8. ඉල්ලීස ජාතකය (78)
“උභො ඛඤ්ජාති” යන මේ දේශනාව බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, මසුරු කෝසිය සිටාණන් අරබයා වදාළහ. රජගහ නුවර අබියස සක්ඛර නම් නියම් ගමක් වෙයි. එහි අසූ කෙළ්ක ධනය ඇති කෝසිය නම් මසුරු සිටුවරයෙක් වසයි. හෙතෙම තණ අගින් තෙල් බිඳුවක්වත් අනුන්ට නො දෙයි. තමා ද පරිභෝග නො කරයි. මෙසේ ඔහුගේ ඒ මහා ධනස්කන්ධය දූදරුවන්ට ප්රයෝජනයක් නො වෙයි. මහණ බමුණන්නට ද ප්රයෝජනයක් නො වෙයි. රකුසන් විසින් අරක් ගන්නා ලද පොකුණක් මෙන් ප්රයෝජනයට ගත නො හැකි ව තිබේ.
බුදු රජහු එක් දවසක් අළුයම් වේලෙහි මහා කරුණා සමවතින් නැඟිට සියලු ලොව ම ධර්මාවබෝධ කළ හැකි බන්ධුන් බලන්නාහු, පන්සාළිස් යොදුනක් දුර වසන්නා වූ භාර්යාව සහිත ඒ සිටුවරයාගේ සෝවාන් ඵලය පසක් කිරීමට හේතු සම්පත් දුටහ. මීට පෙර දිනක ඒ සිටුවරයා රාජ සේවයට රජ ගෙදරට ගොස් රාජ සේවය කොට ආපසු එන්නේ, බඩසයින් පීඩිත වූ එක් ජනපද වැසි මිනිසකු කොපිඬු පිරවූ තැටි කැවුම් කනු දැක ඒ පිළිබඳ ආසා උපදවා තමාගේ ගෙට ගොස් මෙසේ සිතීය. ඉදින් ම තැටි කැවුම් කනු කැමැති වෙමි යි කීවේ නම් බොහෝ දෙනා මා සමග කනු කැමැත්තෝ වන්නාහ. එසේ වූ කල්හි මගේ බොහෝ සහල්, ගිතෙල්, පැනි ආදිය වැයවීමට යන්නේය. එම නිසා කිසිවකුට නො කියන්නෙමි යි ආසාව ඉවසාගෙන සිටී. මෙසේ කල්යත් ම පඬුවන් පැහැ ඇත්තේ නහර වැල් පතළ සිරුරු ඇත්තේ විය. තව දුරටත් ආසාව ඉවසා සිටීමට නො හැක්කේ ගේ තුළට පිවිස ඇඳ වැළඳ ගෙන හොත්තේය. මෙසේ වුව ද ධන හානි බයින් කිසිවකුට නො කීවේය.
ඉක්බිති, ඔහුගේ බිරිය ඔහු වෙත එළැඹ පිට පිරිමැද ස්වාමීනි, ඔබට කිම, අපහසුවක්දැ යි විචාළාය. මට කිසි අපහසුවක් නැත. එසේ නම් රජතුමා ඔබට කිපුණේ ද? නැත. මට රජතුමා කිපෙන්නේ නැත. එසේ නම් කිම. ඔබගේ දූපුතුන් විසින් හෝ, දස් කම්කරුවන් විසින් හෝ කිසියම් නො මනා දෙයක් කරන ලද්දේ ද? එවැන්නක් ද නැත. කිසියම් දෙයක් පිළිබඳ ඔබට ආශාවක් ඇත්තේ ද? මෙසේ කී කල්හි ද ධන හානි බයින් කිසිවක් නො කියා නිහඬ ව හොත්තේය. එවිට ඔහුගේ භාර්යාව හිමියනි, කියනු මැනවි. ඔබට කිසියම් ආසාවක් ඇත්තේ ද? ඒ වචනය ඇසූ සිටු වචන ගිලින්නාක් මෙන් මට එක් ආශාවක් ඇත්තේය. හිමියනි, කිනම් ආශාවක් ද? තැටි කැවුම් කනු කැමැත්තේ වෙමි. එසේ නම් කුමක් නිසා නොකීවෙහි ද? කිම, ඔබ දිළින්දෙක් ද? දැන් සියලු සක්ඛර ගම් වාසීන්ට පොහොනා පරිදි තැටි කැවුම් දෙමු ඔවුන්ට දීමෙන් ඇති ඵලය කුමක් ද? ඔවුහු තමන්ගේ කටයුතු කැරගෙන කන්නාහ. එසේ නම් එක වීථියක වසන ජනයාට පොහෝනා පරිදි පිසමි. මම ඔබගේ ධන මහත බව දනිමි. එසේ නම් මේ ගෙහි වසන සැමට ප්රමාණවත් වන සේ පිසමි. තිගේ සිතේ මහත් බව මම දනිමි. එසේ නම් ඔබගේ අඹුදරුවන් සඳහා පමණක් පිසමි. ඔවුන්ගෙන් ඇති ඵලය කුමක් ද? එසේ නම් ඔබටත් මටත් ප්රමාණවත් වන සේ පිසමි. තිගෙන් මට ඇති ඵලය කිම. එසේ නම් ඔබට පමණක් පිසමි. මේ ගෙහි පිසන කල බොහෝ දෙනා බලාපොරොත්තු වෙති. නොබිඳුණු සහල් ඉවත් කර සුන් සහල් පමණක් ගෙන ලිපි සහ භාජන ද රැගෙන ස්වල්ප වශයෙන් කිරි, ගිතෙල්, මී පැණි ද ගෙන සත් මහල් ප්රාසාදයෙහි උඩුමහල් තලයට නැඟ පිසව. මම එහි සිට එකලා ව හිද තැටි කැවුම් කන්නෙමි. ඇය ද මැනවැ යි පිළිවදන් දී ගතයුතු දේ ගෙන්වාගෙන පහයට නැඟ දාසියන් බැහැර යවා සිටුවරයා කැඳවූවාය. ඔහු ද මුලපටන් දොරවල් වසමින් සියලු දොරවල් අගුළු දමා සත් වැනි මහලට නැඟ එහි ද දොර වසා හුන්නේය. ඔහුගේ බිරිය ද ලිපෙහි ගිනි මොළවා බඳුන තබා කැවුම් පිසීමට ආරම්භ කළාය.
ඉක්බිති, බුදු රජහු අළුයම් වේලෙහි මහා මුගලන් තෙරුන් ඇමතූහ. මොග්ගල්ලාන, රජගහ නුවර අබියස සක්ඛර නම් නියම් ගමෙහි කෝසිය නම් මසුරු සිටු තැටි කැවුම් කමි යි මෙරමා දකිතැ යි යන බියෙන් සත්මහල් ප්රාසාදයෙහි තැටි කැවුම් පිසවයි. ඔබ එහි ගොස් ඒ සිටු දමනය කොට ඔද බිඳ අඹු සැමි දෙදෙනා ම ද කැවුම් ද කිරි, ගිතෙල්, මීපැණි ආදිය ද ඔවුන් ලවා ගෙන්වා ගෙන තමාගේ බලයෙන් ජේතවනයට ම රැගෙන එන්න. මම ද අද පන්සියයක් භික්ෂූන් සමග වෙහෙරෙහි රැඳෙන්නෙමි. අද තැටි කැවුම්වලින් ම බත් කිසි කරන්නෙමි යි වදාළහ. තෙරහු ද ස්වාමීනි, යහපතැ යි බුදු රජුන්ගේ වචනය පිළිගෙන එකෙණෙහි ම සෘද්ධියෙන් ඒ නියම් ගමට වඩමවා එම ප්රාසාදයෙහි සිහිමැදුරු දොරටුව අබියස මනාව හැඳ පොරවා අහසෙහි ම මිණි රුවක් මෙන් සිටියහ.
තෙරුන් දකිත් ම මහා සිටුගේ හදවත සැළිණි. සිටුවරයා මම මෙවැනි අයට ම බියෙන් මෙතැනට පැමිණියෙමි. මොහු ද අවුත් වා කවුළු දොරෙහි ම සිටියේය. වෙන කළ යුතු දෙයක් නොමැති ව ගින්නෙහි ලූ ලුණු කැට සේ කෝපයෙන් සැළෙමින් මෙසේ කීය. ශ්රමණය, අහසෙහි සිට කුමක් ලබන්නෙහි ද? පියවර නො පිහිටන අහසෙහි පියවර දක්වා සක්මන් කළේ වී නමුත් නො ලබන්නෙහිය යි කීවේය. තෙරහු ද එම ස්ථානයෙහි ම ඔබිමොබ සක්මන් කළහ. එවිට සිටු සක්මන් කිරීමෙන් කුමක් ලබන්නෙහි ද? අහසෙහි පළඟින් සිටියේ ද නො ලබන්නෝමැ යි කීවේය. තෙරහු පළක් බැඳ අහසෙහි වැඩ හුන්හ. එවිට සිටු ඉඳීමෙන් කුමක් ලබන්නෙහි ද? අවුත් වා කවුළුවෙහි එළිපත්තෙහි සිටිය ද නො ලබන්නේයැ යි කීවේය. ඉක්බිති, තෙරතහු එළිපත්තෙහි වැඩ සිටියහ. ඉක්බිති, සිටු එළිපත්තෙහි සිට කුමක් ලබන්නෙහි ද? දුම පිඹිමින් සිටියේ ද, නො ලබන්නේ මය. එවිට තෙරහු දුම් පිට කළහ. සියලු ප්රසාදය දුමින් පිරී ගියේය. එහෙත් ගෙය දැවෙතැ යි යන බියෙන්, දැල්වුණත් නො ලබන්නෙහියැ යි නො කියා මෙසේ සිතීය. මේ ශ්රමණයා ලැගගෙන ම සිටී. තැටි කැවුම් නො ලැබ නො යන්නේය. එම නිසා මොහුට එක් කැවුමක් දෙවන්නෙමි යි බිරිය අමතා මෙසේ කීය. සොඳුර, එක් කුඩා කැවුමක් පිස ශ්රමණයාට දී ඔහු පිටත් කැර හරිනු. බිරිය ද පිටි ස්වල්පයක් තැටියට දැම්මාය. ඒ සමගම මහා කැවුමක් වී මුළු තැටිය ම පිරී පිපී ගියේය.
සිටු ඒ දැක තී වැඩිපුර පිටි ගත්තා විය යුතුය යි. තෙමේ ම හැඳි කොණකින් පිටි ස්වල්පයක් ගෙන තැටියට දැම්මේය. එවිට පෙර කැවුමටත් වඩා විශාල වූයේය. මෙසේ පිසින පිසින කැවුම පෙරට වඩා විශාල ම වෙයි. එවිට සිටු කළකිරී භාර්යාව අමතා සොඳුර, මෙයින් එක කැවුමක් දෙව යි කීවේය. කැවුම් පැසින් එක කැවුමක් ගනිත් ම සියලු ම කැවුම් එකට ඇලී තිබුණේය. ඈ සිටුවරයාට මෙසේ කීවාය. හිමියනි, සියලු ම කැවුම් එකටම ඇලී තිබේ. වෙන්කළ නො හැක්කෙමි. සිටු ද මම වෙන් කරන්නෙමි යි උත්සාහ කළ ද නො හැකි විය. දෙදෙනා ම දෙකෙළවරින් ගෙන අදිමින් උත්සාහ කළ ද වෙන් කිරීමට නො හැකි වූවාහුය. මෙසේ දෙදෙනා කැවුම් වෙන් කිරීමට උත්සාහ කරත් ම සිරුරෙන් දහදිය පිටවිය. කැවුම් ආසාව ද සිඳී ගියේය. ඉක්බිති, බිරියට මෙසේ කීවේය. සොඳුර, මට කැවුමෙන් වැඩක් නැත. පැස සමග ම භික්ෂුවට දෙව. ඇය ද ගෙන තෙරුන් වෙත පැමිණියාය. තෙරහු දෙදෙනාට ම දම් දෙසූහ. තෙරුවන් ගුණ වදාළහ. දීමෙහි විපාක ඇත. පූජාවෙහි විපාක ඇත ආදී වශයෙන් දානයෙහි ආනිශංස අහසෙහි සඳ මඬල මෙන් දැක්වූහ.