2. ජුණ්හ ජාතකය (456)
සුණොහි මය්හං වචනං ජනින්ද යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ දෙව්රමෙහි වාසය කරන සේක්, ආනන්ද තෙරුන් විසින් ලබන ලද වරයන් අරබයා දේශනා කළ සේක. බුද්ධත්ත්වයෙන් පළමු විසිවසෙහි බුදුරදුන්ට නිරතුරු උපස්ථායකයෙක් නොවීය. එක් දිනක් නාගසමාලද එක්දිනක් නාගිත, උපවාණ, සුනක්ඛත්ත, චුද්ද-සාගත ද එක්දිනක් මේඝියද භාග්යවතුන් වහන්සේට උපස්ථාන කළහ. ඉක්බිති එක්දිනක් භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, දැන් මහළු වූයේ වෙමි. ඇතැම් භික්ෂූහු මේ මගින් යමු යැයි කී කල්හි අනිකකින් යත්. ඇතැම්හු මගේ පාත්රා සිවුරු බිම හෙලත්. මට නිබඳ උපස්ථායක වූ එක් භික්ෂුව දනුව යයි කීය. ස්වාමීනි, මම උපස්ථාන කරන්නෙමි. මම උපස්ථාන කරන්නෙමියි හිසෙහි බැඳදිළිව සැරියුත් තෙර ආදීන් නැගී සිටි කල්හි නුඹලාගේ ප්රාර්ථනාව මස්තකප්රාප්ත වීය. ඒ නිසා කම්නැතැයි ප්රතික්ෂෙප කළ සේක. ඉක්බිති භික්ෂූහු ආනන්ද තෙරුන්ට ඇවැත්නි ඔබ උපස්ථායක තනතුර ඉල්වව යයි කීහ. ආනන්ද තෙර ඉදින් භාග්යවතුන් වහන්සේ තමා විසින් ලබන ලද සිවුරු මට නොදෙන්නේය. පිණ්ඩපාතය නොදෙන්නේය. එක ගඳකිළියක වසන්නට නොදෙන්නේ ය. මා ගෙන ආරාධනාවන්ට නොයන්නේය. භාග්යවතුන් වහන්සේ මවිසින් ගන්නා ලද ආරාධනාවන්ට යන්නේය. ඉදින් මම වෙනත් රටින් වෙනත් ජනපදයෙන් බුදුන් දකින්නට පැමිණි පිරිස ආ මොහොතෙහිම බුදුන් දක්වන්නට ලබන්නෙමිද? යම්දිනක මට සැකයක් උපදීද එකෙනෙහිම බුදුන් වෙත එළඹෙන්නට ලබන්නෙමිද ඉදින් භාග්යවතුන් වහන්සේ මා නැති තැන යම් ධර්මයක් දේශනා කරන සේක්ද පෙරලා අවුත් එය මට දේශනා කරන සේක්වා. මෙසේ නම් මම භාග්යවතුන් වහන්සේට උපස්ථාන කරන්නෙමි යි. මේ ප්රතික්ෂෙප සතරත් ආයාචනා සතරත් යන අටවරයන් ඉල්වීය. භාග්යවතුන් වහන්සේ ද ඔහුට ඒවා දුන් සේක.
ඔහු එතැන් පටන් පස්විසි වසක් නිත්ය උපස්ථායකයා වීය. ඔහු ස්ථාන පහක එතදග්ර තනතුරෙහි තබා ධර්මය අවබෝධ කිරීමය. මාර්ගඵල ලැබීමය. පෙර වාසනාවය. ආත්මාර්ථ පිළිවිසීමය. තොටුවන් හා එක්ව විසීමය. නුවණින් මෙනෙහි කිරීමය. බුදුන්ට උපස්ථාන කිරීමය යන මේ සත්වැදෑරුම් සම්ප්රදාවන්ගෙන් යුක්ත වූයේ බුදුන් හමුවෙහි වර අටනම් දායාදය ලැබ බුදු සසුනෙහි අහස් මැද සඳ මෙන් ප්රකට විය. ඉක්බිති එක් දවසක් (භික්ෂූහු) දම්සභාවෙහි කථාවක් ඉපිදවූහ. ඇවැත්නි, තථාගතයන් වහන්සේ ආනන්ද තෙරුන් වරදානයෙන් සන්තර්පණය කෙළේ යයි. ශාස්තෲන් වහන්සේ මහණෙනි, දැන් කිනම් කථාවෙකින් හුන්නාහුදැයි විචාරා මෙනම් වූවෙකැයි කී කල්හි මහණෙනි, ආනන්දයන් වරයකින් සතුටු කරවූයේ දැන් පමණක් නොවේ. පෙරද මම යමක් යමක් මෙතෙමේ ඉල්වීද එය එය දුන්නෙමියි කියා අතීත ප්රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්රහ්මදත්ත රජු රාජ්යය කරවන කල්හි ඔහුගේ පුත් වූ ජුණ්හ නම් කුමාරයා තක්ෂිලාවෙහි ශිල්ප ඉගෙන ආචාර්යයන්ට පාඩම් දී රාත්රී කාලයෙහි අඳුරෙහි ආචාර්යවරයාගේ ගෙයින් නික්ම තමාගේ වාසස්ථානයට වේගයෙන් යන්නේ එක්තරා බ්රාහ්මණයෙක් ආහාර පිණිස හැසිරී තමාගේ වාසස්ථානයට යන්නේ නොදැක අතින් පහර දී ඔහුගේ බත්පාත්රය බින්දේය. බමුණා වැටී හඬගෑය. කුමාරයා කරුණාවෙන් නැවතී ඔහු අතින් ගෙන නැගිටුවාලීය. බ්රාහ්මණයා දරුව, මගේ සිඟනා ලද භාජනය බිඳින ලදි. බත් මිල මට දෙවයි කීය. කුමාරයා බ්රාහ්මණය, දැන් මම බත් මිල දෙන්නට අපොහොසත් වෙමි. මම කාසි රජුගේ පුත් ජුණ්හ කුමාරයා වෙමි. මා රාජ්යයෙහි පිහිටි කල්හි අවුත් මගෙන් ධනය ඉල්ලව යි කියා නිමවන ලද ශිල්ප ඇත්තේ ආචාර්යයන් වැඳ බරණැසට ගොස් පියාට ශිල්ප දැක්වීය. පියා ජීවත් වන්නාවූ මා විසින් මගේ පුතා දක්නා ලද්දෙමි. රජ වූද ඒ ඔහු දකින්නෙමි යි රාජ්යයෙහි අභිෂේක කෙළේය. හෙතෙම ජුණ්හ නම් රජ වී දැහැමිව රාජ්යය කෙළේ ය. බ්රාහ්මණයා ඒ පුවත අසා දැන් මගේ බත් මිල ගෙන එන්නෙමියි බරණැසට ගොස් අලංකාර කර සරසන ලද නගරය ප්රදක්ෂිණා කරන රජු දැක එක් උස් ප්රදේශයක සිටියේ අත දිගුකර ජය පැතීය. රජු නොදැකම ඉක්ම ගියේය. බමුණා - ඔහු විසින් නොදුටු බව දැන කථාව උපදවන්නේ පළමුවන ගාථාව කීවේය.