රජු ඔහු වළක්වන්නේ දෙවන ගථාව කීවේය.
2. යුද්ධඤ්ජය කුමාරයෙනි, ඉදින් ඔබට කාමයන්ගෙන් අඩුවක් වේනම් එය මම සම්පූර්ණ කරමි. යමෙක් ඔබට හිංසා කරයි නම් ඔහු එය වළක්වාලමි. පැවිදි නොවෙව.
ඒ අසා කුමාරයා තෙවන ගාථාව කීවේය.
3. මට කාමයන්ගෙන් අඩුවක් නොමැත. හිංසා කරන්නෝද මට ගැත්තාහ. යම්හෙයකින් මා ජරාවෙහි නොවිසුරුවයිද මම මට පහනක් වන්නට කැමති වෙමි. පරලොව ගමන් සඳහා ආරක්‍ෂාව සලසා ගන්නට රිස්සෙමි.
එහි දීපඤ්ච යනු පියාණනි, මට කාමයන්ගෙන් අඩුවක් නොමැත. මට හිංසා කරන කිසිවෙකුත් නොමැත. මම වනාහි පරලොව ගමන සඳහා තමාට පිහිටක් කරන්නට කැමැත්තෙමි. කෙබඳුද? යං ජරා නාභි කීරති. යම් හෙයකින් ජරාව මා මැඩ නොපවත්නේද එලෙස කරනු කැමැත්තෙමි. අමාමහ නිවන සොයන්නෙමි. මට කාමයන්ගෙන් වැඩක් නැත. මහරජතුමනි, මා අනුදනුවයි කියයි.
මෙසේ නැවත නැවත කුමාරයා පැවිද්ද ඉල්ලීය. රජ පැවිදි නොවවයි වළක්වයි. ඒ කරුණ ප්‍රකට කරන්නා වූ ශාස්තෲන් වහන්සේ ගාථා අර්ධයක් කීවේය.
4. පුත්‍රයා පියාගෙන් යදින්නේ ය. පියා තම ඖරස පුත්‍රයාගෙන් යදින්නේ ය.
එහි “වා” කාරය කෙටිකිරීම අර්ථ කොට ඇත. මෙය කියන ලද්දේ වෙයි. මහණෙනි, මෙසේ පුතා පියාගෙන් ඉල්ලයි. පියාද ඖරස පුත්‍රයාගෙන් ඉල්ලයි.
සෙසු ගාථා අර්ධය රජ කීවේය.
දරුව, යුද්ධඤ්ජය කුමාරය. නියම්ගම් වැසියෝ ද යදිති. පැවිදි නොවන්න.
එහි අර්ථය. දරුව, මේ තොපගේ නියම් ගම්වැසි මහජනයා ද ඔබ පැවිදි නොවවයි යදියි.
කුමාරයා පස්වන ගාථාව කීවේය.
5. පියරජතුමනි, පැවිදිවන්නා වූ මා නොවළක්වනු මැනවි. මම කාමයන්ගෙන් මත්වූයේ ජරාවෙහි වසඟයට පත්වූවෙක් නොවෙම්වා.
එහි වසමන්‍වගූ යනු මම කාමයන්ගෙන් මත් වූවෙකු නොවෙමි. ජරාවෙහි වසඟයට ගියේ වෙමි. සංසාර දුක් ගෙවා යම්සේ සර්වඥතා ඥානය අවබෝධ කරන්නෙක් වෙම්ද එලෙස මා දෙස බලවයි යන අදහසයි.
මෙසේ කී කල්හි රජ නොවැටහෙන්නෙක් වීය. මොහුගේ මව, දෙවීනි, තොපගේ පුතු පියාගෙන් පැවිද්ද අනුදන්වන්නේ යයි අසා තෙපි කුමක් කියව්දැයි විසඥ වූ මුවින් රන් දෝලාවෙහි හිඳ වහා විනිශ්චය ස්ථානයට ගොස් අයදින්නී සවන ගාථාව කීවාය.
6. දරුව, මම ඔබගෙන් යදිමි. පුත්‍රය මම ඔබ වළක්වමි. මම ඔබ බොහෝ කලක් දකිනු කැමැත්තෙමි. යුද්ධඤ්ජය පැවිදි නොවව.
කුමාරයා ඒ අසා සත්වන ගාථාව කීවේය.
7. හිරු උදාවෙහි තණ අග පිනිබිඳු මෙන් මනුෂ්‍යයන්ගේ ආයුෂද එසේමය. මෑණියනි, මා නොවළක්වන්න.