1. සුරාපාන ජාතකය (81)
“අපායිම්හ අනිච්චිම්හාති” යන මේ දේශනාව බුදු රජහු කොසඹෑ නුවර ඇසුරු කොට ඝෝෂිතාරාමයේ වැඩ වසන්නේ, සාගත තෙරුන් මුල්කැර ගෙන දේශනා කළහ. බුදු රජහු සැවැත් නුවර වස් වැස චාරිකාවෙහි වඩින අතර භද්දවතික නම් නියම් ගමට පැමිණි කල්හි ගොපල්ලෝ ද පසු පල්ලෝ ද ගොවියෝ ද මඟියෝ ද බුදු රජුන් දැක වැඳ ස්වාමීනි, භගවත්හු අම්බතිත්ථියට නො වඩිත්වා. අම්බතිත්ථියෙහි ජටිලයාගේ අසපුවෙහි අම්බතිත්ථික නම් ඝෝර විෂ ඇති වහා පැතිරෙන විෂ ඇති නාගයෙක් වෙසෙයි. ඔහු බුදු රජුන්ට නපුරක් කැරෙති යන බියෙන් මෙසේ වැළකූහ. බුදු රජහු ඔවුන්ගේ කථාව නො ඇසුනාක් මෙන් ඔවුන් තුන් වරක් වළක්වත්දීත් වැඩියාහුය.
එහි දී බුදු රජහු භද්දවතිකා නියම් ගම අබියස එක්තරා වන ලැහැබක වැඩ වසන කල්හි සාගත තෙරණුවෝ බුදු රජුන්ට උපස්ථාන කැරෙති. තෙරණුවෝ පුහුදුන් ඉදූහයෙන් යුක්ත වූවෝය. එසමයෙහි තෙරණුවෝ ඒ අසපුවට එළැඹ ඒ නා රජු වසන ස්ථානයේ තණ ඇතිරියක් පනවා පළක් බැඳ වැඩ හුන්හ. නාගයා ක්රෝධය මැඩ පවත්වාගත නො හැකි ව දුම් පිට කෙළේය. තෙරහු ද දුම් පිට කළාහුය. නාගයා ගිනි පිට කෙළේය. තෙරහු ද ගිනි පිට කළහ. නාගයාගේ තෙද තෙරුන්ට බාධා නො කළේය. එහෙත් තෙරුන්ගේ තෙද නාගයාට පීඩාවක් විය. මෙසේ ඒ තෙරණුවෝ සුළු කාලයකින් නා රජු දමනය කොට සරණ සිල්හි පිහිටුවා බුදු රජුන් වෙත ගියහ.
බුදු රජහු ද භද්දවතිකාවෙහි කැමැති පරිදි වාසය කොට කොසඹෑ නුවරට වැඩියහ. සාගත තෙරුන් නාගයා දමනය කළ බව මුළු ජනපදය පුරා පැතිරිණි. කොසඹෑ නුවර වාසීහු බුදු රජුන්ට පසු ගමන් කොට වැඳ සාගත තෙරුන් වෙත එළැඹ එකත් පසක සිටියාහු, මෙසේ කීවාහුය. ස්වාමීනි, යමක් ඔබ වහන්සේලාට දුර්ලභ නම් ඒ කියනු මැනවි. එයට අපි සපයා දෙන්නෙමු. තෙරණුවෝ නිශ්ශබ්ද වූහ. එහෙත් ජබ්බග්ගිය භික්ෂූහු මෙසේ කීවාහුය. ඇවැත්නි, පැවිද්දන්ට කාපෝතිකා නම් සුරාව දුලබ ද වෙයි. මනාප ද වෙයි. ඉදින් ඔබලා තෙරණුවන්ට පැහැදුනාහු නම් කාපොතිකා නම් සුරාව සපයා දෙනු මැනව. ඔවුහු ද මැනවැ යි පිළිගෙන සෙට දවස පිණිස බුදු රජුන්ට ආරාධනා කොට නගරයට පිවිස තම තමන්ගේ ගෙවල තෙරණුවන්ට දෙනු පිණිස කාපෝතිකා සුරාව යහපත් ලෙස පිළියෙල කොට තෙරුන්ට ආරාධනා කොට ගෙයක් පාසා මිහිරි කාපෝතිකා සුරාව පිළිගැන්වූහ. තෙරහු ද සුරාව පානය කොට මත් වූවාහු. නගරයෙන් නික්මෙන අතර දොරටුව අභියස දී වැටී දොඩවමින් හොත්තාහ.
බුදු රජහු බත් කිස නිමවා නගරයෙන් නික්මෙන්නාහු, ඒ අයුරින් වැතිරී සිටින සාගත තෙරණුවන් දැක මහණෙනි, සාගත ඔසවා ගන්න යි භික්ෂූන් ලවා ඔසවාගෙන ආරාමයට වැඩියහ. භික්ෂූහු තෙරණුවන්ගේ හිස බුදු රජුන්ගේ පාමුල සිටින සේ කොට වැතිර වූහ. තෙරණුවෝ පාදයන් බුදු රජුන්ට අභිමුඛ වන සේ වැතිරුණාහ. බුදු රජහු භික්ෂූන්ගෙන් විචාළහ. මහණෙනි, කිම, සාගතයන්ට මා කෙරෙහි යම් ගෞරවයක් පෙර පැවතියේ ද දැන් එය තිබේ ද? ස්වාමීනි. නැත. මහණෙනි, අම්බතිත්ථික නාග රාජයා කවරෙක් දමනය කළේ ද? ස්වාමීනි, සාගත තෙරණුවෝය. කිම මහණෙනි, දැන් සාගතයන්ට දිය බරියෙකු හෝ දමනය කිරීමට ශක්තියක් තිබේ ද? ස්වාමීනි, නැත. මහණෙනි, යමක් පානය කොට සිහි විකල් වේ ද, එවැනි දෙයක් පානය කරන්නට සුදුසු ද? ස්වාමීනි, සුදුසු නැත. ඉක්බිති බුදුරදහු තෙරණුවන්ට දොස් පවරා භික්ෂූන් අමතා රහමෙර පානය කිරීමේ දී පචිති ඇවැත් වේයැ යි ශික්ෂා පද පනවා හුනස්නෙන් නැඟී ගඳකිළියට වැඩියහ.
දම් සභාවෙහි රැස්වූ භික්ෂූහු රහමෙර පානය කිරීමෙහි දොස් කියූහ. ඇවැත්නි, මේ රහමෙර පානය නම් මහා දොස් සහිතය. මෙසේ නැණවතා, සෘද්ධිමතා සාගත තෙරණුවන් පවා බුදු රජුන්ගේ ගුණ මාත්රයක් හෝ නො දනී ද? බුදු රජහු දම් සභාවට වඩමවා මහණෙනි, කවර කථාවකින් යුක්ත ව මෙහි හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින්යැ යි කී කල්හි මහණෙනි, පැවිද්දෝ සුරා පානය කොට සිහි විකල් වූවෝ දැන් පමණක් නොව පෙරද වූයේයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසත්හු කසී රට උසස් බමුණු කුලයක ඉපිද වැඩි වියට පැමිණියේ, තවුස් පැවිද්දෙන් පැවිදි ව අභිඥා ද සමාපත්තීන් ද උපදවා ධ්යාන සුවයෙන් කල්ගත කරන්නේ, හිමාල වන පියසෙහි පන්සියයක් අතවැසියන් විසින් පිරිවරන ලදුව වාසය කරති. ඉක්බිති, ඔහුට වැසි කාලය පැමිණි කල්හි අතවැසියෝ කීවාහුය. ඇදුරුතුමනි, මිනිස් පියසට ගොස් ලුණු ඇඹුල් සොයාගෙන එන්නෙමු. ඇවැත්නි, මම මෙහි ම වාසය කරන්නෙමි. තොපි ගොස් සිරුර සතපවා ගෙන වැසි කාලය ගතකොට එව්. ඔවුහු යහපතැ යි ගුරුතුමා වැඳ බරණැස් නුවරට ගොස් රජ උයනේ වාසය කොට දෙවැනි දවසේ නුවරින් පිටත දොරටු ගම පිඬු පිණිස හැසිර තෘප්තිමත් වී දෙවැනි දවසේ නගරයට පිවිසියහ. මිනිස්සු සෙනෙහසින් භික්ෂාව දුන්හ. කීප දිනක් ගියවිට රජුට ද සැලකළාහුය. දේවයන් වහන්ස, හිමාල වනයෙන් පන්සියයක් සෘෂිවරු අවුත් උයනෙහි වාසය කරති. උග්ර තපස් ඇත්තෝය. සන්සිඳුවන ලද චක්ෂුරාදී ඉන්ද්රියන් ඇත්තාහ. සිල්වත්හුය. රජතුමා ඔවුන්ගේ ගුණ අසා උයනට ගොස් වැඳ කරන ලද පිළිසඳර ඇත්තේ, වැසි සාර මස එහි ම වාසය පිණිස ප්රතිඥා ගෙන ආරාධනා කළේය. ඔවුන් එතැන් පටන් රජ ගෙදර ම වළඳා උයනෙහි වසත්.