3. කාළකණ්ණි ජාතකය (83)
“මින්තො හවෙ සත්තපදෙන හොතීති” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, අනේපිඬු මහා සිටුහුගේ යහළුවකු අරබයා දේශනා කළහ. ඔහු වනාහි මහසිටුහු සමග වැලිකෙළියේ පටන් එක ම ඇදුරකු ළඟ සිප්සතර හදාළ නමින් කාළකණ්ණි නම් විය. කල්යත් ම ඔහු දුගී බවට පත්ව දිවි රැකුමට නො හැකි ව මහසිටු වෙත ගියේය. මහසිටු ඔහු අස්වසා ජීවන වියදම් දී ආරක්ෂාව සඳහා තම ධනය ද පැවරුවේය. ඔහු මහසිටු හට උපකාරකයෙක් වී සියලු කටයුතු කරයි. මහසිටු ළඟට ඔහු පැමිණි කල්හි කාළකණ්ණිය සිටුව, කාළකණ්ණිය හිඳුව, කාළකණ්ණිය කව යි කියත්. එක් දවසක් සිටුහුගේ යහළු මිත්‍රයෝ ඔහු වෙත පැමිණ මෙසේ කීහ. සිටුතුමනි, මොහු ඔබ ළඟ සිටුවා නො ගත යුතුය. කාළකණ්ණිය, සිටුව. හිඳුව. කව ආදී වශයෙන් නිතර නිතර කියන කල්හි යක්ෂයා පවා පලා යන්නේය. තව ද ඔහු ඔබ හා සමත් නො වේ. දුගීය. විරූපය. ඔහුගෙන් ඔබට ඇති ඵලය කිම. එවිට මහසිටුහු, නම වනාහි ව්‍යවහාර මාත්‍රයකි. නුවණැත්තෝ නම ම ප්‍රමාණ නො කරත්. ඇසූ දෙය සුබ වශයෙන් ගත්හ. සුබ මංගලයකු විය යුතු නො වේ. වැලිකෙළියෙහි පටන් යහළුවකු වූ මොහු නම නිසා අත්හරින්ට නො හැකිය. ඔවුන්ගේ වදන් නො පිළිගෙන දිනක් තමාගේ නුදුරු ගමකට යන්නේ කාළකණ්ණියා ගෙයි ආරක්ෂකයා කොට ගියේය.
සොරු සිටුතුමා වෙනත් ගමකට ගියේය. ඔහුගේ ගෙය පහරන්නමැ යි නොයෙක් ආයුධ ගත් අතැති ව රාත්‍රී කාලයෙහි අවුත් ගෙය වැටලූහ. කාළකණ්ණි ද සොරුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් නො නිදා ම සිටියේය. ඔහු සොරුන් ආ බව දැන මිනිසුන් පුබුදුවා, ඔබ සක පිඹින්න. ඔබ මිහිඟු බෙර වයන්න ආදී වශයෙන් මහා සැණකෙළියක් කරන්නාක් මෙන් මුළු නිවනස ම නින්නාද කළේය. එවිට සොරු සිටු ගෙය හිස්යැ යි සිතූ අප වැරදි වෙමු. මහසිටු මෙහි ම සිටිතැ යි ගල්, මුගුරු ආදිය එහි ම දමා පලා ගියහ.
දෙවැනි දවස්හි මිනිස්සු ඒ ඒ තැන දමන ලද ගල්, මුගුරු ආදිය දැක සංවේගයට පත්ව ඉදින් අද මෙබඳු වූ නැණවත් ගෘහ ආරක්ෂකයෙක් නො සිටියේ නම් සොරුන් විසින් කැමැති පරිදි ගෙට පිවිස මුළු ගෙය පහරන්නට තිබිණි. මේ හිතවත් මිත්‍රයා නිසා සිටුතුමාට අභිවෘද්ධියක් ම වූයේයැ යි ඔහුට ප්‍රශංසා කොට සිටුතුමා ගොදුරු ගමින් ආ විට ඒ සියලු පුවත් සැල කළහ. ඉක්බිති, ඒ සිටු මෙසේ කීවේය. ඔබලා මෙබඳු ගෘහාරක්ෂක මිතුරා බැහැර කළාහු නම් අද මගේ ධනය කිසිවක් ඉතිරි නො වන්නේය. නම වනාහි සැලකිය යුතු නො වේ. හිතවත් බව ම ප්‍රමාණ වෙයි. ඔහුට වඩ වඩාත් ජීවන වියදම් දී අද මම පුවත් පඬුරක් ඇතැ යි බුදු රජුන් වෙත එළැඹ මුලපටන් ඒ පුවත සැල කළේය. ගෘහපතිය, මේ කාළකණ්ණි නම් මිත්‍රයා තමාගේ මිතුරාගේ ගෘහය ආරක්ෂා කරනුයේ දැන් පමණක් නොව, පෙර ද ආරක්ෂා කළේයැ යි වදරා ඔහු විසින් අයදනා ලදුව අතීතය ගෙන හැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරන කල්හි බෝසත්හු මහත් සම්පත් ඇති සිටුවරයෙක් වූහ. ඔහුට කාළකණ්ණි නම් මිත්‍රයකු විය. සෙසු සියල්ල වර්තමානය හා සමානය. බෝසත්හු ගොදුරු ගමින් අවුත් ඒ පුවත අසා ඉදින් ඔබගේ වචනයෙන් මා විසින් මෙබඳු වූ මිත්‍රයා බැහැර කරනු ලැබුණේ නම් අද මගේ සම්පත් කිසිවක් නො වන්නේ යි කියා මේ ගාථාව කීහ.
“මිත්තො හවෙ සත්තපදෙන හොති, සහායො පන ද්වාදසකෙන හොති,
මාසද්ධමාසෙන ච ඤාති හොති තතුත්තරි අත්තසමොපි හොති,
සොහං කථං අත්තසුඛස්ස හෙතු, චිරසන්ථුතං කාළකණ්ණිං ජහෙය්යන්ති”
මාසද්ධමාසෙන ච ඤාති හොති තතුත්තරි අත්තසමොපි හොති,
සොහං කථං අත්තසුඛස්ස හෙතු, චිරසන්ථුතං කාළකණ්ණිං ජහෙය්යන්ති”
“එක්ව සත් පියවරක් යෑමෙන් මිත්‍රයෙක් වන්නේය. දොළොස් දිනක් එක්ව විසීමෙන් යහළුවෙක් වන්නේය. මසකින් ද අඩ මසකින් ද නෑයෙක් හා සම වන්නේය. එයින් අධි කාලයක් එක්ව විසීමෙන් ප්රාණසමයෙක්ද වන්නේය. ඒ මම තමාගේ සුවය කරණ කොටගෙන බොහෝ කාලයක් එක්ව වාසය කොට පුරුදු වූ කාළකණ්ණි නම් යහළුවා කෙසේ හරනෙම් ද?”
එහි, “හවෙති”, නිපාත මාත්‍රයකි. මෙත් කැරේනු යි මිත්‍ර නමි. මෛත්‍රිය සිතෙහි එළවාගෙන සෙනෙහස කළැ යි යන අර්ථයි. මේ මිත්‍රයා වනාහි, “සත්තපදෙන හොතීති”, එකතු ව සත් පියවරක් ගමන් කළ පමණකින් වේ, යන අර්ථයි. “සහායො වන ද්වාදසකෙන හොති”, සියලු කටයුතු එකට කිරීමෙන් හා සියලු ඉරියව්වල සමග සිටින්නේ, “සහාය” නමි. මේ සහායකයා දොළොස් දිනක් එකට විසීමෙන් වේ, යන අර්ථයි. “මාසද්ධමාසෙත චාති”, මසකින් හෝ අඩ මසකින්, “ඤාති හොති”, නෑයෙක් සමාන වන්නේය. “තතුත්තරින්ති”, ඉන් මත්තෙහි එකට විසුවෙහි, “අත්තසමොපි හොති”, ප්‍රාණ සමයෙක් වන්නේය. “ජහෙය්යන්ති”, මෙබඳු යහළුවකු කෙසේ නම් අත් හරින්නේ ද? මිතුරු බවේ අගය ප්‍රකාශ කළේය. එතැන් පටන් නැවත කිසිවෙක් මේ පිළිබඳව කථා නො කළෝය.