10. අකතඤ්ඤ ජාතකය (90)
“යො පුබ්බෙ කතකල්‍යාණොති”, යන මේ ජාතක දේශනාව බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, අනේපිඬු සිටුතුමා අරබයා වදාළහ. ඔහුට වනාහි පසල් දනව්වක වැසි එක් සිටුවරයකු නො දුටු මිත්‍රයකු විය. හෙතෙම එක් දිනක් පසල් ගමක උපදනා භාණ්ඩවලින් ගැල් පන්සියයක් පුරවාගෙන කර්මාන්තයෙහි නියුක්ත මිනිසුන්ට කීවේය. භවතුනි, යවු. මේ බඩු සැවැත් නුවරට ගෙනගොස් අපගේ යහළු අනේපිඬු මහා සිටුහුගේ අධීක්ෂණයෙන් විකුණා වෙනත් බඩු ගෙන එවු. ඔවුහු යහපතැ යි ඔහුගේ වචනය පිළිගෙන සැවැත් නුවරට ගොස් මහසිටුතුමා දැක පඬුරු, තෑගි බෝග දී ඒ පුවත සැල කළාහුය. මහසිටුතුමා තොපගේ පැමිණීම යහපතැ යි ඔවුන්ට නවාතැන් දී මඟ වියදම් ද දෙවා යහළුවාගේ සැපදුක් විචාරා බඩු විකුණා වෙනත් බඩු දෙවීය. ඔවුන් පිටිසර ගමට ගොස් ඒ බව තමන්ගේ සිටුතුමාට සැල කළාහුය.
ඉක්බිති, පසු කලෙක අනේපිඬු සිටුතුමා ද එසේ ම පන්සියයක් ගැල් එහි යැවීය. මිනිස්සු එහි ගොස් පුද පඬුරු ගෙන පසල් ගම් වැසි සිටුතුමා බැහැ දැක්කාහ. හෙතෙම කොහි සිට ආවාහුදැ යි විචාරා සැවැත් නුවර සිට නුඹ වහන්සේගේ යහළු අනාථ පිණ්ඩික සිටුතුමාගේ සමීපයේ සිටයැ යි කී කල්හි, අනේපිඬු සිටු යනු කිසියම් පුරුෂයකුගේ නමක් විය යුතු වන්නේයැ යි අපහාස කොට තෑගිබෝග ගෙන නුඹලා යවුයැ යි පිටත් කළේය. නවාතැන් නුදුන්නේය. මඟ වියදම් නො දෙවීය. ඔවුන් තෙමේ ම බඩු විකුණා පෙරළා බඩු ගෙන සැවැත් නුවරට ගොස් සිටුතුමාට ඒ ප්‍රවෘත්තිය සැලකළාහුය.
ඉක්බිති, ඒ පසල් දනව් වැසියා නැවත එක්වරක් එසේ ම ගැල් පන්සියයක් සැවැත් නුවරට යැවීය. මිනිස්සු පඬුරු ගැල් පන්සියයක් සැවැත් නුවරට යැවීය. මිනිස්සු පඬුරු ආදිය ගෙන මහසිටුහු බැහැ දුටහ. ඔවුන් දැක අනේපිඬු සිටුහුගේ ගෙයි මිනිස්සු ස්වාමීනි, අපි මොවුන්ට නවාතැන් ද බත් ද මඟ වියදම් ද දෙන්නෙමු යි කියා ඔවුන්ගේ ගැල් නගරයෙන් පිට තැනක මුදවා තෙපි මෙහි ම වසවු. අපගේ ගෙයි තොපට කැඳ ද බත් ද මඟ වියදම් ද වන්නේයැ යි ගොස් දාස කම්කරුවන් රැස්කැරවා මැදුම් යමට ඉතා ආසන්නයේ පන්සියයක් ගැල් පහරා ඇඳ පෙරවූ දේ ද ඔවුන්ට අහිමිකැරවා ගොනුන් පලවා හැර ගැලින් වෙන්කොට බිම තබා රෝද ද රැගෙන ම ගියාහුය. පිටිසර ගම් වැස්සෝ ද ඇඳිවතට පවා අහිමි ව බියෙන් වේගයෙන් පලාගොස් පසල් දනව්වට ම ගියහ. සිටුතුමාගේ මිනිස්සු ද එපවත් අසා ඔහුට සැලකළහ. හෙතෙම මට දැන් කථා පඬුරක් ඇතැ යි බුදු රජුන් වෙතට එළැඹ මුලු පටන් ඒ පුවත සැල කළේය. එවිට බුදු රජහු ගෘහපතිය, මේ පිටිසර වැසියා මෙබඳු පැවතුම් ඇත්තෙක් වනුයේ දැන් පමණක් නොව, පෙරත් මෙබඳු පැවතුම් ඇත්තෙක්යැ යි වදාරා, ඔහු විසින් අයදනා ලද බුදු රජහු අතීත කථාව ගෙනහැර දැක්වූහ.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු බරණැස් නුවර මහත් සම්පත් ඇති සිටු කෙනෙක් වූහ. ඔහුට එක නුදුටු යහළුවකු වූ පසල් දනව්වාසී සිටුවරයකු විය. මෙතැන් පටන් අතීත කථා පුවත ද වත්මන් කථා පුවත හා සමාන මය. බෝසත්හු වනාහි තමාගේ මිනිසුන් විසින් අද අප විසින් මේ මේ දේ කරන ලදැ යි කියන ලද කල්හි පළමු කොට තමාට කරන ලද උපකාරය නො දැන අදත් මෙබඳු උදව් ලැබෙතැ යි වදාරා පැමිණි පිරිසට දම් දෙසනු. මේ ගාථාව වදාළහ.
“යො පුබ්බෙ කතකල්‍යාණො කතත්‍ථො නාවබුජ්ඣති,
පච්ඡා කිච්චෙ සමුප්පන්තෙ කත්තාරං නාධිගච්ඡතීති”