6. සීලවීමංස ජාතකය (86)
“සීලං කිරෙච කල්යාණන්ති” යන මේ ජාතක දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වසන සේක්, එක් සිල් විමසන බමුණකු අරබයා වදාළහ. හෙතෙම වනාහි කොසොල් රජතුමා නිසා ජීවත් වෙයි. තෙරුවන් සරණ ගියේ නො කඩවා පන්සිල් රකින්නේ, වේදයෙහි පරතෙරට ගියේය. රජතුමා මේ තෙමේ සිල්වත්යැ යි අමතර ව ගරු කරයි. හෙතෙමේ මෙසේ සිතුවේය. මේ රජ තෙමේ මට අනිත් බමුණන්ට වඩා අමතර සම්මානයක් කරයි. අතිශයින් මා ගරුකොට සිතයි. කිම, මොහු මගේ ජාතිය, ගෝත්‍රය, කුල ප්‍රදේශය හා දැන උගත්කම් නිස මේ සම්මාන කරන්නේ ද, නැති නම් සිල්වත් කම විමසන්නෙමි යි සිතූහ. හෙතෙම එක් දවසක් රාජ්‍ය සේවයට ගොස් ගෙට එන්නේ, එක් රන්කරුවකුගේ පුවරුවකින් නො දන්වා එක් කහවණුවක් ගෙන ගියේය. රන්කරුවා බමුණා කෙරෙහි ගෞරවයෙන් කිසිවක් නො කියා හුන්නේය. දෙවැනි දවසෙහි කහවණු දෙකක් ගත්තේය. රන්කරුවා එසේ ම ඉවසා සිටියේය. තෙවැනි දිනයේ මිටක් පමණ කහවණු ගත්තේය. ඉක්බිති, රන්කරුවා අද ඔබගේ තෙවැනි දවසයි. රාජ භාණ්ඩාගාරය පහරන සොරා මා විසින් අල්ලා ගන්නා ලද්දේය. තෙවරක් හද ගැසීය. එවිට මිනිස්සු වටින් පිටින් අවුත් ඔමුට, ඔබ මෙතෙක් කල් සිල්වතකු මෙන් හැසිරුණෙහිය. පහර දෙක තුනක් දී බැඳ රජුට දැන්වූහ.
රජතුමා විපිළිසර වී බමුණ, ඔබ මෙබඳු පවිටු ක්‍රියාවක් කුමක් නිසා කළෙහිදැ යි කියා මොහුට රාජාඥාව පනව යි කීය. බමුණා මහරජ, මම සොරෙක් නො වෙමි යි කීය. එසේ නම් කුමක් නිසා පුවරුවෙන් කහවණු ගත්තෙහි ද? ඔබ මා කෙරෙහි ඉතා මහත් ගෞරවයක් කරන්නෙහිය. කිමෙක් ද? රජ මාගේ කුල ගෝත්‍ර ආදිය නිසා මහත් සම්මාන කරයි ද? නැතිනම් ශීලය නිසාදැයි විමසනු පිණිස කරන ලදි. දැන් මවිසින් නිත්‍යය වශයෙන් දැන ගන්නා ලදි. ශීලය නිසා ම ඔබ විසින් මට සම්මාන කරන ලද්දේය. ජාත්‍යාදිය නිසා නො වෙයි. ඒ එසේ මැයි. දැන් මට රාජාඥාව පනවනු මැනව. ඒ මම මේ කාරණයෙන් මේ ලෝකයෙහි ශීලය ම උතුම්ය. ශීලය ම ශ්‍රේෂ්ඨ මයැ යි තීරණය කළෙමි. මේ ශීලයට සුදුසු ලෙස හැසිරීමට නම් ගිහි ගෙයි සිට කාම සම්පත් විඳිමින් නො හැක්කෙමි. අද ම දෙව්රම් වෙහෙරට ගොස් බුදුන් සමීපයේ පැවිදි වන්නෙමි. දේවයිනි, මට පැවිදිවීමට ඉඩ දෙනු මැනවි යි කීහ. රජුගෙන් අනුමැතිය ලබා දෙව්රම් වෙහෙර දෙසට ගියේය.
ඉක්බිති, ඔහුගේ ඤාති මිත්රාදීහු රැස්ව ඔහු නැවැත්වීමට නො හැකි ව නැවතුණහ. ඔහු බුදු රජුන් වෙත එළැඹ පැවිදි බව ඉල්ලා පැවිදි උපසම්පදා ලැබ දැඩි උත්සාහ ඇත්තේ, විදසුන් වඩා රහත් බවට පැමිණ බුදු රජුන් වෙත එළැඹ ස්වාමීනි, මගේ පැවිද්ද සාර්ථක බවට පැමිණියේයැ යි රහත් බව ප්‍රකාශ කෙළේය. ඔහුගේ ඒ රහත් බව ප්‍රකාශ කිරීම මහසඟන අතර ප්‍රකට විය. ඉක්බිති, එක් දවසක් දම් සභාවෙහි රැස්වූ භික්ෂූහු ඇවැත්නි, අසවල් නම් ඇති රාජ උපස්ථායක බමුණා තමාගේ සිල් විමසා රජුන් අනු දන්වා පැවිදි ව රහත් බවෙහි පිහිටියේයැ යි, ඔහු පිළිබඳ ගුණය කියමින් හුන්නාහුය. බුදු රජහු වැඩමවා මහණෙනි, දැන් මෙහි කවර කථාවකින් යුතුව හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින් හුන්නෙමු යි කී කල්හි මහණෙනි, මේ බමුණු තෙම තමාගේ ශීලය විමසවා පැවිදි ව තමාට පිහිටක් කළේ දැන් පමණක් නො වේ. පෙර ද නුවණ ඇත්තෝ තමාගේ ශීලය විමසවා පැවිදි ව තමා හට පිහිටක් කළාහුමැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කැරද්දී බෝසත්හු ඒ රජුගේ පුරෝහිත බමුණා විය. හේ දන්දීමෙහි ඇලුණේය. ශීලයෙන් සපිරුණේය. නො කැඩුණු පන්සිල් ඇත්තාහ. රජ සෙසු බමුණන්ට වඩා වැඩියෙන් ඔහුට සම්මාන කරයි. සෙසු සියල්ල පෙර කථාව මෙනි. බෝසතුන් බැඳ රජු ළඟට ගෙන යනු ලබන කල්හි ඇතුළු වීදියෙහි අහිගුණ්ඨිකයෝ නාගයකු ලවා ක්‍රීඩා කැරවමින් ඔහුගේ වලිගයෙන් ගනිති. ගෙලෙන් ගනිත්. තමාගේ ගෙලෙහි වෙලි ගනිත්. බෝසත්හු ඔවුන් දැක දරුවනි, මේ නාගයා නගුටෙන් නො ගනිවු. බෙල්ලෙන් නො ගනිවු. බෙල්ලෙහි වෙලා නො ගනිවු. මේ නාගයා තොපට දෂ්ට කොට මරණයට පමුණුවන්නේය. එවිට අහිගුණ්ඨිකයෝ බමුණ, මේ නාගයා සිල්වත්ය. සිරිත් විරිත් දන්නේය. තොප මෙන් දුශ්ශීලයෙක් නො වෙයි. තොප වනාහි තමාගේ දුසිල් බව නිසාත් නො සිරිත් බව නිසාත් රාජ භාණ්ඩාගාරය පහරා සොරකු ලෙස බැඳගෙන යනු ලබතැ යි කීවාහ.