4. අත්ථස්සද්වාර ජාතකය (84)
“අරොග්යමිච්ඡෙ පරමං ච ලාභන්ති” යන මේ දේශනාව බුදු රජහු දෙව්රමෙහි වැඩ වාසය කරන සේක්, එක් අභිවෘද්ධියෙහි දක්ෂ පුත්රයකු අරබයා වදාළහ. සැවැත් නුවර එක් මහා ධනය ඇති සිටුවරයකුගේ පුත්රයකු විය. උපතින් සත් හැවිරිදි වියේදී ම නුවණ ඇත්තේ, දියුණුවෝ දක්ෂ වූයේය. හෙතෙම එක් දිනක් පියා වෙත එළැඹ දියුණුවේ දොරටු පිළිබඳ ප්රශ්න දෙකක් විචාළේය. පියා එය නො දනියි. ඉක්බිති, ඔහුට මෙබඳු අදහසක් ඇතිවිය. මේ ප්රශ්නය ඉතා සියුම්ය. සර්වඥ බුදු රජුන් හැර අනිකකු මතු භවාග්රය දක්වා ද යට අවීචිය පරිච්ඡේදකොට ඇති ලෝකය තුළ මේ ප්රශ්නය කියන්නට සමර්ථයකු නම් නැත. ඔහු පුතා රැගෙන බොහෝ මල්, සුවඳ විලවුන් ගෙන්වා ගෙන දෙව්රමට ගොස් බුදු රජුන් පුදා වැඳ එකත් පසෙක හුන්නේ, භාග්යවතුන් වහන්සේට මෙය කීවේය. ස්වාමීනි, මේ දරුවා නුවණ ඇත්තේය. අභිවෘද්ධියෙහි දක්ෂය. මගෙන් දියුණුවෝ දොරටු පිළිබඳ ප්රශ්නය විචාළේය. මම ඒ ප්රශ්නය නො දන්නා බැවින් නුඹ වහන්සේ සමීපයට ආවෙමි. භාග්යවතුන් වහන්සේ මට ඒ ප්රශ්නය කියා දෙන සේක් නම් යහපති. බුදු රජහු උපාසකය, පෙර ද මම මේ කුමාරයා විසින් විචාරන ලද මේ ප්රශ්නය විසඳා දුනිමි. මේ කුමාරයා එදා එය දැන ගත්තේය. භවයෙන් වැසී ගිය බැවින් දැන් එය නො පැහැදිලියැ යි වදාරා ඔහු විසින් අයදනා ලදුව ඉකුත් කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරවන කල්හි බෝසත්හු මහත් සම්පත් ඇති සිටු කෙනෙක් වූහ. ඉක්බිති, ඔහුගේ උපතින් සත් හැවිරිදි පුත්රයා නැණ ඇත්තේ, දියුණුවෙහි දක්ෂ වූයේ දිනක් පියා වෙත එළැඹ පියාණනි, අභිවෘද්ධියට දොරටු කෙතෙක්දැ යි “අත්ථස්සද්වාර පුඤ්හයි” විචාළේය. එවිට ඔහුගේ පියා මේ ප්රශ්නය විසඳමින් මේ ගාථාව කීය.
“ආරොග්යමිච්ඡෙ පරමං ච ලාභං, සීලං ච වුද්ධානුමතං සුතං ච,
ධම්මානුවත්තී ච අලීනතා ච, අත්ථස්ස ද්වාරා පමුඛා ඡළෙතෙති”
ධම්මානුවත්තී ච අලීනතා ච, අත්ථස්ස ද්වාරා පමුඛා ඡළෙතෙති”
“ආරෝග්යය නම් වූ උතුම් ලාභය කැමැති වන්නේය. ආචාර ශීලය ද (ගුණයෙන්) වැඩිහිටියන්ගේ අනුමතය ද බහුශ්රැත බව ද ධර්මය අනුව පැවැත්ම ද චිත්තයාගේ නො හැකුළුණු බව ද යන මේ සදෙන දියුණුවට ප්රධාන වූ ද්වාරයෝය.”
එහි, “ආරොග්ය මිච්ඡෙ පරමං ච ලාභන්ති” යනු නිපාත මාත්රයකි. දරුව, පළමු කොට ම නිරෝගිකම නැමැති උසස් ම ලාභය කැමැති විය යුතුයැ යි යන මේ අර්ථය දක්වනු සඳහා මෙසේ කීය. එහි ද ආරෝග්යය නම් ශරීරයෙහි ද සිතෙහි ද නිරෝගී බව, ලෙඩ නැති බවය. ශරීරයෙහි රෝග හටගත් විට නො ලැබූ ධනය උපදවීමට නො හැක්කේය. ලැබූ ධනය පරිභෝග කිරීමට ද නො හැක්කේය. නිරෝගී බව ඇති කල්හි මේ උභය සම්පත්තිය ම ලබා ගැනීමට හැකි වෙයි. සිත කෙළෙස්වලින් ගිලන් වූ කල්හි නො ලැබූ ධ්යානාදී ලාභ උපදවීමට නො හැක්කේය. ලැබුවා වූ ධ්යානය ද නැවත සමාපත්ති වශයෙන් පරිභෝග කරන්නට ද නො හැක්කේය. මේ ගිලන් බව ඇති කල්හි නො ලැබූ ලාභය ද නො ලබයි. ලැබුවා වූ ධ්යානය ද අර්ථ රහිත වෙයි. මේ ගිලන් බව නැති කල්හි නො ලැබුවා වූ ලාභය වෙයි. ලැබුවා වූ ලාභය සාර්ථක වෙයි. මේ නිසා නිරෝගී බව උසස් ම ලාභය වෙයි. එය පළමුවෙන් ම කැමැති විය යුතුයි. මේ දියුණුවට එක් මඟකි යන අර්ථයි. “සීලං චාති”, මෙහි ආචාර ශීලයයි. මෙයින් ලෝක චාරිත්ර දක්වයි. “වුද්ධානුමතන්ති”, ගුණයෙන් වැඩිහිටියන්ගේ ද නුවණ ඇත්තන්ගේ ද අනුදැනීමයි. මෙයින් ගුණවත් ගුරුවරුන්ගේ අවවාද දක්වයි. “සුතං චාති”, හේතු කාරණා සහිත දැනීමයි. මෙයින් මේ ලෝකයෙහි දියුණුවට හේතු වූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවයි. “ධම්මානුවත්තී චාති”, ත්රිවිධ වූ සුචරිත ධර්මයට අනුගත වීමයි. මෙයින් දුසිරිත්කම් හැර සුචරිත ධර්මයෙහි යෙදෙන බව දක්වයි. “අලීනතා චාති”, සිතෙහි නො මැළි බව, උසස් බව, උසස් බවයි. “අත්ථස්ස ද්වාරා පමුඛා ඡළෙතෙති”, හි, “අත්ථ”, යනු දියුණුවයි. ඒ වැඩීම් සංඛ්යාත වූ ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධියට ප්රමුඛය. යහපත්ය. එම නිසා මේ දොරටු සය දියුණුව ලබා ගැනීමේ උපාය නම් වේ.
මෙසේ බෝසත්හු පුත්රයාට දියුණුවේ දොරටු ප්රශ්නය ප්රකාශ කළහ. ඔහු එතැන් පටන් ඒ සය ධර්මයන්හි අනුව ක්රියා කළේය. බෝසත්හු ද දානාදී පිංකම් කොට කම් වූ පරිදි මිය ගියහ.
බුදු රජහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමා කළහ. එදා පුත්රයා දැන් පුත්රයා මය. මහ සිටුහු මම ම වීමි.
5. කිම්පක්ක ජාතකය (85)
“ආයතිදොසං නාඤ්ඤායාති” යන මේ ධර්ම දේශනාව බුදු රජහු දෙව්රමෙහි වැඩ වසන සේක්, එක් උකටලී භික්ෂුවක් අරබයා දේශනා කළහ. එක්තරා කුල පුත්රයෙක් බුදු සසුනෙහි උරදී පැවිදි ව එක් දවසක් සැවැත් නුවර පිඬු පිණිස හැසිරෙන්නේ, මනා රූසපුවෙන් යුත් ස්ත්රියක දැක කළකිරුණේය. ඉක්බිති, ආචාර්ය උපාධ්යායයෝ ඔහු රැගෙන බුදු රජුන් වෙත ගියහ. බුදු රජහු මහණ, ඔබ උකටලී වූයේ සැබෑදැ යි විචාරා ස්වාමීනි, සත්යයැ යි කී කල්හි, මහණ, මේ පඤ්ච කාම සම්පත් විඳින කල්හි මනහරය. එහෙත් ඒ විඳීමෙන් නිරය ආදියෙහි ඉපදීමට හේතුවන බැවින් කිම්පක්ක නම් ගෙඩි අනුභව කිරීම හා සමාන වේ. කිම්පක්ක ඵල වනාහි පැහැයෙන්, සුවඳින්, රසයෙන් යුක්තය. එහෙත් අනුභව කළ පසු බඩවැල් කඩ කඩ කොට මරණයට පමුණුවයි. පෙර බොහෝ මිනිස්සු මෙහි දොස් නො දැක පැහැයට, සුවඳට, රසයට ආසා කොට ඒ ඵල අනුභව කොට මරණයට පැමිණියහැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරන කල්හි බෝසත්හු සාත්තු නායකයෙක් ව ඉපිද ගැල් පන්සියයක් ගෙන පෙරදිගින් අපර දිගට යන්නාහු, වන දොරටුවට පැමිණ මිනිසුන් රැස් කැරවා මේ වනයෙහි විෂ ගස් ඇත. පෙර අනුභවකොට නුපුරුදු ගෙඩි මගෙන් නො විචාරා නො කවු යි අවවාද කළහ. මිනිස්සු වනය ඉක්මවා වන දොරටුවට පැමිණි කල්හි ඵල බරින් නැමුණු අතු ඇති කිම්පක්ක ගසක් දුටහ. එහි කඳ, අතු, කොළ, ගෙඩි ආදිය හැඩයෙන්, වර්ණයෙන්, රසයෙන්, ගඳින් අඹ ඵල සමාන විය. ඔවුන්ගෙන් සමහරු පැහැය සුවඳ රස නිසා ආසා කොට අඹ ඵල යන හැඟීමෙන් ඒ ගසෙහි ගෙඩි කෑහ. සමහරු ගැල් නායකයන්ගෙන් විමසා කමු යි ගෙඩි, කොළ ආදිය ගෙන බෝසතුන් වෙත ගියහ. බෝසත්හු එතැනට පැමිණ නෙලන ලද ගෙඩි බැහැරට දමා යමෙක් ගෙඩි කමින් සිටියේ ද ඔවුන් වමනය කැරවා ඔවුන්ට බෙහෙත් දෙවූහ. එයින් සමහරු නිරෝගී වූහ. පළමු ව ගෙඩි කෑ මිනිස්සු මරණයට පත්වූහ. බෝසත්හු ද තමා කැමැති ස්ථානයට සුව සේ ගොස් ලාභ ලැබ නැවත තමන්ගේ ස්ථානවලට ම පැමිණ දානාදී පිංකම් කොට කම් වූ පරිදි මිය ගියේය.