2. මිත්තවින්ද ජාතකය (82)
“අතික්කම්ම රමණකන්ති” යන මේ ජාතකය බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, එක් අකීකරු භික්ෂුවක් අරබයා වදාළහ. මේ ජාතකයේ වනාහි කාශ්යප සම්බුදු කාලයට අයත් කථා වස්තු දහවන නිපාතයෙහි මහා මිත්තවින්ද ජාතකයේ මතු සඳහන් වන්නේය. එකල්හි වනාහි බෝසත්හු මේ ගාථාව කීහ.
“අතික්කම්ම රමණකං සදාමත්තං ච දුභකං,
ස්වාසි පාසාණමාසීනො යස්මා ජීවං න මොක්ඛසීති”
ස්වාසි පාසාණමාසීනො යස්මා ජීවං න මොක්ඛසීති”
“පළිඟු පහය ද රිදී පහය ද මැණික් පහය ද ඉක්ම තෙපි (පාපක්ෂය වන තෙක්) ජීවත් වන්නහු, (යම් උරචක්රයකින්) නො මිදෙන්නහු ද එබඳු පාෂාණ උරචක්රයකින් මඩනා ලද්දාහුය.”
එහි, “රමණකං”, ඒ කාලයේ පළිඟුවට නමකි. පළිඟු ප්රාසාදය ද ඉක්ම වූ බව දක්වයි. “සදාමන්තං චාති”, රිදියට නමකි. රිදී ප්රාසාදය ද ඉක්ම වූ බව පෙන්වයි. “දුභකන්ති”, මැණික්වලට නමකි. මැණික් ප්රාසාදය ද ඉක්ම වූ බව පෙන්වයි. “ස්වාසීති”, ඒ ඔබ වෙහි. “පාසාණමාසීනො” උරචක්රය වනාහි පාසාණමය හෝ වෙයි. රිදීමය හෝ වෙයි. මැණික්මය හෝ වෙයි. ඔහු ද එහි හුන්නේ එහෙයින් පාසාණයෙහි හුන් බැවින් “පාසාණසීන” යැයි කිව යුතු තැන ව්යඤ්ජන සන්ධි වශයෙන් ‘ම’ කාරය ගෙන “පාසාණමාසීන” යැයි කියන ලදි. පාෂාණය හෝ එහි හුන්නේ, ඒ උරචක්රය පැමිණ සිටියේ යන අර්ථයි. “යස්මා ජීවං න මොක්ඛසීති”, යම් හෙයකින් උරචක්රය යම්තාක් ඔබේ පාප කර්මය ක්ෂය වේ ද ඒතාක් ජීවත් වෙමින් නො මදින්නේ වෙයි.
මේ ගාථාව කියා බෝසත්හු තමාගේ දේවස්ථානයට ම ගියහ. මිත්තවින්දක උරචක්රය ඔසවාගෙන මහා දුක් අනුභව කැරෙමින් පව්කම් ක්ෂය වූ කල්හි කම් වූ පරිදි ගියේය.
බුදු රජහු මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා ජාතකය නිමා කළහ. එකල මිත්තවින්දක අකීකරු භික්ෂුව විය. දේවරාජයා වනාහි මම ම වීමි.
3. කාළකණ්ණි ජාතකය (83)
“මින්තො හවෙ සත්තපදෙන හොතීති” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, අනේපිඬු මහා සිටුහුගේ යහළුවකු අරබයා දේශනා කළහ. ඔහු වනාහි මහසිටුහු සමග වැලිකෙළියේ පටන් එක ම ඇදුරකු ළඟ සිප්සතර හදාළ නමින් කාළකණ්ණි නම් විය. කල්යත් ම ඔහු දුගී බවට පත්ව දිවි රැකුමට නො හැකි ව මහසිටු වෙත ගියේය. මහසිටු ඔහු අස්වසා ජීවන වියදම් දී ආරක්ෂාව සඳහා තම ධනය ද පැවරුවේය. ඔහු මහසිටු හට උපකාරකයෙක් වී සියලු කටයුතු කරයි. මහසිටු ළඟට ඔහු පැමිණි කල්හි කාළකණ්ණිය සිටුව, කාළකණ්ණිය හිඳුව, කාළකණ්ණිය කව යි කියත්. එක් දවසක් සිටුහුගේ යහළු මිත්රයෝ ඔහු වෙත පැමිණ මෙසේ කීහ. සිටුතුමනි, මොහු ඔබ ළඟ සිටුවා නො ගත යුතුය. කාළකණ්ණිය, සිටුව. හිඳුව. කව ආදී වශයෙන් නිතර නිතර කියන කල්හි යක්ෂයා පවා පලා යන්නේය. තව ද ඔහු ඔබ හා සමත් නො වේ. දුගීය. විරූපය. ඔහුගෙන් ඔබට ඇති ඵලය කිම. එවිට මහසිටුහු, නම වනාහි ව්යවහාර මාත්රයකි. නුවණැත්තෝ නම ම ප්රමාණ නො කරත්. ඇසූ දෙය සුබ වශයෙන් ගත්හ. සුබ මංගලයකු විය යුතු නො වේ. වැලිකෙළියෙහි පටන් යහළුවකු වූ මොහු නම නිසා අත්හරින්ට නො හැකිය. ඔවුන්ගේ වදන් නො පිළිගෙන දිනක් තමාගේ නුදුරු ගමකට යන්නේ කාළකණ්ණියා ගෙයි ආරක්ෂකයා කොට ගියේය.