5. පානීය ජාතකය (459)
මිත්තො මිත්තස්ස යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ දෙව්රම්හි වාසය කරන සේක් කෙලෙස් නිග්‍රහයක් අරබයා දේශනා කළ සේක. එක් සමයෙක්හි සැවත්නුවර වැසි පන්සියයක් ගිහි යහළුවෝ තථාගතයන් වහන්සේගේ බණ අසා පැවිදි වී උපසම්පදා වූවාහු ඇතුළත විහාර සීමාවෙහිම වසන්නාහු මධ්‍යම රාත්‍රී කාලයෙහි කාමුක සිතුවිල්ලක් සිතුවාහුය. සියල්ල යට කී පරිද්දෙන්ම විස්තර කළ යුතුය. භාග්‍යවතුන් වහන්සේගේ ඇණවීමෙන් ආයුෂ්මත් ආනන්ද හිමි විසින් භික්ෂු සංඝයා රැස්වූ කල්හි ශාස්තෲන් වහන්සේ පැනවූ ආසනයෙහි හිඳ කෙනෙකු නියම නොකර කාමුක සිතුවිලි සිතුවෙහුදැයි නොකියා සියල්ලන්ට සංග්‍රහ වශයෙන් මෙන් මහණෙනි, කෙලෙස් කුඩා යයි නම් නැත. භික්ෂුව විසින් උපනුපන් කෙලෙස් නිග්‍රහ කටයුතුමය. පැරණි පණ්ඩිතයෝ බුදුන් නූපන් කල්හි කෙලෙස් නිග්‍රහකොට පසේ බුද්ධත්වයට පත්වූවෝ යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි කසීරට එක් ගමක යහළුවෝ දෙදෙනෙක් පැන් පිරුණු ලබු කබල් දෙකක් ගෙන කෙතට ගොස් පසෙකින් තබා කුඹුරකොට පිපාසය ඇතිවූ කල්හි අවුත් පැන් බොති. ඔවුන් අතුරෙන් එකෙක් පැන් බීම පිණිස අවුත් තමාගේ පැන් රකින්නේ අනිකාගේ ලබු කබලෙන් පැන් බී සවස වනයෙන් නික්මී නා සිටියේ අද මා විසින් කය ආදී දොරටුවලින් කිසියම් පවක් කරන ලද්දැයි විමසන්නේ සොරකම් කර පැන් බිව් බව දැක සංවේගයට පත්වී මේ තෘෂ්ණාව වැඩෙන්නී මා අපායෙහි හෙලන්නේ ය. මේ කෙලෙස් යටපත් කරන්නෙමි යි සොරකම් කර පැන් බිව් බව අරමුණු කොට විදර්ශනා වඩා පසේබුදු නුවණ උපදවා ලබන ලද නුවණ ආවර්ජනය කරමින් සිටියේය. ඉක්බිති අනිකා හා නැගී සිටියේ ඔහුම (කියන්නේ) යහළුව එන්න, ගෙදර යමුයි කීය. ඔබ යන්න. මට ගෙදරින් වැඩක් නැත. අපි පසේබුදුවරු වන්නමෝයි කීය. පසේබුදුවරු නම් ඔබ වැන්නෝ වෙත්ද? නැවත කෙසේනම් වෙත්දැයි. දෑගුල් පමණ කෙස් ඇති, කසාවත් පොරවන්නාහු උතුරු හිමාලයෙහි නන්දමූලක පර්වතයෙහි වසත් යයි. හෙතෙම හිස පිරිමැද්දේය. එකෙණෙහිම ඔහුගේ ගිහි ස්වරූපය අතුරුදහන් වීය. රතුපැහැ දෙපට සිවුරක් හැන්දේමය. විදුලිය හා සමාන බඳපටියක් බැඳුනේමය. ලාකඩ වැනි පළොල් පැහැ ඇති උතුරුසළු සිවුරක් ඒකාංශ කර පෙරවූයේමය. වලාකුළු පැහැති පාංශකූල සිවුරක් දකුණු අංශයෙහි තිබුයේමය. බඹර පැහැ ඇති මැටි පාත්‍රය වම් අංශයෙහි ලැගුනේම වීය. ඔහු ආකාශයෙහි සිට ධර්මය දේශනා කර නන්දමලක පර්වතයෙහිම බැස්සේය.
අනිකාද කසී ගමම කෙළෙඹියෙක් වූයේ වෙළෙදසැලහි හුන්නේ එක් පුරුෂයෙක් තමාගේ භාර්යාව ගෙන යන්නී දැක උසස් රූපයක් දරන්නා වූ ඒ ස්ත්‍රිය පිළිබඳව ඉඳුරන් බිඳ බලා නැවත සිතීය. මේ මාගේ ලෝභය වැඩෙන්නේ මා අපායයන්හි හෙලන්නී යයි කළකිරුණ සිත් ඇත්තේ විදර්ශනා වඩා පසේ බුදුනුවණ උපදවා අහසෙහි සිටියේ ධර්මය දේශනා කර නන්දමුලක පර්වතයටම ගියේය.
අන්‍ය වූද කසී ගම්වැසි පියපුතු දෙදෙනෙක් එකට මාර්ගයට පිළිපන්ය. මහවන දොරහි සොරු සිටියෝ වෙති. ඔවුහු පියපුතුන් ලැබ පුතු ගෙන ධනය ගෙනවුත් ඔබේ පුතා ගනුවයි පිටත් කර හරිත්. සොහොයුරන් දෙදෙනෙක් ලැබ බාල සොහොයුරා ගෙන වැඩිමල් තැනැත්තා පිටත්කර හරිත්. ආචාර්ය-අන්තෙවාසිකයන් ලැබ ආචාර්යවරයා ගෙන අතවැසියා පිටත් කර හරිත්. අතැවැසියා ශිල්ප ලෝභයෙන් ධනය ගෙන අවුත් ආචාර්යවයා ගෙන යයි. ඉක්බිති ඒ පියපුත්රයෝ එහි සොරුන් සිටි බව දැන ඔබ මගේ පියා යයි නොකියව. මමද ඔබ පුතු යයි නොකියමි යි කථිකා කර සොරුන් විසින් අල්ලා ගත් කල්හි තෙපි එකිනෙකාට කවරෙක් වෙහු දැයි විමසන ලද්දාහු කවරෙකු හෝ නොවෙමුයි දැන දැන බොරු කීම කළාහුය. ඔවුන් වනයෙන් නික්මී සවස් කාලයෙහි නා සිටි කල්හි පුතා තමාගේ සීලය පරීක්ෂා කරන්නේ ඒ මුසාවාදය දැක මේ පාපය වැඩෙන්නේ මා අපායයන්හි හෙලන්නේය. මේ කෙලෙස්වලට නිග්‍රහ කරන්නෙමියි විවසුන් වඩා පසේබුදු නුවණ උපදවා අහසෙහි සිටියේ පියාට ධර්මය දේශනා කර නන්දමුලක පර්වතයටම ගියේය.