8. තයෝධම්ම ජාතකය (58)
“යස්ස එතෙති” යන මේ දේශනාව ද බුදු රජහු වේළුවනාරාමයෙහි වැඩ වසන සේක්, ඝාතන ප්රයත්නයක් ම අරබයා වදාළ සේක.
පෙර බරණැස නුවර බඹදත් රජු රජ කරද්දී දෙව්දත් වඳුරු යෝනියෙහි ඉපදී හිමවත් පෙදෙසෙහි වඳුරු රැළක් පරිහරණය කරන්නේ තමන් නිසා උපන් වඳුරු පොව්වන්ගෙන් වැඩිවියට පත් වූවෝ වඳුරු රැළ පරිහරණය කරති යි බියෙන් දතින් සපා ඔවුන්ගේ අණ්ඩ කෝෂ උපුටා දමයි. එකල බෝධි සත්ත්වයෝ ද එම වඳුරු නායකයා නිසා ම එක් වැඳිරිය කුසෙහි පිළිසිඳ ගත්හ. එකල්හි ඒ වැඳිරිය ගැබ පිහිටි බව දැන ගැබ රැක ගන්නී, වෙනත් පර්වත පාදයකට ගියාය. පිරිපුන් ගැබ් ඇති ඇය බෝසතුන් වැදුවාය. හෙතෙම වැඩිවියට පැමිණ නුවණ ඇති වූයේ ශක්ති සම්පන්න වූයේය. බෝසත්හු එක් දවසක් මවගෙන් මෙසේ විචාළහ. මෑණියනි, මගේ පියා කොහිද? දරුව, අසවල් පර්වත පාදයෙහි වඳුරු රැළ පාලනය කරමින් වාසය කරයි. මෑණියනි, එසේ නම් මා ඔහු වෙත පමුණුවනු මැනවි. දරුව, පියා වෙත පැමිණවිය නො හැකිය. එහි ගිය විට ඔබගේ පියා තමා නිසා උපන් වානර පොව්වන් රළ පාලනය කරති යි බියෙන් දතින් සපා අණ්ඩ කෝෂ කඩා දමයි. මෑණියනි, මා ඔහු වෙත පමුණුවනු මැනවි. මම කළ යුත්ත දනිමි.
වැඳිරිය පුත්රයා රැගෙන ඔහු වෙත ගියාය. ඒ වඳුරු නායකයා තමාගේ පුතා දැක මොහු වැඩිවිය පත් කල්හි මට වඳුරු රැළ පාලනය කිරීමට ඉඩ නොදෙයි. දැම්ම ඔහු බැහැර කළ යුතුයැ යි ඔහු, පුත්රයා වැළඳ ගන්නාක් මෙන් දැඩි සේ ගෙන දිවි තොර කරමි යි සිතා දරුව, එන්න, මෙතෙක් කල් කොහි ගියේ දැයි බෝසතුන් වැළඳ ගන්නා මුවාවෙන් තෙරපීය. බෝසත්හු වනාහි ඇතකුගේ ශක්ති ඇත්තාහ. ඔහු ද වඳුරු නායකයා තෙරපීය. වඳුරාගේ ඇට බිඳෙනා ආකාරයට පත්විය. අනතුරුව ඔහුට මෙසේ සිතුණි. මොහු වැඩුණේ නම් මා මරන්නේය. ඊට පෙරාතුව ම කෙසේ හෝ මොහු මරන්නෙමි. ඔහුට මෙසේ සිතුණි. මේ ළඟ රාක්ෂයා අධිගෘහිත විලක් ඇත. එහි රකුසා ලවා මොහු විනාශ කරමි. ඉක්බිති, පුත්රයාට මෙසේ කීවේය. දරුව, මම දැන් මහල්ලෙක්මි. මේ වඳුරු රැළ ඔබට පවරා දෙමි. අද ම ඔබ රජ කරවමි. අසවල් තැන විලක් ඇත. එහි කුමුදු මල් දෙකක් ද උපුල් මල් තුනක් ද පියුම් මල් පහක් ද පිපේ. දරුව, එව. එයින් මල් ගෙන එව. පියාණෙනි, මැනවි. ගෙන එන්නෙමි. බෝසත්හු එහි ගොස් වහා විලට නො බැස අවට පිය සටහන් විමසන්නේ විලට බට පියවර ම දුටහ. ගොඩනැඟි පියවර නො දුටහ. ඔහු මේ විල රකුසකු විසින් අරක් ගත් විලක් විය යුතුයි. මගේ පියා මා මැරීමට නො හැකි වූ නිසා රකුසාට මා බිළි දෙනු කැමැත්තේ වන්නේය. මම මේ විලට ද නො බසිමි. මල් ද ගනිමි යි වතුර නැති තැනකට ගොස් වේග ගන්වා උඩට පැන එතරට යන්නේ දිය නැති අහසෙහි පිහිටියා වූ මල් දෙකක් ගෙන එතරට පැන්නේය. එතර සිට මෙතරට එන්නේ ඒ අයුරෙන් ම මල් දෙකක් ගත්තේය. මෙසේ දෙපසෙහි රැස් කරන්නේ මල් ද ගත්තේය. රකුසාගේ අණසකට යටත් වූ ප්රදේශයකට නො බැස්සේය.
ඉක්බිති, ඒ මල් ගෙන එක් තැනකට රැස් කරන කල්හි ඒ රකුසා මම මෙතෙක් කලකට මෙබඳු වූ නැණවත් අසිරිමත් පුරුෂයකු නුදුටු විරූය. ඔහු විසින් මල් ද කැමති තාක් ගන්නා ලදි. මගේ අණ පවතින අඩවියට ද නො බැස්සේයැ යි ජලය දෙබෑකොට ජලයෙන් උඩට අවුත් බෝසතුන් වෙත එළඹ වඳුරු රජතුමනි, මේ ලෝකයෙහි යමකුට ධර්ම තුනක් ඇත්තේ ද ඔහු සියලු සතුරන් මැඩ පවත්වයි. ඔබගේ ඇතුළත මේ සියලු ගුණ ධර්ම ඇතැ යි සිතමි යි, කියා බෝසතුන්ට ස්තුති කරමින් මේ ගාථාව කීවේය.
“යස්ස එතෙ තයො ධම්මා වානරින්ද යථා තව,
දක්ඛියං සූරියං පඤ්ඤා දිට්ඨං සො අතිවත්තතීති”
දක්ඛියං සූරියං පඤ්ඤා දිට්ඨං සො අතිවත්තතීති”