4. උදය ජාතකය (458)
එකා නිසින්තා යන මෙම ගාථාව ශාස්තෘන් වහන්සේ ජෙතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් උකටලී භික්‍ෂුවක් වූ අරබයා දේශනා කළ සේක. කථා පුවත කුස ජාතකයෙහි ප්‍රකට වන්නේ ය. ශාස්තෘන් වහන්සේ ඒ භික්‍ෂුව අමතා මහණ, තොප උකටලී වූයේ සැබෑදැයි විමසා ස්වාමීනි, සත්‍යයයි කී කල්හි මහණ කුමක් හෙයින් මෙබඳු නෛර්යාණික සාසනයෙහිදී කෙලෙස් වශයෙන් උකටලී වූයෙහිද? පැරණි පණ්ඩිතයෝ සමෘද්ධිමත් වූ දොළොස් යොදුන් පමණ වූ සුරුන්‍ධන නගරයෙහි රාජ්‍යය කරන්නෝ දිව්‍ය අප්සරාවන් හා සමාන වූ ස්ත්‍රියක සමඟ අවුරුදු සත් සියයක් එක් කාමරයෙක්හි වසන්නාහු ඉඳුරන් බිඳ ලෝභ වශයෙන් නො බැලුවාහු යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි කසීරට සුරුන්‍ධන නගරයෙහි කසීරජු රාජ්‍යය කරවීය. ඔහුට පුතෙක් නොවීය. දුවකද නොවූවාය. ඔහු සිය දේවියට පුතුන් පතවයි කීවේය. අගමෙහෙසියද ඔහුගේ වචනය පිළිගෙන එසේ කළේය. එකල්හි බෝධිසත්‍වයෝ බඹලොවින් චුතවී ඒ අගමෙහෙසියගේ කුසෙහි උපන්නේය. ඉක්බිති මහජනයාගේ සිත් වඩා උපන් බැවින් උදයභද්ද යයි නම් කළාහුය. කුමාරයා පයින් ඇවිදින කල්හි අන් සත්ත්‍වයෙකුද බඹලොවින් චුතවී ඒ රජුගේම අන් දේවියකගේ කුසෙහි කුමාරියක වී උපන්නාය. ඇයට උදයභද්දා යයි නම් කළාහුය. කුමාරයා සුදුසු වයසට පැමිණියේ සියළු ශිල්පයන්හි නිමාවට පැමිණියේය. උපතින්ම බ්‍රහ්මචාරී වීය. සිහිනෙන්ද මෙවුන්දමක් නම් නොදනී. ඔහුගේ සිත කෙලෙස්හි නොඇලුනේය. රජු පුතාව රාජ්‍යයෙහි අභිශේක කරනු කැමැත්තෙන් දැන් කුමාරයාගේ රජ්‍ය සැප සෙවුනා කාලයයි. නළඟනන් ඔහු වෙත එළඹවන්නෙමියි හසුනක් යැවීය. බෝධිසත්ත්ව තෙමේ මට රාජ්‍යයෙන් වැඩක් නැත. මගේ සිත කෙලෙස්හි නො ඇලේ යයි කියා ප්‍රතික්‍ෂේප කොට නැවත. නැවත කියනු ලබන්නේ දඹරන් මුවා ස්ත්‍රී රූපයක් කරවා මෙබඳු වූ ස්ත්‍රියක ලබන්නේ නම් රාජ්‍යය පිළිගන්නෙමියි. මව්පියන්ට දන්වා යැවීය. ඔවුහු ඒ රන් රුව මුළු දඹදිව පුරා ගමන් කරවා එබඳු වූ ස්ත්‍රි රූපයක් නො ලබන්නාහු උදයභද්‍රා කුමරිය අලංකාර ලෙස සරසා ඇගේ සමීපයෙහි තැබුවාහුය. ඇය ඒ රන්රුව අභිබවා සිටියේය. ඉක්බිති ඔවුන්ගේ නොකැමැත්තෙන්ම භින්න මාතෘක උදයභද්‍රා කුමරිය අගමෙහෙසිය කොට බෝධිසත්ත්‍වයන් වහන්සේ රාජ්‍යයෙහි අභිෂේක කළාහුය. ඔවුන් දෙනොම බඹසර විසීමෙන් විසූහ.
මෑත කාලයෙහි මව්පියන් ඇවෑමෙන් බෝධිසත්ත්‍ව තෙමේ රාජ්‍ය කරවීය. දෙදෙනා එක් යහන්ගැබක වසන්නාහු නමුත් ලෝභ වශයෙන් ඉඳුරන් බිඳ ඔවුනොවුන් නොබැලුවාහුය. එතකුදු වුවත් යමෙක් අප අතරින් පළමුව කළුරිය කරයිද ඔහු උපන් තැනින් අවුත් අසවල් තැන උපන්නෙමියි දන්වවයි ගිවිසුම් කළහ. ඉක්බිති බෝධිසත්ත්‍වයෝ අභිෂේකයෙන් සත්සියයක් අවුරුදු ඇවෑමෙන් කළුරිය කළේය. අනිකෙක් රජ නොවීය. උදයභද්‍රාවගේම අණ පැවතුණි. ඇමතියෝ රාජ්‍යය අනුශාසනා කළාහුය. බෝසත් තෙමේ තව්තිසා භවනයෙහි ශක්‍ර බවට පැමිණ යසසෙහි මහත් බව නිසා දින හතක් යනතෙක් සිහි කරන්නට නොහැකි වීය. හෙතෙම මෙසේ මිනිස් ගණනින් සත්සියයක් අවුරුදු ඇවෑමෙන් ආවර්ජනා කර උදයභද්‍රා රජදුව ධනයෙන් විමසා සිංහනාද කරවා ධර්මය දේශනා කර ගිවිසුම මුදවා එන්නෙමියි සිතීය. එකල්හි මිනිසුන්ට අවුරුදු දසදහසක් ආයුකාලය වීය. රජදුව එදවස රාත්‍රී කාලයෙහි දොරවල් මනාව වසා ඇතිව ආරක්‍ෂාව තබා ඇති කල්හි සත්මහල් ප්‍රාසාදයෙහි මතුමහල් තලයෙහි අලංකාර කරන ලද සිරියහන් ගැබ හුදකලා වූවා නිසසලව තමාගේ සිල් ආවර්ජනය කරමින් හුන්නීය. ඉක්බිති ශක්‍රයා රන්මසු පිරුණු එක් රන් පාත්‍රයක් ගෙන අවුත් යහන් ගැබ පහළවී එකත්පස්ව සිටියේ ඇය සමඟ සල්ලාපයේ යෙදෙන්නේ පළමු ගාථාව කීවේය.