9. ඛරස්සර ජාතකය (79)
“යතො විලුත්තා ච හතා ච ගාවොති” යන මේ දේශනාව බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, එක්තරා ඇමැතියෙකු අරබයා වදාළහ. කොසොල් රජුගේ වනාහි එක් ඇමැතියෙක් රජතුමාගේ හිත් දිනාගෙන පසල් ගමක අයබදු ලැබ සොරුන් සමග එක් වී මම මිනිසුන් රැගෙන කැලයට පිවිසෙන්නෙමි. තෙපි ගම් පැහැර ගෙන ඉන් බාගයක් මට දෙන්නේ නම් මැනවැ යි කියා කල් ඇති ව මිනිසුන් රැස් කැරවා වනයට ගොස් සොරුන් අවුත් ගවයන් මරා මස් කා ගම් පැහැර ගෙන ගිය කල්හි සවස් කාලයෙහි මහජනයා විසින් පිරිවරන ලද්දේ එයි. ඔහුගේ ඒ ක්රියාව නොබෝ දිනකින් ප්රකට විය. මිනිස්සු රජුට සැලකළාහුය. රජතුමා ද ඔහු කැඳවා දොස් පමුණුවා තදින් නිග්රහ කොට වෙනත් ගම්මුලාදෑනියකු යවා, දෙව්රමට ගොස් භාග්යවතුන් වහන්සේට ඒ කරුණ සැලකළේය. බුදු රජහු, මහරජ, මෙතෙම මෙබඳු ස්වභාව ඇත්තේ දැන් පමණක් නොව, පෙරත් මෙබඳු ස්වභාව ඇත්තේයැ යි වදාරා ඔහු විසින් අයැදින ලද්දේ අතීතය ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී රජතුමා එක් ඇමැතියකු හට පසල් ගමක් දුන්නේය. සියල්ල පෙර පරිදි ම විය. එකල්හි වනාහි බෝසත්හු වෙළඳාම් පිණිස පසල් ගමෙහි හැසිරෙන්නේ එහි කුඩා ගමක නවාතැන් ගත්තේය. හෙතෙමේ ඒ ගම්මුලාදෑනියා සවස් කාලයෙහි මහජනයා පිරිවරා බෙර හසුරුවමින් එන කල්හි මේ දුෂ්ට ගම්මුලාදෑනියා සොරුන් හා එක්ව ගම පහරවා සොරුන් පලා ගොස් කැලයට පිවිසි කල්හි දැන් උපශාන්තයකු මෙන් බෙර වයමින් එන්නේයැ යි මේ ගාථාව කීවේය.
“යතො විලුත්තා ච හතා ච ගාවො, දඩ්ඪානි ගෙහානි ජනො ච නීතො,
අථාගමා පුත්තහතාය පුත්තො, ඛරස්සරං දෙණ්ඩිමං වාදයන්තොති”
අථාගමා පුත්තහතාය පුත්තො, ඛරස්සරං දෙණ්ඩිමං වාදයන්තොති”
“යම් කලෙක්හි ගවයෝ පැහැර ගන්නා ලද්දාහු ද (මස් පිණිස) නසනු ලද්දාහු ද ගෘහයෝ දවන ලද්දාහු ද ජනයෝ ද බැඳ ගෙන යන ලද්දාහු ද එකල්හි නැසුණු දරුවන් ඇති මවගේ නිර්ලජ්ජ වූ පුත්රයා, අමධුර වූ ශබ්ද ඇති, පටහ බෙරය වාදනය කැරෙමින් ආවේය.”
එහි, “යතො” යනු යම් කලෙක, “විලුත්තා ච හාතා චාති”, පැහැරගෙන එන ලද, මස් කෑම පිණිස නසන ලද, “ගාවොති”, ගවයන්, “දඩ්ඪානිති”, ගිනි දල්වා දවන ලද, “ජනො ච නීතොති”, බලහත්කාරයෙන් ගෙන යන ලද්දේ, “පුත්තහතාය පුත්තොති”, නසන ලද පුත්රයන් ඇත්තියගේ පුතා, ලජ්ජා නැති යන අර්ථයි. විලිබිය නැත්තහුට මවක නැත. එම නිසා ඔහු මව ජීවත් ව සිටිය ද නැසුණු පුත්රයන් ඇත්තීයැ යි කියන ලදි. එම නිසා මොහු නැසුණු පුත්රයන් ඇත්තියගේ පුතා නම් වේ. “ඛරස්සරං”, යනු නො මිහිරි ශබ්දයයි. “දෙණ්ඩිමං”, යනු පටහ නම් බෙර විශේෂයකි.
මෙසේ බෝසත්හු මේ ගාථාවෙන් ඔහුට උපහාස කළහ. ටික දිනකින් ම ඔහුගේ ඒ ක්රියාව ප්රකට විය. ඉක්බිති, රජු ඔහුගේ වරදට සමාන වූ දඬුවම් කළේය.
බුදු රජහු, මහරජ, මොහු මෙබඳු ස්වභාව ඇත්තකු වනුයේ දැන් පමණක් නොව පෙර ද එසේ ම වීයැ යි වදාරා මේ දම් දෙසුම ගෙන හැර දක්වා අනුසන්ධි ගළපා ජාතකය නිමා කළහ. එදා ඇමැතියා නම් දැන් ඇමැතියා මය. ගාථාව ගෙනහැර දැක්වූ නුවණ ඇති පුරුෂයා නම් මම ම වීමි.
10. භීමසේන ජාතකය (80)
“යං තෙ පවිකත්ථිතං පුරෙති” යන මේ ජාතක දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, එක්තරා ආත්ම වර්ණනාවකට ගිජු භික්ෂුවක් අරබයා වදාළහ. එක් භික්ෂුවක් ඇවැත්නි, අපගේ ජාතියට සමාන ජාතියකුත් ගෝත්රයට සමාන ගෝත්රයකුත් නැත. අපි මෙබඳු වූ මහතැන් කුලයෙහි උපන්නෝ වෙමු. ගෝත්රයෙන් හෝ කුල තත්ත්වයෙන් අප හා සම වූවකු නැත. අපට රන් රිදී ආදියෙහි කෙළවරක් නැත. අපගේ දැසි දස් කම්කරුවෝ ද ඇල් හාලේ බත් අනුභව කරත්. කසී සළු අඳිත්. කසී රටෙහි වූ සුවඳ විලවුන් ගල්වත්. අපි දැන් පැවිදි වූ බැවින් මෙබඳු රළු බොජුන් වළඳමු. රළු සිවුරු දරමු යි තෙරුන් හා නවක, මධ්යම භික්ෂූන් අතර තමා ගුණ කියමින් මෙරමා ජාති ආදියෙන් අවමන් කැරෙමින් මුලා කැරෙමින් හැසිරෙයි. ඉක්බිති, එක් භික්ෂුවක් ඔහුගේ කුලය පිළිබඳ තොරතුරු පරීක්ෂා කොට ඔහුගේ ආත්ම වර්ණනයක් බව ප්රකාශ කළේය. භික්ෂූහු දම් සභාවෙහි රැස්ව ඇවැත්නි, අසවල් භික්ෂුව මෙබඳු නිර්වාණ ගාමී සසුනෙහි පැවිදි ව තමා ගුණ ගයමින් මෙරමා ගරහමින් වංචා කැරෙමින් හැසිරෙතැ යි ඔහුගේ අගුණ කියමින් සිටියහ. බුදු රජහු වැඩමවා මහණෙනි, කවර නම් කථාවකින් මෙහි හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින් හුන්නාහුයැ යි කී කල්හි, මහණෙනි, මේ භික්ෂුව දැන් පමණක් තමා ගුණ ගයමින් මෙරමා ගරහමින් වංචා කැරෙමින් හැසිරෙන්නේ නො වෙයි. පෙරත් එසේ ම හැසිරෙන්නේ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසත්හු එක්තරා නියම් ගමෙක උසස් බමුණු කුලයෙහි ඉපදී වැඩිවියට පත්වූයේ තක්සලා නුවර දිසාපාමොක් ඇදුරුතුමාගේ සමීපයෙහි ත්රිවේදය ද අටළොස් විද්යාවන් ද සියලු ශිල්පයන්හි නිමාවට පත්ව චුල්ල ධනුග්ගහ පණ්ඩිත නම් විය. ඔහු තක්සලාවෙන් නික්ම සියලු ශිල්ප ශාස්ත්රයන් සොයමින් මහිංසක රටට ගියේය. මේ ජාතකයෙහි බෝසත්හු මදක් මිටි නැමුණු සිරුරු ඇත්තෙක් වූහ. ඔහු මෙසේ සිතීය. ඉදින් මම කිසියම් රජකු වෙත යන්නෙම් නම් ඒ රජු මෙබඳු මිටි ශරීර ඇති ඔබ අපට කිනම් සේවයක් කරන්නෙහිදැ යි කියන්නේ, මම උස මහතින් යුත් දැකුම්කළු එක් පුරුෂයෙකි. පළිහක් කොට ඔහුගේ පිටිපස සිට ජීවිකාව කරන්නේ නම් මැනවි. හෙතෙම එවැනි පුරුෂයකු සොයමින් භීමසේන නම් එක් නූල් කටින්නකුගේ නූල් වියන තැනට ගොස් ඔහු සමග පිළිසඳර කොට යහළුව, ඔබගේ නම කුමක්දැ යි විචාළේය. මම භීමසේන නම් වෙමි. ඔබ මෙබඳු මනා රූ සපුවකින් යුක්ත වී මෙවැනි ලාමක ක්රියා කැරෙමින් ජීවත් වන්නේ මක් නිසා ද? යහළුව, ජීවත්වීමට මඟක් නැති හෙයිනි. මේ ක්රියාව නො කරනු. මේ මුළු දඹදිව මා සමාන දුනුවායෙක් නැත්තේය. ඉදින් මම යම්කිසි රජකු බැහැ දකින්නේ නම් ඔහු මට මෙසේ කියන්නේය. මෙවැනි මිටි අයකු අපට කවර නම් සේවයක් කරන්නේදැ යි අසන්නේය. එවිට ධනුර්ධර කියන්නේ ඔබ රජුන් බැහැ දැක තමා ධනුර්ධරයකු යි කියව. රජ ඔබට ජීවන වියදම් දී නිබඳ රැකියාවක් දෙන්නේය. මම ඔබට පැවරුණු කාරිය කැරෙමින් ඔබ පිටිපසෙහි සිට ජීවිකාව කරමි. එවිට අපි දෙදෙනා ම සැපවත් වන්නෙමු. ඔහු මගේ වචනය මැනවැ යි පිළිගත්තේය.