5. කිම්පක්ක ජාතකය (85)
“ආයතිදොසං නාඤ්ඤායාති” යන මේ ධර්ම දේශනාව බුදු රජහු දෙව්රමෙහි වැඩ වසන සේක්, එක් උකටලී භික්ෂුවක් අරබයා දේශනා කළහ. එක්තරා කුල පුත්‍රයෙක් බුදු සසුනෙහි උරදී පැවිදි ව එක් දවසක් සැවැත් නුවර පිඬු පිණිස හැසිරෙන්නේ, මනා රූසපුවෙන් යුත් ස්ත්‍රියක දැක කළකිරුණේය. ඉක්බිති, ආචාර්ය උපාධ්‍යායයෝ ඔහු රැගෙන බුදු රජුන් වෙත ගියහ. බුදු රජහු මහණ, ඔබ උකටලී වූයේ සැබෑදැ යි විචාරා ස්වාමීනි, සත්‍යයැ යි කී කල්හි, මහණ, මේ පඤ්ච කාම සම්පත් විඳින කල්හි මනහරය. එහෙත් ඒ විඳීමෙන් නිරය ආදියෙහි ඉපදීමට හේතුවන බැවින් කිම්පක්ක නම් ගෙඩි අනුභව කිරීම හා සමාන වේ. කිම්පක්ක ඵල වනාහි පැහැයෙන්, සුවඳින්, රසයෙන් යුක්තය. එහෙත් අනුභව කළ පසු බඩවැල් කඩ කඩ කොට මරණයට පමුණුවයි. පෙර බොහෝ මිනිස්සු මෙහි දොස් නො දැක පැහැයට, සුවඳට, රසයට ආසා කොට ඒ ඵල අනුභව කොට මරණයට පැමිණියහැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු සාත්තු නායකයෙක් ව ඉපිද ගැල් පන්සියයක් ගෙන පෙරදිගින් අපර දිගට යන්නාහු, වන දොරටුවට පැමිණ මිනිසුන් රැස් කැරවා මේ වනයෙහි විෂ ගස් ඇත. පෙර අනුභවකොට නුපුරුදු ගෙඩි මගෙන් නො විචාරා නො කවු යි අවවාද කළහ. මිනිස්සු වනය ඉක්මවා වන දොරටුවට පැමිණි කල්හි ඵල බරින් නැමුණු අතු ඇති කිම්පක්ක ගසක් දුටහ. එහි කඳ, අතු, කොළ, ගෙඩි ආදිය හැඩයෙන්, වර්ණයෙන්, රසයෙන්, ගඳින් අඹ ඵල සමාන විය. ඔවුන්ගෙන් සමහරු පැහැය සුවඳ රස නිසා ආසා කොට අඹ ඵල යන හැඟීමෙන් ඒ ගසෙහි ගෙඩි කෑහ. සමහරු ගැල් නායකයන්ගෙන් විමසා කමු යි ගෙඩි, කොළ ආදිය ගෙන බෝසතුන් වෙත ගියහ. බෝසත්හු එතැනට පැමිණ නෙලන ලද ගෙඩි බැහැරට දමා යමෙක් ගෙඩි කමින් සිටියේ ද ඔවුන් වමනය කැරවා ඔවුන්ට බෙහෙත් දෙවූහ. එයින් සමහරු නිරෝගී වූහ. පළමු ව ගෙඩි කෑ මිනිස්සු මරණයට පත්වූහ. බෝසත්හු ද තමා කැමැති ස්ථානයට සුව සේ ගොස් ලාභ ලැබ නැවත තමන්ගේ ස්ථානවලට ම පැමිණ දානාදී පිංකම් කොට කම් වූ පරිදි මිය ගියේය.
බුදු රජහු මේ කථා පුවත ගෙනහැර දක්වා මේ ගාථාව දේශනා කළහ.
“ආයතිදොසං නාඤ්ඤාය යො කාමෙ පතිසෙවති,
විපාකන්තෙ හනන්ති නං කිම්පක්කමිව භාක්ඛිතන්ති”
විපාකන්තෙ හනන්ති නං කිම්පක්කමිව භාක්ඛිතන්ති”
“මතුවන්නා වූ දෝෂය නො දැන යමෙක් කාමයෙන් සෙවුණේ ද කන ලද කිම්පක්ක නම් විෂ ඵලය මෙන් (ඒ කාමයෙන්) ඒ පුරුෂයා විපාක සංඛ්‍යාත අන්තයෙහි නිරයෙහි නොයෙක් දුක්දී නසත්.”
එහි, “ආයතිදොසං නාඤ්ඤායති”, මතු ඇතිවන දෝෂ නො දැන - දන්නේ නැතුව යන අර්ථයි. “යො කාමෙ පතිසෙවති”, යමෙක් වස්තු කාම, ක්ලේශ කාමයන් සේවනය කරයි ද, “විපාකන්තෙ හනන්ති නං”, ඒ කාමයෝ, ඒ පුරුෂයෝ තමාගේ විපාක සංඛ්‍යාත කෙළවර දී නිරයාදියෙහි උපදවමින් නොයෙක් විවිධ දුක් ගෙන දෙමින් නසත්. කෙසේ ද?, “කිම්පක්කමිව භාක්ඛිතන්ති”, යම් සේ අනුභව කරන කාලයෙහි පැහැය, සුවඳ, රස නිසා ප්‍රිය වූ කිම්පක්ක ගෙඩිය අනාගත දොස් නො දැක අනුභව කරන ලද්දේ අතුනු මහත් ව මරණයට පමුණුවයි. මෙසේ අනුභව කරන කාලයෙහි මිහිරි වුව ද කාමයෝ විපාක දෙන කාලයේ නසත්. මෙසේ මේ දේශනාව සන්ධි ගළපා සිව්සස් ප්‍රකාශ කළේය. සත්‍යය දේශනාව කෙළවර කළකිරුණු භික්ෂුව සෝවාන් ඵලයට පැමිණියේය. සෙසු පිරිසෙන් සමහරෙක් සෝවාන් වූහ. සමහරෙක් සකෘදාගාමී වූහ. සමහරෙක් අනාගාමී වූහ. ඇතැමෙක් රහත් වූහ.
බුදුහු ද මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළහ. එකල පිරිස බුදු පිරිස විය. සත්ථුවාහකයා වනාහි මම ම වෙමි.
6. සීලවීමංස ජාතකය (86)
“සීලං කිරෙච කල්යාණන්ති” යන මේ ජාතක දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වසන සේක්, එක් සිල් විමසන බමුණකු අරබයා වදාළහ. හෙතෙම වනාහි කොසොල් රජතුමා නිසා ජීවත් වෙයි. තෙරුවන් සරණ ගියේ නො කඩවා පන්සිල් රකින්නේ, වේදයෙහි පරතෙරට ගියේය. රජතුමා මේ තෙමේ සිල්වත්යැ යි අමතර ව ගරු කරයි. හෙතෙමේ මෙසේ සිතුවේය. මේ රජ තෙමේ මට අනිත් බමුණන්ට වඩා අමතර සම්මානයක් කරයි. අතිශයින් මා ගරුකොට සිතයි. කිම, මොහු මගේ ජාතිය, ගෝත්‍රය, කුල ප්‍රදේශය හා දැන උගත්කම් නිස මේ සම්මාන කරන්නේ ද, නැති නම් සිල්වත් කම විමසන්නෙමි යි සිතූහ. හෙතෙම එක් දවසක් රාජ්‍ය සේවයට ගොස් ගෙට එන්නේ, එක් රන්කරුවකුගේ පුවරුවකින් නො දන්වා එක් කහවණුවක් ගෙන ගියේය. රන්කරුවා බමුණා කෙරෙහි ගෞරවයෙන් කිසිවක් නො කියා හුන්නේය. දෙවැනි දවසෙහි කහවණු දෙකක් ගත්තේය. රන්කරුවා එසේ ම ඉවසා සිටියේය. තෙවැනි දිනයේ මිටක් පමණ කහවණු ගත්තේය. ඉක්බිති, රන්කරුවා අද ඔබගේ තෙවැනි දවසයි. රාජ භාණ්ඩාගාරය පහරන සොරා මා විසින් අල්ලා ගන්නා ලද්දේය. තෙවරක් හද ගැසීය. එවිට මිනිස්සු වටින් පිටින් අවුත් ඔමුට, ඔබ මෙතෙක් කල් සිල්වතකු මෙන් හැසිරුණෙහිය. පහර දෙක තුනක් දී බැඳ රජුට දැන්වූහ.