5. මච්ඡ ජාතකය (75)
“අභිත්‍ථනය පජ්ජුන්නාති” යන මේ ජාතක දේශනාව බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, තමන් විසින් වස්සවන ලද වර්ෂාවක් අරබයා වදාළ සේක. එක් සමයෙක්හි කොසොල් රටට වැසි නො වස්නේය. ගස් ද මැලවේ. ඒ ඒ තැන්වල ජලාශ, පොකුණු, විල් වියලේ. ජේතවන දොරටුව අසල ජේතවන පොකුණෙහි ද දිය සිඳුණේය. මඩ ගොඩෙහි ගිලී සිටි මසුන්, ඉබ්බන්, කපුටු, උකුසු ආදීහු අණින උල් ආයුධ හා සමාන හොටවලින් ඇන බැහැර කැර දඟලද්දී කති.
බුදු රජාණන් වහන්සේ මසුන්ගේ හා ඉබ්බන්ගේ ඒ විපත දැක මහා කරුණාවෙන් උත්සාහවත් කරන ලද සිත් ඇත්තේ, අද මා විසින් වැසි වස්සවන්නට වටීයැ යි රෑ පහන් වූ කල්හි සිරුර පිළිදැඟුම් කොට පිඬු සිඟා වඩින වේලාව සලකා මහා භික්‍ෂු සංඝයා පිරිවරන ලද්දේ, බුද්ධ ලීලාවෙන් සැවැත් නුවරට පිඬු පිණිස පිවිස බතින් පසු පිණ්ඩපාතයෙන් වැළකුණේ සැවැත් නුවර සිට විහාරයට වඩින්නේ, ජේතවන පොකුණේ පඩි පෙළේ සිට ආනන්ද තෙරුන් ඇමතූහ. ආනන්දය, වැසි සළුව ගෙන එව, ජේතවන පොකුණෙන් නාන්නෙමි. ස්වාමීනි, ජේතවන පොකුණේ ජලය සිඳී මඩ පමණක් ඉතිරි ව ඇත්තේ නො වේ ද? ආනන්ද, බුද්ධ බලය නම් විශාලයි. නුඹ දිය සළුව ගෙන එව. තෙරුන් වහන්සේ ගෙනවිත් දුන් සේක. බුදු රජහු එක් කොණකින් දිය සළුව හැඳ එක් කොණකින් සිරුර පොරවා ජේතවන පොකුණෙන් නාන්නෙමි යි පඩි පෙළෙහි සිටියහ. ඒ මොහොතේ ම ශක්‍රයාගේ පඬුපුල් ගල් අසුන උණුසුම් ආකාරයෙන් දැක්වීය. හෙතෙම මේ කුමක්දැ යි මෙනෙහි කරන්නේ, ඒ කරුණ දැන වැස්සවලාහක දිව්‍ය පුත්‍රයා කැඳවා දරුව, බුදු රජහු දෙව්රම පොකුණෙහි නාන්නෙමි යි පියගැට පෙළේ මුල් පඩියෙහි සිටින සේක. වහා සියලු කොසොල් රට එක ම ජල ධාරාවක් කොට වැස්ස වනු. හෙතෙම යහපතැ යි පිළිගෙන එක් වලාකුළක් හැඳගෙන එකක් පොරවා ගෙන මේඝ ගීතිකා ගයමින් පෙරදිග ලෝක ධාතුව අභිමුඛ ව පැන්නේය. පූර්ව දිශා භාගයෙන් කලවිටක් පමණ වූ එක් වැසි වලාවක් පැන නැඟී සිය දහස් වලාවන් වී ගර්ජන කැරෙමින් විදුලිය විහිදුවන්නේ, යටිකුරු කොට තබන ලද දිය කළයක ආකාරයෙන් වසිමින් මුළු කොසොල් රට මහා සැඩ පහරක් මෙන් යට කළේය. වැස්ස නො කඩවා වසින්නේ, මොහොතකින් ම දෙව්රම් පොකුණ පිරවීය. උඩ ම පියගැටයෙහි හැපී ජලය සිටියේය.
බුදු රජහු පොකුණෙන් නා රතු දුහුල් සිවුරක් හැඳ පටිය බැඳ සුගත් මහා සිවුර සකස් කොට බහාලා භික්‍ෂු සංඝයා පිරිවරා ගොස් ගඳකිළි පිරිවෙන්හි පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩ හිඳ භික්‍ෂු සංඝයා විසින් වත් දැක්වූ කල්හි නැඟිට මැණික් ඔබා කරන ලද පියගැට පුවරුවෙහි වැඩ සිට භික්‍ෂු සංඝයාට අවවාද දී පිටත්කැර යවා සුගන්ධවත් ගඳකිළියට පිවිස දකුණු ඇලයෙන් සිංහ සෙය්‍යාවෙන් සැතපී සවස් කාලයෙහි දම් සභාවෙහි රැස් වූ භික්‍ෂූන්ට මහණෙනි, දශ බලධාරීන් වහන්සේගේ කරුණා, මෛත්‍රී, අනුකම්පා සම්පත්ති බලවු. විවිධ ශස්‍යය වර්ග මැලවී යන කල්හි, නොයෙක් ජලාශ සිඳී යද්දී මසුන්, ඉබ්බන් මහා දුක් අනුභව කරද්දී, කරුණාව නිසා මහජනයා දුකින් මුදවන්නෙමි යි ජල සාටකය ඇද ජේතවනාරාමයේ පොකුණේ මුල් පඩියේ සිට මොහොතින් මුළු කොසොල් රට ම මහා වැස්සෙන් පා කරන්නාක් මෙන් වර්ෂාව වස්සවා මහජනයා කායික, චෛතසික දුකින් මුදවා වෙහෙරට පිවිසියහ යි කථාව පවත්නා කල්හි ගඳකිළියෙන් නික්ම දම් සභාවට වැඩ මහණෙනි, දැන් කවර කථාවකින් හුන්නහුදැ යි විචාරා මෙනම් කථාවකින් හුන්නාහු යි කී කල්හි මහණෙනි, බුදුහු විඩාවට පත් මහජනයාට වර්ෂාව වස්වා දුකින් මුදවූයේ දැන් පමණක් නොව, පෙර තිරිසන් යෝනියෙහි ඉපිද මත්ස්‍යය රාජ කාලයෙහි ද වැසි වැස්ස වූයේමැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.