10. භීමසේන ජාතකය (80)
“යං තෙ පවිකත්‍ථිතං පුරෙති” යන මේ ජාතක දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, එක්තරා ආත්ම වර්ණනාවකට ගිජු භික්‍ෂුවක් අරබයා වදාළහ. එක් භික්‍ෂුවක් ඇවැත්නි, අපගේ ජාතියට සමාන ජාතියකුත් ගෝත්‍රයට සමාන ගෝත්‍රයකුත් නැත. අපි මෙබඳු වූ මහතැන් කුලයෙහි උපන්නෝ වෙමු. ගෝත්‍රයෙන් හෝ කුල තත්ත්වයෙන් අප හා සම වූවකු නැත. අපට රන් රිදී ආදියෙහි කෙළවරක් නැත. අපගේ දැසි දස් කම්කරුවෝ ද ඇල් හාලේ බත් අනුභව කරත්. කසී සළු අඳිත්. කසී රටෙහි වූ සුවඳ විලවුන් ගල්වත්. අපි දැන් පැවිදි වූ බැවින් මෙබඳු රළු බොජුන් වළඳමු. රළු සිවුරු දරමු යි තෙරුන් හා නවක, මධ්‍යම භික්‍ෂූන් අතර තමා ගුණ කියමින් මෙරමා ජාති ආදියෙන් අවමන් කැරෙමින් මුලා කැරෙමින් හැසිරෙයි. ඉක්බිති, එක් භික්‍ෂුවක් ඔහුගේ කුලය පිළිබඳ තොරතුරු පරීක්‍ෂා කොට ඔහුගේ ආත්ම වර්ණනයක් බව ප්‍රකාශ කළේය. භික්‍ෂූහු දම් සභාවෙහි රැස්ව ඇවැත්නි, අසවල් භික්‍ෂුව මෙබඳු නිර්වාණ ගාමී සසුනෙහි පැවිදි ව තමා ගුණ ගයමින් මෙරමා ගරහමින් වංචා කැරෙමින් හැසිරෙතැ යි ඔහුගේ අගුණ කියමින් සිටියහ. බුදු රජහු වැඩමවා මහණෙනි, කවර නම් කථාවකින් මෙහි හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින් හුන්නාහුයැ යි කී කල්හි, මහණෙනි, මේ භික්‍ෂුව දැන් පමණක් තමා ගුණ ගයමින් මෙරමා ගරහමින් වංචා කැරෙමින් හැසිරෙන්නේ නො වෙයි. පෙරත් එසේ ම හැසිරෙන්නේ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසත්හු එක්තරා නියම් ගමෙක උසස් බමුණු කුලයෙහි ඉපදී වැඩිවියට පත්වූයේ තක්සලා නුවර දිසාපාමොක් ඇදුරුතුමාගේ සමීපයෙහි ත්‍රිවේදය ද අටළොස් විද්‍යාවන් ද සියලු ශිල්පයන්හි නිමාවට පත්ව චුල්ල ධනුග්ගහ පණ්ඩිත නම් විය. ඔහු තක්සලාවෙන් නික්ම සියලු ශිල්ප ශාස්ත්‍රයන් සොයමින් මහිංසක රටට ගියේය. මේ ජාතකයෙහි බෝසත්හු මදක් මිටි නැමුණු සිරුරු ඇත්තෙක් වූහ. ඔහු මෙසේ සිතීය. ඉදින් මම කිසියම් රජකු වෙත යන්නෙම් නම් ඒ රජු මෙබඳු මිටි ශරීර ඇති ඔබ අපට කිනම් සේවයක් කරන්නෙහිදැ යි කියන්නේ, මම උස මහතින් යුත් දැකුම්කළු එක් පුරුෂයෙකි. පළිහක් කොට ඔහුගේ පිටිපස සිට ජීවිකාව කරන්නේ නම් මැනවි. හෙතෙම එවැනි පුරුෂයකු සොයමින් භීමසේන නම් එක් නූල් කටින්නකුගේ නූල් වියන තැනට ගොස් ඔහු සමග පිළිසඳර කොට යහළුව, ඔබගේ නම කුමක්දැ යි විචාළේය. මම භීමසේන නම් වෙමි. ඔබ මෙබඳු මනා රූ සපුවකින් යුක්ත වී මෙවැනි ලාමක ක්‍රියා කැරෙමින් ජීවත් වන්නේ මක් නිසා ද? යහළුව, ජීවත්වීමට මඟක් නැති හෙයිනි. මේ ක්‍රියාව නො කරනු. මේ මුළු දඹදිව මා සමාන දුනුවායෙක් නැත්තේය. ඉදින් මම යම්කිසි රජකු බැහැ දකින්නේ නම් ඔහු මට මෙසේ කියන්නේය. මෙවැනි මිටි අයකු අපට කවර නම් සේවයක් කරන්නේදැ යි අසන්නේය. එවිට ධනුර්ධර කියන්නේ ඔබ රජුන් බැහැ දැක තමා ධනුර්ධරයකු යි කියව. රජ ඔබට ජීවන වියදම් දී නිබඳ රැකියාවක් දෙන්නේය. මම ඔබට පැවරුණු කාරිය කැරෙමින් ඔබ පිටිපසෙහි සිට ජීවිකාව කරමි. එවිට අපි දෙදෙනා ම සැපවත් වන්නෙමු. ඔහු මගේ වචනය මැනවැ යි පිළිගත්තේය.
ඉක්බිති, ධනුර්ධර ඔහු සමග බරණැසට ගොස් තෙමේ ධනුර්ධරගේ සේවකයා වශයෙන් සිට ඔහු පෙරටු කොට රජ දොරටුවෙහි සිට රජුට දැන්වූයේය. එත්වා යි කී කල්හි දෙදෙනා ම පිවිස රජුන් වැඳ සිටියහ. කුමක් නිසා පැමිණියාහුදැ යි ඇසූ කල්හි භීමසේන මෙසේ කීය. මම දුනුවායෙක් වෙමි. මුළු දඹදිව ම මා හා සමාන වෙනත් දුනුවායෙක් නැත. එවිට රජ කොපමණ ලබන්නේ නම් මට සේවය කරන්නෙහිද? දේවයිනි, අඩ මසකට දහසක් ලබන්නේ නම් සේවය කරමි. රජ එවිට මේ ඔහුගේ අනිත් පුරුෂයා කවරෙක් ද? දේවයිනි, ඔහු මගේ සේවකයාය. එසේ නම් මැනවි. සේවය කරව. එතැන් පටන් භීමසේන රජුට සේවය කරයි. පැමිණෙන කාර්යය බෝසත්හු ද නිමවයි.
එසමයෙහි කසී රට වනයක බොහෝ මිනිසුන් යන එන මාර්ගය ව්‍යාඝ්‍රයෙක් අහුරා ගෙන සිටියේය. ඒ ව්‍යාඝ්‍රයා බොහෝ මිනිසුන් අල්ලාගෙන කයි. එපුවත රජුට සැලකළහ. රජ භීමසේන කැඳවා දරුව, ඒ ව්‍යාඝ්‍රයා අල්ලා ගැනීමට හැකිදැ යි ඇසීය. දේවයිනි, ඉදින් ව්‍යාඝ්‍රයකු අල්ලා ගැනීමට නො හැකි නම් දුනු දරන්නම් ද? රජ ඔහුට වියදම් දී පිටත් කෙළේය. ඔහු ගෙට ගොස් බෝසතුන්ට කාරණය කීවේය. බෝසත්හු යහළුව, මැනවි. යව යි කීවේය. ඔබ නො යන්නේ ද? එසේය. මම නො යමි. ඔබට ව්‍යාඝ්‍රයා අල්ලා ගන්නා උපායක් කියමි. එසේ නම් යහළුව, කියනු මැනවි. යහළුව, ඔබ ව්‍යාඝ්‍රයා වසන තැනට තනිය ම වහා නො යනු. දනව් වැසි මිනිසුන් රැස් කැරවා දුනු එක් දහසක් හෝ දෙදහසක් ගෙන්වා ඔවුන් සමග එහි ගොස් ව්‍යාඝ්‍රයා හැසිරෙන බව දැන පලා ගොස් එක් ලැහැබකට පිවිස යටිකුරු ව වැතිරෙව්. එවිට දනව් වැසියෝ ම ව්‍යාඝ්‍රයා තලා පෙළා අල්ලා ගන්නේය. ඔවුන් ව්‍යාඝ්‍රයා අල්ලා ගත් කල්හි ඔබ දත්වලින් එක් වැලක් සිඳ කෙළවර ගෙන මළ ව්‍යාඝ්‍රයා ළඟට ගොස් පින්වත්නි, මේ ව්‍යාඝ්‍රයා කවුරුන් විසින් මරණ ලද්දේ ද? මම මේ ව්‍යාඝ්‍රයා ගොනකු මෙන් වැලෙන් බැඳ රජු සමීපයට ගෙන යන්නෙමි. වැලක් කැඩීම සඳහා ලැහැබට පිවිසියෙමි. මා වැල ගෙන ඒමට පෙර ම, මොහු කවරකු විසින් මරණ ලද්දේදැ යි කියමු. ඉක්බිති, ඒ දනව් වැසියෝ බියෙන් තැතිගෙන ස්වාමීනි, රජුට නො කියනු මැනවි. බොහෝ ධනය දෙන්නෝය. ව්‍යාඝ්‍රයා ඔබ විසින් අල්ලා ගන්නා ලද්දේයැ යි රජු සමීපයෙන් ද බොහෝ ධනය ලබන්නෙහිය. භීමසේන ද මැනවැ යි පිළිගෙන බෝසතුන් විසින් කියන ලද ක්‍රමයෙන් ම ව්‍යාඝ්‍රයා ගෙන වන මාර්ගය නිර්ණය කොට මහජනයා විසින් පිරිවරන ලදුව බරණැසට අවුත් රජු බැහැදැක දේවයිනි, මවිසින් ව්‍යාඝ්‍රයා අල්ලා ගන්නා ලද්දේය. වන මඟ බිය රහිත කළෙමි. රජ සතුටු ව බොහෝ ධන දුන්නේය. නැවත එක් දිනක් එක් මඟක් මීමකු විසින් අත්හරවන ලදැ යි රජුට සැලකළහ. රජ පෙර මෙන් ම භීමසේන යැවීය. ඔහු ද බෝසතුන් විසින් දෙන ලද උපදෙස් අනුව ව්‍යාඝ්‍රයා මෙන් මීමා ද අල්වා ගෙන ආවේය. රජ නැවත ද ඔහුට බොහෝ ධනය දුන්නේය. මෙසේ භීමසේන ධනයෙන් ආඪ්‍ය විය. ධන මදයෙන් මත් වූ ඔහු බෝසතුන්ට අවඥා කොට ඔවුන්ගේ වචනය නො පිළිගනී. මම ඔබ නිසා ජීවත් නො වෙමි. පුරුෂයා ඔබ පමණක් ද? ආදී රළු වචන කියයි.