4. රුක්ඛධම්ම ජාතකය (74)
“සාධු සම්බහුලා ඤාතීති” යන මේ ජාතක දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, ජලය බෙදා ගැනීමේ කලහයෙහි තමන්ගේ නෑයන්ට මහා විනාශයක් එළැඹි බව දැන අහසින් වැඩමවා රෝහිණී ගංගාවෙහි මත්තෙහි පලක් බැඳ වැඩ හිඳ නිල් රැස් විහිදුවා නෑයන් සංවේගයට පමුණුවා අහසින් බැස ගංතෙරෙහි වැඩසිටි සේක. ඒ කලහය අරබයා මේ ජාතකය දේශනා කළහ. මේ එහි සැකෙවින් දැක්වීමයි. මෙහි විස්තර කථාව කුණාල ජාතකයෙහි ප්‍රකට වන්නේය. එකල්හි බුදු රජහු නෑයන් අමතා මහරජවරුනි, ඔබ හැම නෑයෝය. නෑයෝ නම් සමගි ව සතුටින් සිටිය යුත්තෝය. නෑයන්ගේ සමගිය ඇති කල්හි සතුරෝ ඉඩක් නො ලබති. මිනිස්සු සිටිත්වා’ සිත් පිත් නැති ගස්වලට පවා සමගිය ලැබීම වටී. පෙර හිමවත් පෙදෙසෙහි මහා සුළඟක් සල් වනයට ම පහර ගැසීය. ඒ සල් වනය ඔවුනොවුන් ගස්, වැල්, ලැහැබ් එකට සම්බන්ධ ව පැවැති බැවින් එක් ගසක් හෝ හෙළන්නට නො හැකි ව ගස් මතු මත්තෙන් හමා ගියේය. හිස් භූමියක පිහිටි එක් ගසක් අතු රිකිලිවලින් යුක්ත වූ මහා ගසක් වුව ද අනිත් ගස් හා සම්බන්ධ නැති බැවින් සහමුලින් ඉදිරී බිම හෙළීය. මෙකරුණෙන් ඔබලා ද සමගි ව සතුටු ව විසිය යුතුයැ යි වදාරා ඔවුන් විසින් අයදනා ලද බුදු රජහු අතීත කතාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි උපන් වෙසමුණි මහරජ චුත වූයේය. සක් දෙවිඳු අනිකකු වෛශ්‍රවණ පදවියෙහි පිහිටුවීය. මේ වෛශ්‍රවණයන් මාරු වනවිට පසු ව උපන් වෛශ්‍රවණ රූක්‍ෂ ගස්, වන, ලැහැබ්, ලියවැල්වලට අරක් ගත් දෙවියන් තම තමන් කැමැති ස්ථානවල විමාන ගන්නා ලෙස පණිවිඩ යැවූහ. එකල්හි බෝසත්හු හිමවත් පෙදෙසෙහි එක් සල් වනයක රුක් දෙවියෙක් වී උපන්නහ. එතුමෝ නෑයන් අමතා මෙසේ කීහ. ඔබ විමාන ගන්නා කල්හි හිස් භූමිවල පිහිටි ගස්වල නො ගනිවු. මේ සල් වනයෙහි මා ගත් විමානය පිරිවර කොට ම ගනිවු. එහි දී බෝසතුන්ගේ වචන පිළිගත්තා වූ නුවණ ඇති දෙවියෝ බෝසතුන්ගේ විමන පිරිවරා ම විමාන ගත්හ. නුවණ නැති දෙවියෝ අපට මහා වනයෙහි විමානවලින් කවර වැඩක් ද? අපි මිනිස් පියසෙහි ගම්, නියම් ගම්, රාජධානි දොරටුවල විමාන ගන්නෙමු. ගම් ආදිය ඇසුරුකොට වසන දෙවියෝ ලාභයෙන් හා කීර්තියෙන් අග තැන්පත් වෙති. මිනිස් පියසෙහි හිස් භූමිවල වැඩුණු මහා ගස්වල විමාන ගත්තාහුය.
එක් දවසක් මහා වැස්සක් වට. සුළඟ වේගවත් බැවින් දැඩි මුල් ඇති වන දෙටු ගස් පවා බිඳුණු අතුරිකිලි ඇති ව සහමුලින් ම ඇද වැටිණි. එම මහා සුළඟ ඔවුනොවුන් සම්බන්ධ වී ඇති සල් වනයට පැමිණ ඔබිමොබ පහර දුන්න ද එක ගසක්වත් හෙළන්නට නො හැකි විය. සිඳී ගිය විමන් ඇති දෙවියෝ පිළිසරණක් නැති ව දරුවන් අතින් ගෙන හිමවතට ගොස් තමන් පිළිබඳ පුවත සල් වනයෙහි දෙවියන්ට කීවාහුය. සල් වන වැසි දෙවියෝ සෙසු දෙවියන් මෙසේ ආ බව බෝසතුන්ට සැලකළහ. බෝසත්හු නුවණ ඇත්තන්ගේ වචන නො ගෙන පිහිටක් නැති තැනට ගියාහු. මෙබඳු ම වෙත්යැ යි කියා දම් දෙසමින් මේ ගාථාව කීහ.
“සාධු සම්බහුලා ඤාතී අපි රුක්‍ඛා අරඤ්ඤජා,
වාතො වහති එකට්ඨං බ්‍රහන්තම්පි වනස්පතින්ති”
“බොහෝ වූ නෑයෝ (සමග ව වෙසෙන්නාහු) සෝභමාන වෙති. ආරණ්‍යයෙහි හටගත් වෘක්‍ෂයෝ පවා (ඝනව සිටියාහු) සෝභමාන වෙත්. වාතය එකලා ව සිටියා වූ අතුපතර ඇති මහත් වූ වන දෙටු රුක ද මුලිනුපුටා හෙළයි.”
එහි “සම්බහුලා ඤාතී” හතරේ සිට ලක්‍ෂය දක්වා සම්බහුලා නමි. මෙසේ බොහෝ දෙනෙක් ඔවුනොවුන් ඇසුරු කොට වසන්නාහු, නෑයෝය. “සාධුති”, සෝභමාන, පැසසිය යුතු, අනුන් විසින් නො නැසිය හැක්කේය යන අර්ථයි. “අපි රුක්‍ඛා අරඤ්ඤජා”, මිනිසුන් තිබේවා. වනයෙහි හටගත් ගස් පවා බහුල ව ඔවුනොවුන්ට පිහිටවෙමින් තිබුණේ නම් යහපත්ය. ගස්වලට ද පිහිට ඇති බව ම ලැබීමට සුදුසුයි. “වාතො වහති එකට්ඨං”, පෙර දිශාව ආදී වශයෙන් හමන සුළඟ හිස් බිමක එකලා ව සිටි, “බ්‍රහන්තම්පි වනස්පතින්ති”, අතුරිකිලි ආදියෙන් සම්පූර්ණ වූ මහා ගසක් පවා මැඩ පවත්වයි. සහමුලින් හෙළයි, යන අර්ථයි.
මෙසේ බෝසත්හු මේ කාරණය කියා ආයු කෙළවර කම් වූ පරිදි මිය ගියාහුය. බුදු රජහු ද මහරජවරුනි, ඒ එසේ මය. ඤාතීන්ගේ සමගි බව ම තිබිය යුතුය. එම නිසා සමගි ව සතුටු වෙමින් සුහද ව වාසය කරවු. මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. එදා දෙවියෝ බුදු පිරිස වූහ. නුවණ ඇති දෙවියා නම් මම ම වීමි.
5. මච්ඡ ජාතකය (75)
“අභිත්‍ථනය පජ්ජුන්නාති” යන මේ ජාතක දේශනාව බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, තමන් විසින් වස්සවන ලද වර්ෂාවක් අරබයා වදාළ සේක. එක් සමයෙක්හි කොසොල් රටට වැසි නො වස්නේය. ගස් ද මැලවේ. ඒ ඒ තැන්වල ජලාශ, පොකුණු, විල් වියලේ. ජේතවන දොරටුව අසල ජේතවන පොකුණෙහි ද දිය සිඳුණේය. මඩ ගොඩෙහි ගිලී සිටි මසුන්, ඉබ්බන්, කපුටු, උකුසු ආදීහු අණින උල් ආයුධ හා සමාන හොටවලින් ඇන බැහැර කැර දඟලද්දී කති.