6. අසඞ්කිය ජාතකය (76)
“අසඞ්කියොම්හි ගාමම්හි” යන මේ ජාතක දේශනාව බුදු රජහු ජේතවනාරාමයේ වැඩ වාසය කරන සේක්, සැවැත් නුවර වාසී උපාසකයෙකු අරබයා දෙසූහ. ඔහු සෝවාන් වූ ආර්යය ශ්‍රාවකයෙකි. කිසියම් කටයුත්තක් සඳහා එක් ගැල් නායකයකු සමග මහමඟට පිවිස එක් අරණ්‍යායතනයක ගැල් මුදවා කඳවුරු බැඳගත් කල්හි, ඒ ගැල් නායකයාට නුදුරින් ගසක් මුලක සක්මන් කරයි. ඉක්බිති, පන්සියයක් සොරු තමා හට සුදුසු කාලය සලකා කඳවුර පැහැර ගන්නෙමැ යි දුනු, මුගුරු ආදිය ගත් අත් ඇති ව එම ස්ථානය වට කළහ. උපාසකයා ද සක්මන් කළේමය. සොරු ඔහු දැක ඒකාන්තයෙන් මෙතෙම කඳවුර රකින්නා වන්නේයැ යි සිතා මොහු නිදිගත් කල්හි පැහැර ගන්නෙමු යි කඩාපැනීමට නො හැකි ව ඒ ඒ තැන සිටියහ. ඒ උපාසක ද පළමු යාමෙහි ද මැදියම්හි ද පැසුළුයාමෙහි ද සක්මණෙහි ම නියලී සිටියේය. ඉතා අළුයම් වේලෙහි සොරු ඉඩක් නො ලැබ ගන්නා ලද ගල්, මුගුරු ආදිය දමා පලා ගියහ.
උපාසක ද තම කිස නිමවා නැවත සැවැත් නුවරට අවුත් බුදු රජුන් වෙත එළැඹ ස්වාමීනි, තමා රකින්නට මෙරමාගේ ආරක්‍ෂකයන් විය හැකිදැ යි විචාළේය. උපාසක, එසේය, තමා ආරක්‍ෂා කරන්නා මෙරමා ද රකී. මෙරමා රකින්නා තමා ද රකියි. ස්වාමීනි, බුදු රජුන් විසින් කරන ලද ප්‍රකාශය සුභාෂිතයකි. මම එක්තරා ගැල් නායකයකු සමග මහමඟට පිවිස ගසක් මුල සක්මන් කැරෙමින් මා රකිමි යි මුළු ගැල් සාත්තුව ම ආරක්‍ෂා කළෙමි යි කීවේය. බුදු රජහු උපාසකය, පෙර නුවණ ඇත්තෝ ද තමා රකිමින් මෙරමා ද රැක්කාහ යි වදාරා ඔහු විසින් අයදනා ලදුව අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු බ්‍රාහ්මණ කුලයෙහි ඉපිද නිසි වයසට පැමිණ කාමයන්හි ආදීනව දැක තවුස් පැවිද්දෙන් පැවිදි ව හිමවතෙහි ම වසන්නාහු, ලුණු ඇඹුල් සෙව්නා පිණිස මිනිස් පියසට අවුත් ඒ ජනපදයෙහි හැසිරෙන්නෝ, එක්තරා ගැල් නායකයකු සමග මහමඟට පිවිස එක් අරණ්‍යායතනයක ගැල් නැවතුම් ගත් කල්හි ඊට නුදුරින් දැහැන් සුවයෙන් කල්ගත කරන්නාහු, එක්තරා ගසක් මුලක සක්මනෙහි යෙදුණාහ. ගැල් කරුවන් රාත්‍රී භෝජනය අනුභව කළ කල්හි පන්සියයක් සොරු ඒ ගැල් සාත්තුව පැහැර ගන්නෙමු යි අවුත් වට කළහ. ඔවුහු ඒ තාපසයන් දැක ඉදින් මොහු අප දකිත් නම්, ගැල් සාත්තුවෙහි සිටින්නන්ට කියන්නේය. මොහු නිදිගත් කල්හි පැහැර ගන්නෙමු යි එහි ම සිටියාහුය. තවුසා ද මුළු රාත්‍රිය ම සක්මන් කළේමය. සොරු අවකාශයක් නො ලැබ ගන්නා ලද මුගුරු, ගල් හැරදමා ගැල් සාත්තුවෙහි සිටින්නන්ට ශබ්ද නඟා පින්වත් ගැල් කරුවනි, ඉදින්, මේ ගස මුල සක්මන් කරන තාපසයා අද නො සිටියේ නම්, ඔබ හැම මහත් විනාශයකට පත්වන්නට තිබුණේය. හෙට තවුසාට මහත් සත්කාර කරවු යි කියා ගියාහුය.
ඔවුහු රාත්‍රිය ඉක්ම ගිය කල්හි සොරුන් විසින් අත්හරින ලද මුගුරු, ගල් ආදිය දැක බිය පත් ව බෝසතුන් වෙත ගොස් වැඳ ස්වාමීනි, ඔබ විසින් සොරු දක්නා ලද්දෝ දැ යි ඇසූහ. සගයිනි, එසේය, දක්නා ලද්දේය. ස්වාමීනි, මෙපමණ සොරුන් දැක ඔබතුමන්ට බියක් හෝ තැති ගැන්මක් හෝ නූපන්නේ ද? එවිට බෝසත්හු, සගයිනි, සොරුන් දැක බය උපදින්නේ ධනවතුන් හටය. මම ධන නැත්තෙක්මි යි. ඒ මම කුමකට බිය වන්නෙම් ද? මට ගමෙහි හෝ වනයෙහි විසුවත් බයක් හෝ තැති ගැන්මක් නැතැ යි කියා ඔවුනට දහම් දෙසමි යි මේ ගාථාව කීහ.
“අසඞ්කියොම්හි ගාමම්හි අරඤ්ඤෙ නත්‍ථි මෙ භයං,
උජුමග්ගං සමාරූළ්හො මෙත්තාය කරුණාය චාති”
“ගමෙහි ද සැක නැත්තේ වෙමි. අරණ්‍යයෙහි මට බියක් නැත. මෛත්‍රියෙන් ද කරුණාවෙන් ද සෘජු වූ (බ්‍රහ්ම ලෝක හා දිව්‍ය ලෝකගාමී) මාර්ගයට නැංගෙමි.”
එහි, “අසඞ්කියොම්හි ගාමම්හිති”, සැකයෙහි නියුතු වූයේ - පිහිටියේ “සඞ්කිය” නමි. සංකිය නො වූයේ “අසඞ්කිය” යි. මම ගමෙහි වසන්නේ නමුදු සැකයෙහි නො පිහිටි බැවින් සැක නැත්තේ වෙමි. නිර්භය වෙමි. සැක නැති බව මෙයින් දක්වයි. “අරඤ්ඤෙ”, ගම හා ශාමෝප චාරයෙන් මිදුණේ, මිදුණු ස්ථානයයි. “උජුමග්ගං සමාරූළ්හො මෙත්තාය කරුණාය චාති”, මම තුන් වැනි සතර වැනි ධ්‍යානවලින් ද මෙත්තා, කරුණා, කායිකාදී වැරදිවලින් ද මිදුණා වූ ඇද නැති බඹ ලොව යන මඟට පැමිණියෙහි යි කියයි. නොහොත් පිරිසිදු සිල් ඇති බැවින් කය, වචන, හිත යන තුන් දොරින් වැරදි රහිත වූ ඇද නැති දෙව් ලොව මඟට නෑයෝ වෙමි. මෙසේ දක්වා එයින් මත්තෙහි මෙත්, කරුණා පිහිටි බැවින් සෘජුව ම බ්‍රහ්ම ලෝක මඟට නැංගේ වෙමි යි දක්වයි. නො පිරිහුණු ධ්‍යාන ඇත්තා ඒකාන්තයෙන් බඹ ලොව උපදින බැවින් මෙත්තා, කරුණා ආදිය සෘජු මාර්ග නමි.
මෙසේ බෝසත්හු මේ ගාථාවෙන් දම් දෙසන්නේ, සතුටු සිත් ඇති ඒ මිනිසුන් විසින් පුදන ලද්දාහු, සතර බ්‍රහ්ම විහරණ වඩා බඹ ලොව උපන්හ.
බුදු රජහු මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා අනුසන්‍ධි ගළපා ජාතකය නිම කළහ. එදවස ගැල් සාත්තු වැසියෝ බුදු පිරිස වූහ. තාපසයාණෝ වනාහි මම ම වීමි ය.
7. මහා සුපින ජාතකය (77)
“ලාපූනි සීදන්තීති” යන මේ ජාතක දේශනාව බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, සොළොස් මහා සිහිනයන් අරබයා වදාළහ. එක් දවසක් කොසොල් මහරජතුමා රාත්‍රියේ නිදිගත වූයේ, පැසුළු යාමයෙහි සොළොස් මහා සිහිනයක් දැක බියෙන් තැති ගත්තේ, පිබිදී මේ සිහිනයන් දුටු බැවින් මට කුමක් වන්නේදැ යි මරණ බියෙන් තැතිගෙන යහනේ වැතිරුණේ ම කල්ගත කළේය.
ඉක්බිති, රාත්‍රිය ඉක්මගිය කල්හි පුරෝහිත බමුණෝ රජු වෙත පැමිණ මහරජ, සැප සේ සැතපුණේදැ යි විචාළහ. ගුරුතුමනි, මට සැපයක් නම් කොයින් ද? අද මම අළුයම් කාලයෙහි සොළොස් මහසුපිනයක් දුටහැ යි බමුණන්ට කියා, කිමෙක් දැ යි ඇසූ කල්හි, දුටු සිහින පවසා මේ සිහින දුටු බැවින් මට කුමක් වන්නේදැ යි විචාළේය. බමුණෝ අත් සැලූහ. කුමක් නිසා අත් සලන්නහුදැ යි විචාළ කල්හි මහරජ, සිහින නම් ඉතා නපුරුය. එහි ප්‍රතිඵලය කුමක් වන්නේ ද? රජයට අනතුරක්, ජීවිතයට අනතුරක්, ධනයට අනතුරක් යන මේ තුන් අනතුරෙන් එක්තරා අනතුරක් වන්නේය. එයට පිළියම් ඇත්තේ ද? නැත්තේ ද? මේ සිහින ඉතාමත් අසුභ බැවින් පිළියම් රහිතය. එහෙත් අපි ඒ සිහිනයන් පිළියම් සහිත බවට පැමිණවීමට නො හැක්කේ නම් අප උගත් ශිල්පයෙන් කවර වැඩක් ද ගුරුතුමනි, කුමක් කොට පිළියම් රහිත කරන්නහු ද? මහරජ, සබ්බ චතුක්ක යාගය කරන්නෙමු. (සියල්ල හතර බැගින් ගෙන කරන යාගය) රජතුමා බියෙන් තැති ගත්තේ, එසේ නම් ගුරුතුමනි, මගේ ජීවිතය ඔබතුමන්ගේ අතෙහිය. මට වහා යහපත කරනු මැනවැ යි කීයේය. බමුණෝ අපි බොහෝ ධනය ලබන්නෙමු. බොහෝ කන බොන දෑ ගෙන්වා ගන්නෙමු යි, තුටු පහටු ව, මහරජ, සැකයක් නො සිතනු. මැනවි. රජු සනසා රජ මැදුරෙන් නික්ම නගරයෙන් පිටත යාග වළක් සාරා බොහෝ සිව්පා වර්ගයන් කණු ළඟට ගෙන්වා පක්ෂි වර්ග එකතු කොට මේ මේ දේ ලැබිය යුතුයැ යි නැවත නැවත සිහි කරවත්.