2. සීලව නාගරාජ ජාතකය (72)
“අකතඤ්ඤුස්ස පොසස්ස” යන මේ ජාතක දේශනාව බුදු රජහු වේළුවනයෙහි වැඩ වසන සේක්, දෙව්දත් අරබයා දේශනා කළහ. දම් සභාවෙහි භික්ෂූහු, ඇවැත්නි, දෙව්දත් තෙර කෙළෙහි ගුණ නො දත්තේය. බුදු රජුන්ගේ ගුණ නො දනිතැ යි කියමින් හුන්නාහුය. බුදු රජුන් වැඩ මහණෙනි, දැන් කවර කථාවකින් හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින් සිටියෙමු යි කී කල්හි, මහණෙනි, දෙව්දත් කෙළෙහි ගුණ නො දත්තේ දැන් පමණක් නොව පෙර ද කෙළෙහි ගුණ නො දත්තේමය. ඔහු කිසිකලෙක මගේ ගුණ නො දනිතැ යි වදාරා ඔවුන් විසින් අයදනා ලදුව අතීතය ගෙන හැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසත් තෙම හිමාල වන ප්‍රදේශයේ ඇත් යෝනියේ උපන්නේය. ඔහු මව් කුසින් නික්මෙන්නේ, මුළු සිරුර ම සුදු වූයේය. රිදී ගොඩක් මෙන් විය. ඔහුගේ ඇස් මැණික් බෝල මෙන් විය. පැහැදිලි ව පෙනෙන පසිඳුරෝ වූහ. මුහුණ රත් පලසක් මෙන් විය. සොඬ රන්වන් බින්දුවලින් යුත් රිදී දමක් මෙන් විය. පා හතර ලාපිරියම් කළාක් මෙන් විය. මෙසේ ඔහුට දශ පාරමී බලයෙන් අලංකාර කළ රුවින් අගතැන් පත් ආත්ම භාවයක් විය. මුළු හිමවතෙහි ම ඇත්තු රැස්ව නැණවත් බවට පත් ඔහුට උවටැන් කැරෙමින් හැසිරුණහ. මෙසේ ඔහු අසූ දහසක් ඇතුන් පිරිවර කොට හිමිවත් පෙදෙසේ වසන්නේ, පසු කාලයේ ඔහු සමූහ වාසයෙහි දොස් දැක සමූහයා කෙරෙන් වෙන්වීමේ අනුසස් ද දැක හුදකලා ව අරණ්‍යයෙහි වාසය කළේය. සිල්වත් බැවින් ඔහුට සීලව නාග රාජ නම් නමක් විය.
එකල්හි එක් බරණැස් වැසි වනයෙහි හැසිරෙන්නෙක් හිමවතට පිවිස තමාට ජීවත්වීමට වස්තුවක් සොයමින් දිශාවන් තීරණය කිරීමට නො හැකිවන්නේ, මංමුළා වී මරණ බයින් තැති ගෙන හිස, අත් බැඳගෙන හඬමින් හැසිරෙයි. බෝසත්හු ඔහුගේ ඒ බලවත් වැළපීම අසා තෙමේ පුරුෂයා දුකින් මුදවමි යි කරුණාවෙන් මෙහෙයවන ලදුව ඔහු සමීපයට ගියේය. ඒ පුරුෂයා බෝසතුන් දැක ම බියපත් ව පලා ගියේය. බෝසත්හු පලායන්නා වූ ඔහු දැක එතැන ම සිටියේය. ඒ පුරුෂයා බෝසතුන් නැවතුණු බව දැක ඔහු ද සිටියේය. බෝසත්හු නැවත ඔහු වෙත ගියහ. නැවතත් දුවමින් ඇතු සිටි කල්හි තමා ද නැවතී මෙසේ සිතුවේය. මේ ඇතා මා පලායන කල්හි නැවතී සිටී. මා නැවතුණු කල ළඟට එයි. මොහු මට අනතුරක් කරනු කැමැත්තේ නො වන්නේය. මොහු මා මේ දුකින් මුදවනු කැමැත්තෙක් ම වන්නේයැ යි එඩිතර ව සිටියේය. බෝසත්හු ඔහු වෙත ගොස් පින්වත, කුමක් නිසා ඔබ හඬමින් හැසිරෙන්නෙහිදැ යි විචාළේය. ස්වාමීනි, දිශාවන් තීරණය කිරීමට නො හැකිව මංමුළා වී මරණ බය නිසායැ යි කීවේය. ඉක්බිති, බෝසත්හු පුරුෂයා තමා වසන තැනට ගෙන ගොස් දින කීපයක් ඵල වැලින් සතපවා පින්වත් පුරුෂය, බය නොවව්. මම ඔබ මිනිස් පියසට පමුණුවන්නෙමි යි තමාගේ පිටෙහි හිඳුවා මිනිස් පියසට ගියේය.
ඉක්බිති, ඒ මිත්‍රද්‍රෝහී පුරුෂයා ඉදින් කිසිවෙක් මාර්ගය විචාරන්නේ නම් කිව යුතුයි. බෝසතුන්ගේ පිටෙහි හුන්නේ, ගස් නිමිති, පර්වත නිමිති සලකමින් ම යයි. ඉක්බිති, බෝධි සත්ත්වයෝ ඒ පුරුෂයා වනයෙන් පිටතට ගෙනවුත් බරණැස් නුවරට යන මහ මඟ සිටුවා පින්වත් පුරුෂය, මේ මඟන් යව. මා වසන තැන කිසිවකු ඇසුවත් නො ඇසුවත් නො කියවයි. ඔහු යවා තමාගේ වසන ස්ථානයට ම ගියේය. ඉක්බිති, ඒ පුරුෂයා බරණැස් නුවරට ගොස් හැසිරෙන්නේ, ඇත්දළ කරුවන්ගේ වීථියට පැමිණ ඇත් දළින් විසිතුරු කැටයම් කරන්නන් දැක පින්වත්නි, කිම, ජීවදත්ත හෙවත් ජීවත්ව සිටිය දී ගන්නා ලද දළ ගන්නහුදැ යි ඇසීය. පින්වත, කුමක් කියහි ද? ජීවදත්ත නම් මළ දළට වඩා ඉතා වටිනේය. එසේ නම් මම ඔබට ජීවදත්ත ගෙන එන්නෙමි යි මාර්ග උපකරණ ගෙන තියුණු කියතක් ගෙන බෝසතුන් වසන ස්ථානයට ගියේය.
බෝසත්හු ඔහු දැක කුමක් නිසා ආවේදැ යි විචාළහ. ස්වාමීනි, මම ධනය නැති දිළින්දෙක් වෙමි. ජීවත්වීමට නො හැකි ව ඔබතුමන්ගෙන් දත් කැබැල්ලක් ඉල්ලමි. ඉදින්. එය දෙන්නේ නම් එය ගෙන ගොස් විකුණා ඒ මුදලින් ජීවත් වන්නෙමි යි සිතා ආවෙමි. පින්වත, එසේ වේවා. ඔබට දළ දෙමි. ඉදින්, දළ කැපීම සඳහා කියතක් තිබේ ද? ස්වාමීනි, කියතක් ගෙන ආවේ වෙමි. එසේ වී නම් දළ කියතින් කපා රැගෙන යව යි බෝසත්හු පා හකුළුවා ගවයන් ලගින්නාක් මෙන් සිටියේය. ඔහු ඇතුගේ ප්‍රධාන දළ දෙක සිඳීය. බෝසත්හු ඒ දත් සොඬින් ගෙන පින්වත් පුරුෂය, මම මේ දළ නො කැමැති නිසා හෝ අනවශ්‍ය නිසා හෝ නො දෙමි. මේ දළ දෙකට වඩා දහස් ගුණයකින් ලක්ෂ ගුණයකින් සියලු ධර්ම අවබෝධ කිරීමට සමත් වූ සර්වඥතා ඥාන නමැති දළ ම වඩා ප්‍රිය වෙයි. ඒ මගේ දළ දානය, සර්වඥතා ඥානය අවබෝධ කිරීම සඳහා ම වේවා යි සර්වඥතා ඥානය මෙනෙහි කොට දළ යුවළ දුන්හ.
ඒ පුරුෂයා දළ යුවල ගෙනගොස් විකුණා ඒ මුදල අවසන් වූ කල්හි නැවත බෝසතුන් වෙත ගොස් ස්වාමීනි, ඔබගේ දළ විකිණීමෙන් ලත් මුදල මගේ ණය ගෙවීම සඳහා පමණක් ම වූයේය. ඉතිරි දළ ද දෙනු මැනවැ යි ඉල්ලීය. බෝසත්හු මැනවැ යි පිළිවදන් දී පෙර පරිදි ම කප්පවා ඉතිරි දත් ද දුන්හ. පුරුෂයා ඒ දළ ද විකුණා නැවතත් අවුත් ස්වාමීනි, ජීවත්වීමට නොහැක්කෙමි. දළ මුල් ද දෙනු මැනවැ යි කියා පෙර පරිදි ම සිඳ ගත්තේය. බෝසත්හුගේ රිදී වැළක් ඒ පවිටු මිනිසා සමාන සොඬ වඩිමින් කෛලාසය හා සමාන වූ කුඹට නැඟී දළ කෙළවර විලුඹෙන් පහර දෙමින් මස් ඉවත්කොට කුඹට නැඟී තියුණු කියතින් දළ මුල් කපාගෙන ගියේය. බෝසතුන්ගේ පේන තෙක් මානයේ ඉක්මෙන කල්හි දෙලක්ෂ හතලිස් දහසක් යොදුන් ඝන වූ මහ පොළොව මහමෙර යුගන්ධර පර්වත ආදී මහා භාරයන් ද දුගඳ වූ පිළිකුල් වූ මළ මුත්‍රාදිය ද දරා සිටීමට සමත් වුවද ඒ පාප පුරුෂයාගේ අගුණ රාශිය දරා සිටීමට නො හැකි වූවාක් මෙන් සිදුරු විය. එකෙණෙහි අවීචි මහා නිරයෙන් ගිනි ජාලා නික්ම ඒ මිත්‍රද්‍රෝහී පුරුෂයා කුල සන්තක පොරෝණයකින් පොරවන්නාක් මෙන් වටකොට ගත්තේය.