7. මහා සුපින ජාතකය (77)
“ලාපූනි සීදන්තීති” යන මේ ජාතක දේශනාව බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, සොළොස් මහා සිහිනයන් අරබයා වදාළහ. එක් දවසක් කොසොල් මහරජතුමා රාත්රියේ නිදිගත වූයේ, පැසුළු යාමයෙහි සොළොස් මහා සිහිනයක් දැක බියෙන් තැති ගත්තේ, පිබිදී මේ සිහිනයන් දුටු බැවින් මට කුමක් වන්නේදැ යි මරණ බියෙන් තැතිගෙන යහනේ වැතිරුණේ ම කල්ගත කළේය.
ඉක්බිති, රාත්රිය ඉක්මගිය කල්හි පුරෝහිත බමුණෝ රජු වෙත පැමිණ මහරජ, සැප සේ සැතපුණේදැ යි විචාළහ. ගුරුතුමනි, මට සැපයක් නම් කොයින් ද? අද මම අළුයම් කාලයෙහි සොළොස් මහසුපිනයක් දුටහැ යි බමුණන්ට කියා, කිමෙක් දැ යි ඇසූ කල්හි, දුටු සිහින පවසා මේ සිහින දුටු බැවින් මට කුමක් වන්නේදැ යි විචාළේය. බමුණෝ අත් සැලූහ. කුමක් නිසා අත් සලන්නහුදැ යි විචාළ කල්හි මහරජ, සිහින නම් ඉතා නපුරුය. එහි ප්රතිඵලය කුමක් වන්නේ ද? රජයට අනතුරක්, ජීවිතයට අනතුරක්, ධනයට අනතුරක් යන මේ තුන් අනතුරෙන් එක්තරා අනතුරක් වන්නේය. එයට පිළියම් ඇත්තේ ද? නැත්තේ ද? මේ සිහින ඉතාමත් අසුභ බැවින් පිළියම් රහිතය. එහෙත් අපි ඒ සිහිනයන් පිළියම් සහිත බවට පැමිණවීමට නො හැක්කේ නම් අප උගත් ශිල්පයෙන් කවර වැඩක් ද ගුරුතුමනි, කුමක් කොට පිළියම් රහිත කරන්නහු ද? මහරජ, සබ්බ චතුක්ක යාගය කරන්නෙමු. (සියල්ල හතර බැගින් ගෙන කරන යාගය) රජතුමා බියෙන් තැති ගත්තේ, එසේ නම් ගුරුතුමනි, මගේ ජීවිතය ඔබතුමන්ගේ අතෙහිය. මට වහා යහපත කරනු මැනවැ යි කීයේය. බමුණෝ අපි බොහෝ ධනය ලබන්නෙමු. බොහෝ කන බොන දෑ ගෙන්වා ගන්නෙමු යි, තුටු පහටු ව, මහරජ, සැකයක් නො සිතනු. මැනවි. රජු සනසා රජ මැදුරෙන් නික්ම නගරයෙන් පිටත යාග වළක් සාරා බොහෝ සිව්පා වර්ගයන් කණු ළඟට ගෙන්වා පක්ෂි වර්ග එකතු කොට මේ මේ දේ ලැබිය යුතුයැ යි නැවත නැවත සිහි කරවත්.
එකල්හි මල්ලිකා දේවි තොමෝ මේ කාරණය දැන රජු වෙත එළැඹ මෙසේ ඇසුවාය. මහරජතුමනි, බමුණෝ පුන පුනා සිහිකැඳවන්නේ කුමක් නිසාද? එවිට රජතුමා ඔබ අපගේ කණ මුල සර්පයකු හැසිරෙන බව නො දන්නීය. මහරජතුමනි, ඒ කිමෙක් ද? මා විසින් මෙබඳු වූ නපුරු සිහිනයක් දක්නා ලදි. තුන් ආකාර අනතුරුවලින් එකක් පෙනේයැ යි කියා අපල නැති කිරීම සඳහා යාගයක් කරමු යි කියා නැවත නැවත සිහි කැඳවත්. මහරජතුමනි, දෙවියන් සහිත ලෝකයෙහි අග බමුණන්ගෙන් සිහින ප්රතිකර්ම පිළිබඳ විමසන ලද්දේ ද? සොඳුර, දෙවියන් සහිත ලෝකයෙහි අග බමුණු තෙමේ කවරෙක් ද? දෙවියන් සහිත ලෝකයෙහි අග්ර පුද්ගල වූ සියල්ල දක්නා වූ පිරිසිදු වූ මහා බමුණු නො දන්නෙහි ද? ඒ භාග්යවත් බුදු රජහු සිහින පිළිබඳ විවිධත්වය දන්නාහ. යනු මැන. මහරජතුමනි, එතුමන්ගෙන් විචාරන්න. රජ ඉතා යහපති යි විහාරයට ගොස් බුදු රජුන් වැඳ හුන්නේය.
බුදු රජහු මිහිරි හඬ නිකුත්කොට මහරජ, උදෑසන ම කුමක් නිසා ආවෙහිදැ යි වදාළහ. ස්වාමීනි, මම ඉතා අළුයම් වේලෙහි සොළොස් මහා සිහින දැක බිය වූයේ, බමුණන්ට දැන්වීමි. බමුණෝ, මහරජ, මේ සිහින ඉතා නපුරුය. මෙහි උවදුරු නැති කිරීම සඳහා සබ්බ චතුක්ක යාගය කරන්නෙමු යි යාගයට සැරසෙත්. බොහෝ ප්රාණීහු මරණ බයින් තැති ගත්තාහ. ඔබ වහන්සේ ද දෙවියන් සහිත ලෝකයෙහි අග්ර පුද්ගලයෝය. අතීත, අනාගත, වර්තමානයෙහි ඔබ වහන්සේගේ ඤාණයට හමු නො වන කිසි ම දතයුතු දෙයක් නැත්තේය. මට මේ සිහිනවල වැඩ අවැඩ කියනු මැනව. මහරජ, එසේ මයි. දෙවියන් සහිත ලෝකයේ මා හැර මේ සිහිනවල විවිධත්වය හා වැඩ අවැඩ දැනීමට අන් සමතෙක් නැත්තේය. මම ඔබට කියා දෙන්නෙම් දැන් ඔබ දුටු ආකාරයෙන් ම සිහින කියන්න. ස්වාමීනි, මැනවි. රජතුමා දුටු ආකාරයෙන් ම සිහින සඳහන් කරන්නේ,
“උසභා රුක්ඛා ගාවියො ගාවා ච,
අස්සො කංසො සිගාලී ච කුම්භො,
පොක්ඛරණී ච අපාක චන්දනං
අස්සො කංසො සිගාලී ච කුම්භො,
පොක්ඛරණී ච අපාක චන්දනං
ලාපූනි සීදන්ති සිලා ප්ලවන්ති, මණ්ඩූකියො කණ්හසප්පො ගිලන්ති,
කාකං සුවණ්ණා පරිවාරයන්ති, තසාවකා එළකානං භයාහීති”
කාකං සුවණ්ණා පරිවාරයන්ති, තසාවකා එළකානං භයාහීති”
“(යුද නො කොට ගිය) වෘෂභයෝය, (මල්ඵල ගත් කුඩා) වෘක්ෂයෝය, (එදවස උපන් වස්සන්ගේ කිරි බොන) දෙන්නුය. (වියෙහි යොදන නහඹු) ගවයෝය, (දෙපස මුඛ ඇති) අශ්වයෝය. (පෙර සිවලකුට මෙහි වූ කැරව යි පෑ සිය දහසක් අගනා) රන්තැලිය, (අඹරන රැහන කාදමන) සීවලී, (හිස් කළ අතුරෙහි තුබූ දිය පිරුණු) කළය, (ගැඹුරු තැන දිය කැළඹුණු) පොකුණු. (එක් ම සැලෙහි නිසි සේ) නො පැසුණු බතය, (කුණු මෝරුවලට විකුණන සිය දහසක් අගනා) සත් සඳුන් හරය.”
“හිස් ලබු කබල් දියෙහි ගැටෙයි. ඝන පාෂාණයෝ (නැව් මෙන්) දියෙහි පාවෙති. මැඬි පැටියෝ කෘෂ්ණා සර්පයන් ගිලිති. ස්වර්ණ හංසයෝ කවුඩුවකු පිරිවරති. ව්යාඝ්රයෝ එළුවන්ට බියෙන් තැති ගනිත්. මෙසේ විපර්යාසයක් පවතී. වැලිත් මේ පුරුෂ යුගයෙහි (මේ සිහිනයන්ගේ) විපාක දීමෙක් නැතියි.”
මේ සිහින මාතෘකා තබා ප්රකාශ කළේය.
ස්වාමීනි, කෙසේ ද? මම එක් සිහිනයක් මෙසේ දුටුවෙමි. අඳුන්වන් කළු ගොන්නු සිව් දෙනෙක් යුද්ධ කරමු යි සතර දිශාවෙන් පැමිණියහ. ගොන් යුද්ධය බලමු යි මහජනයා රැස්වූ කල්හි යුද්ධ කරන ආකාරය පමණක් දක්වා නාද කොට ගර්ජන කොට යුද්ධ නො කොට ම පැන ගියහ. මම මේ පළමු වැනි සිහිනය මෙසේ දුටුවෙමි. මේ සිහිනයේ විපාක කවරේ ද? මහරජ, මේ සිහිනයේ විපාක ඔබගේ කාලයේ හෝ මගේ කාලයේ නො වන්නේ ය. අනාගතයෙහි නො දැහැමි දිළිඳු රජුන්ගේ කාලයෙහි හා නො දැහැමි මිනිසුන්ගේ කාලයෙහි ලෝකය වෙනස් වන කල්හි කුසල් යටපත් ව අකුසල් මතු ව ලෝකය පිරිහෙන කල්හි වර්ෂාව නිසි ලෙස නො වසී. වැසි වලාකුළු සිඳී යන්නේය. ඒ මැළවෙන්නේය. ආහාර හිඟයක් වන්නේය. වැසි වසින්නාක් මෙන් සතර දිශාවෙන් වලාපටල නැඟී ස්ත්රී අඳුන් අවුවෙහි වැනූ වී ආදිය තෙමේය යන බියෙන් ගෙය තුළට ගන්නා කල්හි, පුරුෂයන් උදළු, කූඩ අතැති ව නියර බැඳීමට නික්මුණු කල්හි, වසින ආකාරය දක්වා ගර්ජනා කොට විදුලිය පතුරුවා ඒ ගොනුන් යුද්ධ නො කොට ගියාක් මෙන් වැසි නො වැස ම පලා යයි. මේ එහි විපාකයයි. ඔබට මේ නිසා කිසි අනතුරක් නැත. මේ සිහිනය අනාගත කාලය සඳහා දුටු සිහිනයකි. බමුණෝ තමන්ගේ දිවි පැවැත්ම සඳහා එසේ කීහ. මෙසේ බුදු රජහු සිහිනෙහි විපාක වදාරා මහරජ, දෙවැනි සිහිනය කියව යි වදාළහ.