1. වරණ ජාතකය (71)
“යො පුබ්බෙ කරණීයානී” යන මේ දේශනාව බුදු රජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සේක්, කුටිම්බියපුත්ත තිස්ස තෙරුන් අරබයා වදාළහ. එක් දවසක සැවැත් නුවර වාසීහු ඔවුනොවුන් හා යහළු වූ කුල පුත්රයෝ තිස් දෙනෙක් සුවඳ මල් වස්ත්රාදිය ගෙන බුදු රජාණන් වහන්සේගේ ධර්මය අසන්නෙමු යි මහ ජනයා පිරිවරා දෙව්රමට ගොස් නා මළුවල හා සල් මළුවල මඳ වේලාවක් හිඳ සවස් කාලයෙහි බුදු රජුන් සුවඳ ගල්වන ලද ගඳ කිළියෙන් නික්ම දම් සභාවට වැඩමවා අලංකාර කළ බුද්ධාසනයෙහි වැඩ හුන් කල්හි, පිරිවර සහිත ව දම් සභාවට ගොස් බුදු රජුන් සුවඳ මලින් පුදා සක් ලකුණෙන් විසිතුරු වූ පිපුණු නෙළුම් මලක් බඳු පාදයන් වැඳ එකත් පසෙක හිඳ දහම් ඇසූහ.
ඉක්බිති, ඔවුන්ට මෙබඳු සිතක් ඇති විය. බුදු රජුන් දෙසූ දහම යම් සේ අපි අවබෝධ කැර ගතිමු. ඒ නිසා අපි පැවිදි වෙමු. ඔවුහු බුදු රජුන් දම් සභාවෙන් නික්ම වැඩි කල්හි බුදු රජුන් වෙත එළැඹ වැඳ පැවිද්ද ඉල්ලූහ. බුදු රජහු ඔවුන්ට පැවිද්ද දුන්හ. ඔවුහු භික්ෂූහු ආචාර්ය උපාධ්යායන්ගේ සිත් ගෙන උපසම්පදාව ලැබ පස් වසක් ආචාර්ය උපාධ්යායන් සමීපයෙහි වැස උභය ප්රාතිමෝක්ෂය ප්රගුණ කොට කැප අකැප දේ දැන ත්රිවිධ අනුමෝදනා බණ ඉගෙන සිවුරු මසා පඬු පොවා මහණ දම් පුරන්නෙමු යි ආචාර්ය උපාධ්යායයන් විචාරා බුදු රජුන් වෙත එළැඹ වැඳ එකත් පසෙක හිඳ ස්වාමීනි, අපි සසරෙහි කළකිරුණෝ වෙමු. ජාති, ජරා, ව්යාධි, මරණ බියෙන් බියපත් වූවෝ වෙමු. ඒ අපට සසරින් මිදීම සඳහා කමටහනක් කියාදෙනු මැනවැ යි ඉල්ලූහ. බුදු රජහු ඔවුන්ට අටතිස් කර්ම ස්ථාන අතුරෙන් සුදුසු කර්ම ස්ථානයක් තෝරා ප්රකාශ කළහ. ඒ භික්ෂූහු බුදුන් වෙතින් කර්ම ස්ථාන ගෙන බුදු රජුන් වැඳ පැදකුණු කොට පිරිවෙනට ගොස් ආචාර්ය උපාධ්යායයන් බලා පාසිවුරු ගෙන මහණ දම් පුරන්නෙමු යි නික්මුණහ.
ඉක්බිති, ඔවුනතුරෙන් නමින් කෙළඹිපුත් තිස්ස තෙර නම් භික්ෂුව කුසීතය. වීර්යයෙන් තොරව. රසෙහි ගිජු වූයේය. ඔහු මෙසේ සිතීය. මම වනයෙහි විසීමට හෝ මහා වීර්යය කිරීමට හෝ පිඬු සිඟීමෙන් යැපීමට හෝ නො හැක්කෙමි. මේ ගමනින් මට කවර ප්රයෝජනයක් ද? නවතිමි යි, ඔහු වීර්යය අත්හැර ඒ භික්ෂූන්ට පසුගමන් කොට නැවතුණේය. ඒ භික්ෂූහු ද කොසොල් දනව්වෙහි චාරිකාවෙහි හැසිරෙමින් එක්තරා පසල් ගමකට ගොස් එගම ඇසුරු කොට වන සෙනසුනක වස් එළැඹ තෙමස ඇතුළත උත්සාහයෙන් කමටහන් වඩන්නාහු, විදර්ශනාව ගැබ්ගන්වා පොළොව නාද කැරෙමින් රහත්බවට පත්ව එළැඹි වස් ඇත්තාහු, පවාරණය කොට තමා ලැබූ නැණ විශේෂය බුදු රජුන් සැල කරන්නෙමුයි එයින් නික්ම පිළිවෙලින් දෙව්රමට වැඩ පාසිවුරු තැන්පත් කොට ආචාර්ය උපාධ්යායන් දැක බුදු රජුන් දකිනු කැමැති ව බුදු රජුන් වෙත ගොස් වැඳ හිඳ ගත්හ. බුදු රජහු ඔවුන් සමග මිහිරි පිළිසඳර කළහ. කළ පිළිසඳර ඇත්තාහු, තමන් විසින් ලබන ලද ගුණය බුදු රජුන්ට සැල කළහ. බුදු රජහු ඒ භික්ෂූන් පැසසූහ. කෙළඹි පුත් තිස්ස තෙර බුදු රජුන් ඔවුන්ගේ ගුණ කථා කරනු දැක තෙමේ ද මහණ දම් පුරනු කැමැත්තේ වූයේය. ඒ රහත් භික්ෂූහු ද ස්වාමීනි, අපි ද එම අරණ්යය වාසයට ම ගොස් වසන්නෙමි යි බුදුරජුන් විචාළහ. බුදු රජහු මැනවැ යි අවසර දුන්හ. උන් වහන්සේලා බුදුන් වැඳ පිරිවෙනට ගියහ.
ඉක්බිති, ඒ කෙළඹි පුත් තිස්ස තෙර ද මුළු රාත්රී කාලයෙහි ම පටන් ගන්නා ලද දැඩි වීර්යය ඇත්තෙක් වී, ඉතා වේගයෙන් මහණ දම් පුරන්නේ, මධ්යම යාමයේ එළැඹෙන පුවරුව නිසා හිටගෙන නින්දට පැමිණියේ, පෙරළී වැටී උකුල් ඇටය බිඳුණේය. දැඩි වේදනා ඇති විය. ඔහුට උපස්ථාන කළ ඒ භික්ෂූන්ගේ ගමන ද සඵල නො වීය. බුදු රජහු උපස්ථාන ශාලාවට පැමිණි ඒ භික්ෂූන්ගෙන්, මහණෙනි, තෙපි හෙට යමු යි ඊයේ මාගෙන් අවසර ගත්තා නො වේදැ යි විචාළහ. එසේය. ස්වාමීනි, එසේ වුවත් අපගේ මේ යහළු කෙළඹිපුත් තිස්ස තෙර නුසුදුසු වේලාවෙහි ඉතා වේගයෙන් මහණ දම් පුරන්නේ, නින්දෙන් මඩනා ලද්දේ, පෙරළී වැටුණේ, උකුල් ඇටය බිඳුණේය. ඔහු නිසා අපගේ ගමන සිදු නො වීය. මහණෙනි, හෙතෙම තමාගේ හීන වීර්යය ඇති බව නිසා නුසුදුසු වෙලාවෙහි පමණ ඉක්මවා වීර්යය කරන්නේ, තොපගේ ගමනට බාධා කරනුයේ දැන් පමණක් නො වේ. පෙර ද තොපගේ ගමනට අනතුරු කළේයැ යි වදාරා ඔවුන් විසින් අයදනා ලදුව අතීත කථාව ගෙනහැර දැක්වූහ.