8. සාරම්භ ජාතකය (88)
“කල්යාණිමෙව මුඤ්චෙය්යති” යන මේ ජාතක දේශනාව බුදුහු සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, ඕමසවාද ශික්ෂා පදය අරබයා වදාළහ. කථාව වස්තු දෙක ම යට නන්දිවිසාල ජාතකයෙහි කියන ලද පරිදි ම වේ. මේ ජාතකයෙහි වනාහි බෝසත්හු ගන්ධාර රටෙහි තක්සලා නුවර එක්තරා බමුණකුට සාරම්භ නම් ගොනකු වූහ. බුදු රජහු මේ අතීත කථාව වදාරා මේ ගාථාව වදාළහ.
“කල්යාණිමෙව මුඤ්චෙය්ය නහි මුඤ්චෙය්ය පාපිකං,
මෙක්ඛො කල්යාණියා සාධු මුත්ථා තපති පාපිකන්ති”
මෙක්ඛො කල්යාණියා සාධු මුත්ථා තපති පාපිකන්ති”
“යහපත් වූ වචන ම මුවින් පිට කරන්නේය. ලාමක වචනයක් නොම නිකුත් කරන්නේය. යහපත් වචනයාගේ (කීම) යහපති. ලාමක තෙපුල් බැණ (දෙලොව) තැවෙන්නේය.”
එහි, “කල්යාණිමෙව මුඤ්චෙය්යති”, සිව් දෝෂයන්ගෙන් මිදුණු යහපත් සුන්දර නිවැරදි වචන ම පිටකරන්නේය. විහිදුවන්නේය. කියන්නේය. “නහි මුඤ්චෙය්ය පාපිකන්ති”, පවිටු පහත් අනුන්ට අප්රිය වූ අමනාප වූ වචන නො මුදන්නේය. නො කියන්නේය. “මෙක්ඛො කල්යාණියා සාධුති”, යහපත් වචන පිට කිරීම ම මෙලොව මැනවි. සුන්දරය. යහපත්ය. “මුත්ථා තපති පාපිකන්ති”, පවිටු, රළු වචන පිටකොට, විසුරුවා කියා ඒ පුද්ගලයා තැවෙයි. ශෝක කරයි. වැළපෙයි.
මෙසේ බුදුහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමා කළහ. එකල බමුණා ආනන්ද විය. බැමිණිය උප්පලවණ්ණාවයි. සාරම්භ වනාහි මම ම වීමි.
9. කුහක ජාතකය (89)
“වාචාව කිර තෙ ආසිති” යන මේ ජාතක දේශනාව බුදුහු දෙව්රම වැඩ වසන සේක්, එක් නැති ගුණ පෙන්වන භික්ෂුවක් අරබයා වදාළහ. මෙහි කථා පුවත උද්දාළ ජාතකයෙහි මතු සඳහන් වන්නේය.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කැරද්දී එක් කුඩා ගමක් ඇසුරුකොට එක් කපටි ජටිල තවුසෙක් වාසය කරයි. එක් කෙළඹි පුත්රයෙක් ඔහුට කැලයෙහි පන්සලක් කැරවා එහි ඔහු වාසය කැරවා තමාගේ ගෙයි ප්රණීත ආහාරයෙන් පෝෂණය කරයි. හෙතෙම ඒ කපටි ජටිලයා, මොහු සිල්වත් කෙනකු යි අදහා සොර බියෙන් රන් නික සියයක් (රන් කලන් 1500 ක්) ඔහුගේ පන්සලට ගෙනවුත් නිදන් කොට පොළොවෙහි සඟවා මෙය රැකබලා ගන්නැ යි ස්වාමීන්ට කීවේය. ඉක්බිති, තාපසයා මිතුරු පැවිද්දන්ට නම් මෙසේ කියන්නට නො වටී. අපට අනුන්ගේ ධනය කෙරෙහි ලෝභයක් නැතැ යි ඔහුට කීවේය. ඔහු යහපතැ යි ඔහුගේ වදන අදහා ගියේය. දුෂ්ට තාපසයා මෙපමණකින් මට ජීවත් වීමට හැකිය. දින කීපයක් ඉක්මවා ඒ රන් ගෙන අතර මඟ එක් ස්ථානයක තබා ආපසු අවුත් පන්සලෙහි ම වැස දෙවැනි දිනයෙහි ඔහුගේ ගෙදර බත් කිස කොට මෙසේ කීය. සගය, අපි ඔබ ඇසුරුකොට කලක් මෙහි විසීමු. එක් තැනක දිගු කලක් වසන විට මිනිසුන් සමග ඇල්මක් ඇති වෙයි. බැඳීම වනාහි පැවිද්දන්ට කිලුටකි. එම නිසා අපි යමු යි කියා කෙළඹියා නැවත නැවතත් ආයාචනා කළ නමුදු නැවතීමට කැමැති නො වීය. ඉක්බිති, ඒ කෙළඹියා එසේ නම් ස්වාමීනි, යනු මැනව යි ගම් දොරටුව දක්වා පසුගමන් කොට නැවතුණේය. තවුසා ටික දුරක් ගොස් මේ කෙළඹියා වංචා කළ යුතුයැ යි සිතා දළ මඬුල්ල අතරෙහි තණ ගහක් තබා ආපසු හැරුණේය. කෙළඹියා ස්වාමීනි, කුමක් නිසා ආපසු වැඩියෙදැ යි විචාළේය. සගය, ඔබගේ ගෙපියස්සෙහි තණ ගසක් මගේ ජටාවෙහි රැඳුණේය. නුදුන් දේ ගැනීම පැවිද්දන්ට සුදුසු නො වේ. එම තණ ගස රැගෙන ආවෙමි. කෙළඹියා, ස්වාමීනි, එසේ නම් ඒ මෙහි දමා යනු මැනවි. කියා අන්සතු වූ තණ ගසක් වුව ද මේ තවුසා නො ගනී. අහෝ, මගේ තාපසතුමා අතිශයින් කුකුස් ඇත්තෙකි යි වඩාත් පැහැදී වැඳ පිටත් කළේය.
එකල බෝසතුන් භාණ්ඩ සඳහා පසල් දනව්වකට යන කල්හි එම නිවසෙහි නවාතැන් ගන්නා ලද්දේ වෙයි. ඔහු තාපසයාගේ වචන අසා මේ පවිටු තාපසයා විසින් මේ කෙළඹියාගේ යම්කිසි දෙයක් පැහැර ගන්නා ලද්දේය. කෙළඹියාගෙන් විචාළේය. යහළුව. මේ තවුසා ළඟ යම්කිසි දෙයක් තබන ලද්දේ ද? එසේය, යහළුව. රන් නික සියයක් ඔහු ළඟ තබන ලද්දෙමි. එසේ නම් යව. එය සොයා බලනු. කෙළඹියා පන්සලට ගොස් ඒ රන් නික සියය නො දැක වහා ආපසු අවුත් යහළුව, නැතැ යි කීය. ඒ රන් රැස අනිකකු විසින් ගන්නා ලද්දේ නො වෙයි. ඒ පවිටු තවුසා විසින් ගන්නා ලද්දේය. එව, තාපසයා ලුහුබැඳ එය ලබා ගනිමු. වේගයෙන් ගොස් පවිටු තාපසයා අල්ලාගෙන අත් පාවලින් ගසා රන් නික සියය ලබා ගත්තේය. බෝසත්හු රන් රැස දැක මේ පවිටු තවුසා රන් නික සියය පැහැර ගන්නේ එහි ඇල්මක් නො කොට තණ කොළ ගසෙහි ඇලෙන්නෙහි යි කියා ගර්හා කරමින් මේ ගාථාව කීවේය.
“වාචාව කිර තෙ ආසි සණ්හා සඛිලභාණිනො,
තිණමත්තෙ අසජ්ජිත්ථො නො ච නික්ඛසතං හරන්ති”
තිණමත්තෙ අසජ්ජිත්ථො නො ච නික්ඛසතං හරන්ති”
“මෘදු වූ තෙපුල් කියන්නා වූ තොපගේ වචන ම මටසිලිටි වී, තණ කෙන්දක් පමණක් නො ඇලුණෙහි ය. (එහෙත්) නිෂ්ක සියයක් හැර ගෙන යන්නේ නො වෙහි ද?”
එහි, “වාචාව කිර තෙ ආසි සණ්හා සකිලභාණිනොති”, පැවිද්දන්ට තණ ගහක් පමණකුදු නුදුන් දෙය ගැනීමට නො වටී. මෙසේ මිහිරි මෘදු වචන කියන ඔබගේ වචන මාත්රයට මටසිලිටු වූයේය යන අර්ථයි. “තිණමත්තෙ අසජ්ජිත්ථො”, කුළු තවුස, තණ පතක් පිළිබඳ සැක කරන්නේ, එහි ඇළුණේය. “නො ච නික්ඛසතං හරන්ති”, රන් නික සියයක් පැහැර ගන්නා ඔබ නො ඇළුණේ, ආශා නො කළේ වෙහිය.
මෙසේ බෝසත්හු ඔහුට දොස් පවරා හොර තාපසය, මින්මතු මෙවැන්නක් නො කැරව යි, අවවාද කොට කම් වූ පරිදි මිය ගියේය.
බුදුහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා මහණෙනි, මේ මහණ කුහක වූයේ දැන් පමණක් නො වේ. පෙර ද කුහකයකු වූයේයැ යි වදාරා ජාතකය නිමවූහ. එදා කුහක ජටිල තාපසයා දැන් කුහක භික්ෂුව විය. නුවණැති පුරුෂයා මම ම වීමි.
10. අකතඤ්ඤ ජාතකය (90)
“යො පුබ්බෙ කතකල්යාණොති”, යන මේ ජාතක දේශනාව බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, අනේපිඬු සිටුතුමා අරබයා වදාළහ. ඔහුට වනාහි පසල් දනව්වක වැසි එක් සිටුවරයකු නො දුටු මිත්රයකු විය. හෙතෙම එක් දිනක් පසල් ගමක උපදනා භාණ්ඩවලින් ගැල් පන්සියයක් පුරවාගෙන කර්මාන්තයෙහි නියුක්ත මිනිසුන්ට කීවේය. භවතුනි, යවු. මේ බඩු සැවැත් නුවරට ගෙනගොස් අපගේ යහළු අනේපිඬු මහා සිටුහුගේ අධීක්ෂණයෙන් විකුණා වෙනත් බඩු ගෙන එවු. ඔවුහු යහපතැ යි ඔහුගේ වචනය පිළිගෙන සැවැත් නුවරට ගොස් මහසිටුතුමා දැක පඬුරු, තෑගි බෝග දී ඒ පුවත සැල කළාහුය. මහසිටුතුමා තොපගේ පැමිණීම යහපතැ යි ඔවුන්ට නවාතැන් දී මඟ වියදම් ද දෙවා යහළුවාගේ සැපදුක් විචාරා බඩු විකුණා වෙනත් බඩු දෙවීය. ඔවුන් පිටිසර ගමට ගොස් ඒ බව තමන්ගේ සිටුතුමාට සැල කළාහුය.