7. මඞ්ගල ජාතකය (87)
“යස්ස මඞ්ගලා සමූහතාති” යන මේ දේශනාව බුදුහු වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, එක් සාටක ලක්‍ඛණ නම් බමුණකු අරබයා වදාළහ. ශුභ නිමිති මංගල වශයෙන් ගත් රජගහ නුවර වැසි එක් බමුණෙක් තුණුරුවන් කෙරෙහි නො පැහැදුණු මිසදිටුවෙක් විය. ඔහුට මහත් ධන ඇත්තේය. මහත් භෝග ඇත්තේය. ඔහුගේ පසුම්බියෙහි තබන ලද සළු යුවල මීයෝ කෑහ. ඔහු ස්නානය කොට සළු ගෙනෙනා ලෙස කී කල්හි මීයන් විසින් කන ලද බව කීවාහුය. ඔහු මෙසේ සිතීය. ඉදින්, මේ මීයන් විසින් කන ලද සළු යුවල මේ ගෘහයෙහි තබන්නේ නම් මහත් විනාශයක් වන්නේය. මෙය අවමඟුලකි. කාළකණ්ණියකු සමානය. දූදරු ආදීන්ට ද දස්කම්කරු ආදීන්ට ද දීමට නො හැකිය. යමෙක් මෙය ගන්නේ නම් මහත් විනාශයක් වන්නේය. එය අමු සොහොනෙහි දමන්නෙමි. එහෙත් දාසාදීන්ගේ අත එය යැවීමට නො හැකිය. ඔවුන් එහි ලෝභ උපදවා එය ගත්තේ නම් විනාශයකට පැමිණෙන්නේය. එම නිසා තම පුතුගේ අතින් එය අමු සොහොනකට යවමි යි පුතා කැඳවා මෙකරුණ පැහැදිලි කොට අතින් ස්පර්ශ නො කොට දඬුවකින් ගෙන අමු සොහොනෙහි දමා ස්නානය කොට එව යි යැවීය.
බුදු රජහු ද එදවස අළුයම් වේලෙහි විනේය ජනයන් බලන්නාහු, මේ පිය පුතුන්ගේ සෝවාන් වීමට ඇති හේතු සම්පත් දැක මුවා යන එන මඟෙහි මුව වැද්දෙක් මෙන් ගොස් අමු සොහොන් දොරටුව අබියස සවනක් රැස් විහිදුවමින් වැඩ සිටියහ. මානවකයා පියාගේ වචනය පිළිගෙන ගේ තුළ සිටි සර්පයකු මෙන් ඒ සළු යුගලය දඬු කෙළවරින් නෙ අමු සොහොන දොරටුව අසලට පැමිණියේය. ඉක්බිති, බුදුහු, මානවකය, ඔබ කුමක් කරන්නේදැ යි වදාළහ. භවත් ගෞතමයෙනි, මේ සළු යුගල මීයන් විසින් කන ලදි. කාළකණ්ණියකු සමානය. තද විෂක් හා සමානය. මගේ පියා අනිකකු මෙය ඉවත දමන්නේ නම් ලෝභ උපදවා මෙය ගන්නේය යන බියෙන් මා එවන ලදි. මම මෙය ඉවත දමා ස්නානය කරන්නෙමි. භවත් ගෞතමයෙනි, ඒ සඳහා ආවේ වෙමි. එසේ නම් ඉවත දමව. මානවකයා ඉවත දැමීය. බුදු රජහු අපට දැන් වටීයැ යි ඔහුගේ ඉදිරියේ දී ම සළු යුගල ගන්නේ, භවත් ගෞතමයනි, මේ කාළකණ්ණි සමානය. නො ගන්න නො ගන්නැ යි ඔහු විසින් වළක්වනු ලබද්දී ම රැගෙන වේළුවනාරාමය දෙසට වැඩම කළහ.
මානවකයා වේගයෙන් ගොස් පියාට දැන්වීය. පියාණෙනි, මා විසින් අමු සොහොනෙහි ඉවත දමන ලද සාටක යුගලය ශ්‍රමණ භවත් ගෞතමයෝ අපට වටීයැ යි මා විසින් වළක්වද්දී ම ගෙන වේළුවනාරාමයට ගියහ. බමුණා මෙසේ සිතුවේය. ඒ සළු යුගල අවමඟුලකි. කාළකණ්ණි සමානය. එය පරිහරණය කිරීමෙන් ශ්‍රමණ භවත් ගෞතමයෝ ද නැසෙන්නේය. විහාරය ද නැසෙන්නේය. එයින් අපට නින්දාවක් වන්නේය. ශ්‍රමණ භවත් ගෞතමයන්ට වෙනත් බොහෝ සළු දී එය බැහැර කරවන්නෙමි. හෙතෙම බොහෝ සළු ගෙන්වාගෙන පුතා සමග වේළුවනයට ගොස් බුදු රජුන් දැක එකත්පසෙක සිටියේ, මෙසේ කීවේය. ඇත්ත ද භවත් ගෞතමයෙනි, ඔබ වහන්සේ විසින් අමු සොහොනෙන් සළු යුගලක් ගන්නා ලද්දේ ද? බමුණ, ඇත්තයි. භවත් ගෞතමයෙනි, ඒ සළු යුගල අවමංගල්‍යයකි. නුඹ වහන්සේ එය පරිභෝග කිරීමෙන් නැසෙන්නහුය. මුළු විහාරය ම නැසෙන්නේය. ඉදින්, නුඹ වහන්සේට ඇඳුමක් හෝ පොරෝණයක් හෝ ප්‍රමාණවත් නො වේ නම් මේ සළු ගෙන එය ඉවත දමනු මැනවි. ඉක්බිති, ඔහුට බුදුහු බමුණ, අපි පැවිද්දෝ වෙමු. අපට අමු සොහොනෙහි හෝ ඇතුල් වීදියෙහි හෝ කසල ගොඩෙහි හෝ නාන තොටෙහි හෝ මහමඟෙහි හෝ මෙබඳු ස්ථානවල ඉවත දමන ලද හෝ වැටුණු හෝ වස්ත්‍ර (රෙදි) වටියි. නුඹ වනාහි දැන් පමණක් නොව පෙරත් මෙබඳු පිළිගැනීම් ඇත්තකු යි වදාරා ඔහු විසින් අයැදින ලද්දහු, අතීතය ගෙනහැර දැක්වූහ.
යටගිය දවස මගධ රටේ රජගහ නුවර දැහැමි මගධ රජෙක් රාජ්‍යය කළේය. එකල බෝසත්හු එක්තරා උසස් බමුණු කුලයක ඉපදී නුවණ මුහුකුරා යාමට පැමිණියේ තවුස් පැවිද්දෙන් පැවිදි ව අභිඥා ද සමාපත්තීන් ද උපදවා ගෙන හිමවතෙහි වෙසෙමින් එක් කලෙක හිමවතෙන් නික්මී රජගහ නුවර රජ උයනට පැමිණ එහි වාසය කොට දෙවැනි දවසේ පිඬු පිණිස නගරයට පිවිසියේය. රජතුමා ඒ තවුසා දැක කැඳවා ප්‍රාසාදයෙහි හිඳුවා වළඳවා උයනෙහි ම විසීම පිණිස ප්‍රතිඥා ගත්තේය. බෝසත්හු රජ නිවසින් වළඳා උයනෙහි වසති. ඒ කාලයෙහි රජගහ නුවර දුස්ස ලක්‍ඛණ නම් බමුණකු විය. ඔහුගේ සුමුගුවෙන් තබන ලද සළු යුගල සියල්ල පෙර පරිදි මය.