3. සච්චංකිර ජාතකය (73)
“සච්චං කිරෙවමාහංසූති” යන මේ ජාතකය බුදු රජහු වේළුවනයෙහි වසන සේක්, බුදු රජුන් ඝාතනයට ගත් උත්සාහයක් අරබයා දේශනා කළහ. භික්‍ෂූන් දම් සභාවෙහි හිඳ ඇවැත්නි, දෙව්දත් බුදු ගුණ නො දනී. වධය පිණිස ම උත්සාහ කරයි යනුවෙන් දෙව්දත්ගේ අගුණ කියමින් සිටි කල්හි බුදු රජහු මහණෙනි, දැන් කවර කථාවක් කැරෙමින් හුන්නාහුදැ යි විචාරා, මෙනම් කථාවකින් හුන්නෙමු යි කී කල්හි මහණෙනි, දෙව්දත් මා ඝාතනයට උත්සාහ කරන්නේ දැන් පමණක් නො වෙයි. පෙරත් උත්සාහ කළේමැ යි වදාරා ඉකුත් කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි ඒ රජුට දුෂ්ඨ කුමාර නම් පුතකු විය. ඔහු රළුය. පරුෂය. පහර කෑ සර්පයකු මෙනි. අපහාස නො කොට හෝ පහර නො දී කිසිවකු සමග කථා නො කරයි. ඔහු ඇතුළත ජනයාගේ හා පිටත ජනයාගේ ඇසෙහි වැටුණු දූවිල්ලක් මෙන් ද තමා කෑමට ආ පිසාචයකු මෙන් ද නො කැමති වූවකු විය. බය ජනක කෙනකු විය. ඔහු එක් දවසක් ක්‍රීඩා දිය කෙළි කෙළිනු කැමැත්තෝ, මහත් පිරිවරින් ගංතෙරට ගියෝය. එකෙණෙහි ම මහත් වැසි වලාකුළක් නැඟිණි. සියලු දිශාවෝ අන්ධකාර වූහ. ඔහු දාස දූත ජනයන්ට මෙසේ කීය. එම්බා සේවකයිනි, මා ගඟ මැදට ගෙන ගොස් නහවා ගෙන එවු. ඒ සේවකයෝ ද කුමරා එහි ගෙනගොස් රජ අපට කුමක් කරන්නේ ද? මේ පවිටු පුරුෂයා මෙහි දී ම මරා දමමු යි කුමන්ත්‍රණ කොට කාලකණ්ණිය, මෙතනින් යවයි. දියෙහි ගිල්වා එතැර වී ගං ඉවුරෙහි සිටියහ. කුමාරයා කොහිදැ යි ඇසූ කල්හි අපි ඔහු නො දකිමු. වැසි වලාව නැඟෙනු දැක කුමරා දියෙහි ගිලී පළමුකොට ආවේ වන්නේය. ඇමැතියෝ රජුගේ සමීපයට ගියාහුය. රජ, මගේ පුත්‍රයා කොහිදැ යි ඇසීය. දේවයිනි, නො දනිමු. වැසි වලාව නැඟි කල්හි පළමු ව ආවෝයැ යි සිතා අපි ආවෙමු. රජ නුවර දොර හරවා ගංතෙරට ගොස් සොයවු. ඒ ඒ තැන සොයා කිසිවෙක් කුමරා නො දැක්කෝය.
ඒ කුමරා ද වලාකුළින් අඳුරු ව වැස්ස වසින කල්හි ගසාගෙන යද්දී එක් ලී කොටයක් දැක එහි හිඳ මරණ බයින් බිය පත්ව හඬමින් යයි. එකල එක් බරණැස් වැසි සිටුවරයෙක් ගං තෙරෙහි හතලිස් කෙළක් ධනය නිධන්කොට ධනාශාවෙන් එහි ම සර්පයෙක් වී උපන්නේය. තවත් සිටුවරයෙක් එම ප්‍රදේශයෙහි ම තිස් කෙළක් ධනය නිධන්කොට ධනාශාවෙන් එහි ම මීයෙක් වී උපන්නේය. ඔවුන් වසන තැනට ද ජලය ගලා ආවේය. ඒ දෙදෙනා ද ජලය ආ මඟින් ම නික්මී සැඩ පහර මඬිමින් ගොස් පැමිණ ඒ රජකුමරා සිටි ලී කොටයට නැඟ එකෙක් එක් කෙළවරක ද අනිකා අනිත් කෙළවරට ද නැඟ ලී කොටය මත හොත්තාහ. එම ගං ඉවුරෙහි ම ඉඹුල් ගසක් ඇත. එහි එක් ගිරා පැටවෙක් වසයි. එම ගස ද දිය පහරින් මුල් සේදී යාම නිසා ගඟ මතට ඇද වැටිණි. ගිරා පැටවා ද වැසි වස්නා කල්හි ඉගිලී යන්නට නො හැකි ව ගොස් එම ලී කඳෙහි එක් පසෙක සැඟවුණේය. මෙසේ මේ සතර දෙනා එකට පාවෙමින් යත්.
බෝධි සත්ත්වයන් වහන්සේ ද වනාහි ඒ කාලයේ කසී රට උසස් බමුණු කුලයක ඉපිදී වැඩිවියට පත්වූයේ, තවුස් පැවිද්දෙන් පැවිදි ව එක්තරා ගඟේ නැම්මක (වක්කලමක) පන්සලක් කොට වසන සේක. හෙතෙම මැදියම් රැයෙහි සක්මන් කරන්නේ, ඒ රාජ කුමාරයාගේ බලවත් සේ වැළපෙන ශබ්දය අසා සිතීය. මා වැනි මෛත්‍රී අනුකම්පාවෙන් යුත් තාපසයකු බලාසිටිද්දී මේ පුරුෂයාට මැරෙන්නට හැරීම යුතු නැත. දියෙන් ගොඩට ගෙන ඔහුට ජීවිතය දෙන්නෙමි යි හෙතෙම ඔහුට බිය නො වන්න. බිය නොවන්නැ යි සනසා දිය පාර කපාගෙන ගොස් ඒ දර කඳ එක් කොණකින් ගෙන අදින්නේ, ඇත්බල ඇත්තේ, ශක්තිමත් වූයේ, එක් පහරින් ම ගං තෙරට පැමිණ කුමාරයා ඔසවා ඉවුරෙහි තැබුවේය. ඒ සර්ප ආදීන් ද දැක ඔසවා ගෙන අසපුවට පමුණුවා ගිනි දල්වා මොවුන් වඩා දුර්වලයැ යි පළමු ව සර්ප ආදීන්ගේ සිරුර තෙත සිඳුවා පසු ව රජ කුමරාගේ සිරුර තෙත සිඳුවා ඔහු ද නිරෝගී කොට ආහාර දෙන්නේ ද පළමු ව සර්ප ආදීන්ට ම දී පසුව ඔහුට පිරිනැමීය. රජකුමරා මේ කපටි තවුසා රාජ කුමාරයකු වන මා ගණන් නොගෙන තිරිසනුන්ට ගරු කරන්නේයැ යි බෝසතුන් කෙරෙහි වෛර බැන්දේය.
එයින් දින කීපයකට පසු ඒ සියල්ලන්ම ශක්ති සම්පන්න බවට පැමිණි කල්හි, ගඟෙහි සැඩ පහර සිඳුණු කල්හි, සර්පයා තාපසයන් වැඳ මෙසේ කීය. ස්වාමීනි, ඔබතුමා විසින් මට මහත් උපකාර කරන ලද්දේය. මම දුගියෙක් නො වෙමි. අසවල් තැන හතලිස් කෙළක් කහවණු නිධන්කොට තබන ලද්දේය. ඔබතුමාට ධනය අවශ්‍ය වූ කල්හි මේ සියලු ධනය ඔබතුමාට දෙන්නට හැක්කේ වෙමි. ඒ ස්ථානයට ගොස් ‘දීඝ’ යි කැඳවනු මැනවි. මෙසේ කියා ගියේය. මීයා ද එසේ ම තාපසයාට ආරාධනා කොට අසවල් තැන සිට ‘උන්දූර’ කියා කැඳවවයි කියා ගියේය. ගිරවා වනාහි තාපසයාට වැඳ ස්වාමීනි, මට ධනයක් නැත. රත් ඇල් හාල් තොපට අවශ්‍ය වූ විටක අසවල් නම් මගේ වාසස්ථානයයි. එහි ගොස් ‘සුව’ යි කැඳවනු මැනවි. මම නෑයන්ට කියා නොයෙක් ගැල් පුරවන ලද රත් ඇල් හාල් ගෙන්වා දෙන්නට හැකි වන්නෙමි යි කියා ගියේය. අනික් මිත්‍ර ද්‍රෝහියා සිත ඇති සැටියේ කිසිවක් නො කියා ම ඔහු තමා සමීපයට ආ කල්හි මරන්නෙමි යි සිතා ස්වාමීනි, මා රාජ්‍යයෙහි පිහිටි කල්හි එනු මැනවි. මම තොපට සිව්පසයෙන් උපස්ථාන කරන්නෙමි යි කියා ගියේය. ඔහු ගොස් නොබෝ දවසකින් ම රාජ්‍යයෙහි පිහිටියේය.