3. ධම්ම ජාතකය (457)
යසො කරො පුඤ්ඤකරො හමස්මි යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ දෙව්රමෙහි වාසය කරන සේක් දෙවිදත්ගේ පොළොවට පිවිසීම අරභයා දේශනා කළ සේක. එකල්හි භික්ෂූන් වහන්සේලා දම්සභාවෙහි කථාවක් ඉපිදවූහ. ඇවැත්නි, දෙව්දත් තෙමේ තථාගතයන් වහන්සේ සමග විරසක වී පොළොව ඇතුළට ගියේය. ශාස්තෲන් වහන්සේ පැමිණ මහණෙනි, දැන් කිනම් කථාවකින් හුන්නහුදැයි විමසා මෙනම් වූවකනැයි කී කල්හි මහණෙනි, දැන් වූ කලී මෙතෙමේ මගේ බුද්ධ ශාසනයෙහි පහර දී පොළොව තුළට ගියේය. පෙර ධර්මචක්රයෙහි පහර දී පොළොව තුළට ගොස් අවීචි මහනිරය පිහිටකොට උපන්නේය යි කියා අතීත කථා වස්තුව ගෙන හැරපා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්රහ්මදත්ත නම් රජු රාජ්යය කරවන කල්හි බෝධිසත්ත්ව තෙමේ කාමාවචර දෙව්ලොව ‘ධර්ම’ නම් දෙව්පුත් වී උපන්නේය. දේවදත්ත අධම්ම නම් වීය. ඔවුන් අතර ධර්ම දෙව්පුතු දිව්යමය අලංකාරයන්ගෙන් සැරසුනේ දිව්යමය උතුම් රථයකට නැගී අප්සරා සමූහයා විසින් පිරිවරන ලදුයේ මිනිසුන් රාත්රී ආහාරය අනුභව කර තමාගේ ගෙදොර සුව කථාවෙන් හුන් කල්හි පුර පසළොස්වක දවසෙහි ගම් නියම්ගම් රාජධානීන්හි අහසෙහි සිට ප්රාණඝාතාදී දස අකුසල කර්මපථයන්ගෙන් වෙන්වී මව්පියන්ට උපස්ථාන කිරීම ත්රිවිධ සුචරිත ධර්මය පුරව්. මෙසේ ස්වර්ගය (සුගතිය) පිහිටකොට ඇත්තෝ වී මහත් වූ යසස අනුභව කරන්නහු යයි මිනිසුන් දසකුසල කර්ම පථයෙහි යොදවන්නේ දඹදිව ප්රදක්ෂිණා කරයි. අධර්ම දෙව්පුත් වනාහි පරපන නසව් ආදී වශයෙන් අකුසල කර්ම පථයෙහි යොදවන්නේ දඹදිව වාමවෘත කරයි. ඉක්බිති අහස්හිදී ඔවුන් රථයෝ මුණ ගැසුනහ. ඉක්බිති ඔවුන්ගේ පිරිස් තෙපි කවරෙකුගේද තෙපි කවරෙකුගේදැයි විමසා අපි ධර්මගේ වෙමු අපි අධර්මගේ වෙමුයි කියා මාර්ගයෙන් බැස දෙකඩ වූවාහුය. ධර්මයා-අධර්මයන් අමතා යහළුව, ඔබ අධර්මයා වෙයි. මම ධර්මයා වෙමි. මාර්ගය මට සුදුසුය. ඔබගේ රථය ඉවත් කරවා මට මාර්ගය දෙවයි පළමුවන ගාථාව කීවේය.
යසොකරො පුඤ්ඤකරා හමස්මි - සදත්ථුතො සමණ බ්රාහ්මණනං,
මග්ගරහො දේවමනුස්ස පූජිතො - ධම්මො අහං දෙහි අධම්ම මග්ගන්ත
මග්ගරහො දේවමනුස්ස පූජිතො - ධම්මො අහං දෙහි අධම්ම මග්ගන්ත
1. මම දෙව්මිනිසුන්ට යසස ගෙන දෙන්නෙක් වෙමි. පින් කරවන්නෙක් වෙමි. ශ්රමණ බ්රාහ්මණයන් විසින් නිරතුරු ප්රශංසා කරන ලද්දේ වෙමි. මාර්ගය ලබන්නට සුදුස්සෙක් වෙමි. දෙව් මිනිසුන් විසින් පුදන ලද්දෙම් වෙමි. මම ‘ධර්ම’ වෙමි. අධර්මය මට මාර්ගය දෙව.
එහි යසො කරො යනු මම දෙව්මිනිසුන්ට යසස දෙන්නෙක්මි. දෙවන ගාථාවෙහිද මේ වූම ක්රමයයි. සදත්ථුතො යනු හැමකල්හි ස්තුති කරන ලද්දේ නිතර ප්රශංසා කරන ලද්දේ. ඉක්බිති අනිකා කීය.
2. අධර්ම යානය නම් ශක්තිමත් යානයට නැග්ගත් මම තැතිගැනීම් නැත්තෙම් බලවත් වූයේ වෙමි. ධර්මය ඒ මම කිසිවෙකුටත් නුදුන් මාර්ගය කවර හේතුවක් නිසා අද ඔබට දෙමිද?
3. ලොව පළමුව ධර්මය පහළ වීය. පසුව අධර්මය උපන්නේය. එනිසා ධර්මය ජ්යෙෂ්ඨය. ශ්රේෂ්ඨය. පැරණි වූයේද වේ. කනිෂ්ට වුව! ජ්යෙෂ්ඨයාගේ මාර්ගයෙන් ඉවත් වෙව.
4. මම තොපට මාර්ගය දෙන්නේ නම් ඒ දීම ඉල්ලීම නිසා නුසුදුසුය. සුදුසු වචන නිසාද නුසුදුසුය. අද අප දෙදෙනාගේ යුද්ධය වේවා! යුද්ධයෙන් යමෙක් දිනන්නේද ඔහුට මාර්ගය (හිමි) වේ.
5. මම සියළු දිසාවන් පැතිර සිටියේ වෙමි. මහත් වූ බල ඇතියේ වෙමි. අපමණ වූ යසස් ඇත්තෙමි. අසමාන වූයෙමි. සියළු ගුණයන්ගෙන් යුක්ත වෙමි. ධර්ම නම් වූ දෙව්පුතු වෙමි. අධර්මය! ඔබ කෙසේ දිනන්නෙහිද?
6. යකඩ මිටියෙන් රත්තරන් නසනු ලැබේ. රත්තරනින් යකඩ නොනැසේ. ඉදින් අද අධර්මය ධර්මය නසනු ලැබේ. යකඩ රත්තරන් නසන්නාක් මෙන් දැකිය යුතුය.
7. අධර්මය ඔබ යුද්ධය බලය කොට ඇත්තේ වෙහි. ඔබට වැඩිහිටියන් හෝ ගුරුවරුන් නොමැත. ප්රිය අප්රිය දෙක අතරින් ප්රිය බැවින් යුතුව මාර්ගය ඔබට දෙමි. නපුරු ලෙස කියන ලද ඔබගේ වචනද ඉවසමි යි.
මේ ගාථා සය ඔවුන්ගේ වදන් පිළිවදන් ලෙස සිටියෝය.
එහි සකිස්ස හෙතුම්හි නවජ්ජ දජ්ජං යනු ඒ මම අධර්මයා වෙමි. අධර්ම යානාවට එනම් රියට නැගුනෙම් බිය රහිත වූයේ වෙමි. බලවත් වූයේ වෙමි. එම්බා ධර්මය කවර කරුණකින් අද කිසිවෙකුටත් නොදුන් විරූ මාර්ගය තොපට දෙමිද? පුබ්බෙ යනු කල්පයෙහි මුල්ම කාලයෙහි මේ ලොව දසකුසල කර්මපථ ධර්මයම පහළ වීය. අධර්මය පසුව පහළ වීය. ජෙට්ඨො යනු පෙර උපන් බැවින් මම වැඩිමහල් වෙමි. උසස් වෙමි. පැරණිද වෙමි. ඔබ බාල වෙහි. එහෙයින් මාර්ගයෙන් ඉවත් වෙවයි කියයි. න පි පාටිරූපා යනු මම ඔබට ඉල්ලීම නිසා හෝ සුදුසු වචන කීම නිසා හෝ මාර්ගය දීම සුදුසු වන නමුදු මාර්ගය නොදෙමි. අනුසටො යනු මම සතර දිසාද සතර අනුදිසාද යන සියළු දිසාවන් තමාගේ ගුණයෙන් පැතුරුනේ ප්රකට වූයේ වෙමි. ලොභෙන යනු යකඩ මිටියෙන්. හඤ්ඤති යනු නසන්නේය. යුද්ධ බලො අධම්මා යනු අධර්මය ඉදින් තෝ යුද්ධබලය ඇත්තෙහිද? වුද්ධා ච ගරූවා යනු ඉදින් තොපට මේ වැඩිහිටියෝය. මේ ගරු කටයුතු පණ්ඩිතයෝ යැයි මෙසේ නැත. පියාපිරියෙන යනු මනාපයෙන් හෝ අමනාපයෙන් යන මේ දෙකින් අප්රිය බැවින්ම දෙන්නේ ප්රිය බැවින් යුක්තව මෙන් ඔබට මාර්ගය දෙමියි අර්ථයි.
බෝධිසත්ත්වයන් විසින් මේ ගාථාවන් කී සැණින්ම අධර්මයා රියෙහි සිටින්නට අපොහොසත් වන්නේ හිස යටිකුරුව පොළොවට වැටී පොළොවෙහි ඇතිවූ විවරයෙහි ගොස් අවීචියෙහිම උපන්නේය. මේ කරුණ දැන භාග්යවතුන් වහන්සේ බුදුවී සෙසු ගාථා වදාළ සේක.
8. අධර්ම දිව්යපුත්රයා මේ වචන අසා ඉදින් යුද්ධය කැමති වූයේ නමුදු යුද්ධයක් නොලබමියි හිස යටිකුරුව පා උඩුකුරුව වැටුනේය. මෙපමණකින්ම අධර්මය නැසුනේ වෙයි.