9. භේරිවාද ජාතකය (59)
“ධමෙ ධමෙති” යන මේ දේශනාව බුදු රජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙන්නේ, එක්තරා අකීකරු භික්‍ෂුවක් අරභයා වදාළ සේක. ඒ භික්‍ෂුවගෙන් බුදුරජහු ඇත්ත ද? මහණ, නුඹ අකීකරුදැ යි විමසා, ස්වාමීනි, ඇත්තැ යි කී කල්හි මහණ, නුඹ දැන් පමණක් නොව අකීකරු වූයේ පෙරත් අකීඛරු වූයේයැ යි වදාරා අතීතය ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසත්හු බෙර වයන කුලයෙහි ඉපදී කුඩා ගමක වසයි. හෙතෙම බරණැස් නුවර නැකත් සැණකෙළියට ඝෝෂා කළායැ යි අසා රඟහලේ දී බෙර වයා ධනය ගෙන එන්නෙමි යි පුතා රැගෙන එහි ගොස් බෙර වයා බොහෝ ධනය ලැබීය. එය රැගෙන තමන්ගේ ගමට යන්නේ සොරුන් ගැවසෙන වනයකට පැමිණ නිතර බෙර වයන පුත්‍රයා වැළැක්වීය. දරුව, නිරතුරු වාදනය නො කොට මඟට පිළිපන් ඉසුරුමතුන් වෙනුවෙන් වයන බෙරයක් මෙන් වරින් වර වාදනය කැරව. පියා විසින් වළක්වනු ලබද්දීත් බෙර හඬින් ම සොරුන් පලවා හරිමි යි කියා නිරතුරුව ම වාදනය කළේය. සොරු පළමුකොට ම බෙර හඬ අසා ඉසුරුමතුන් සඳහා වයන බෙරයක්යැ යි සලකා පලා ගොස් මේ බෙර ශබ්දය නිරතුරුව ම අසා ඉසුරුමතුන්ගේ බෙර හඬ නො වේයැ යි අවුත් විමසා දෙදෙනෙකු පමණක් දැක ඔවුන් පෙලා ධනය පැහැර ගත්හ. බෝසත්හු අප මේ ධනය ලද්දේ මහත් ආයාසයෙනි. නිරතුරුව බෙර වාදනය නිසා ධනය විනාශ කළේයැ යි කියා මේ ගාථාව කීහ.
“ධමෙ ධමෙ නාතිධමෙ අතිධන්තං හි පාපකං,
ධන්තෙන සතං ලද්ධං අතිධන්තෙන නාසිතන්ති”
“බෙර වයන්න. බෙර වයන්න. (ප්‍රමාණය ඉක්මවා) අතිශයින් නො වයන්න. නිරන්තරයෙන් බෙර වැයීම ලාමකය. (අනර්ථය) බෙර වයන්නහු විසින් කහවණු සියයක් ලබන ලද ද (කාලය නො බලා) නිරන්තරයෙන් බෙර වයන්නාහු විසින් නසන ලදි.”
එහි, “ධමෙ ධමෙති” වාදනය කරන්නෙහිය. වාදනය නො කොට නො සිටින්නේය, යන අර්ථයි. “නාතිධමෙති” පමණ ඉක්මවා නිරතුරුව ම වාදනය නො කරන්නේය. කුමක් නිසා ද යත්, “අතිධන්තං හි පාපකං” නිරතුරු බෙර වාදනය දැන් අපට පවිටු විය. “ධන්තෙන සතං ළද්ධං” නගරයෙහි බෙර වැයීම නිසා කහවණු සියයක් ලබන ලදි. “අතිධන්තෙන නාසිතන්ති” දැන් වනාහි මගේ පුත්‍රයා විසින් මගේ වචන නො අසා වනයෙහි නො කඩවා වාදනය කරන ලදි. ඒ නිරතුරු වාදනය නිසා සියල්ල නසන ලදීය.
බුදුරජහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා අනුසන්‍ධි ගළපා ජාතක දේශනාව නිම කළහ. එකල පුත්‍රයා අකීකරු භික්‍ෂුව විය. පියා වනාහි මම ම වීමි.
10. සඞ්ඛධමන ජාතකය (60)
“ධමෙ ධමෙති” යන මේ දේශනාව බුදු රජහු බුදු රජහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, අකීකරු වූ භික්‍ෂුවක් අරභයා වදාළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසත්හු සක් පිඹින කුලයෙහි ඉපදී බරණැස් නුවර නැකත් සැණකෙළිය ප්‍රචාරය වූ කල්හි පියා රැගෙන සක් පිඹීමේ ක්‍රියාවෙන් ධනය ලැබ එන කල්හි සොරු ගැවසෙන කැලයෙහි දී පියා විසින් නිරතුරුව සක් පිඹීම වළක්වන ලදි. හෙතෙම සක් හඬින් සොරුන් පලවා හරින්නෙමි යි නිරතුරුව ම පිම්බේය. සොරු පෙර පරිදි ම අවුත් ධනය පැහැර ගත්හ. බෝසත්හු පෙර පරිදි ම ගාථාව කීහ.
“ධමෙ ධමෙ නාතිධමෙ අතිධන්තඤ්හි පාපකං,
ධන්තෙනාධිගතා භොගා තෙ තාතො විධමී ධමන්තී”
“සක් පිඹින්නේය. සක් පිඹින්නේය. (කල් නො බලා) අධිකකොට නො පිඹින්නේය. අධිකකොට පිඹීම ලාමකය. (අනර්ථය) සක් පිඹින්නාහු විසින් භෝගයෝ ලබන ලදහ. (අපගේ) පියා නැවත සක් පිඹින්නේ ඒ භෝගය විනාශ කෙළේය.”
එහි, “තෙ තතො විධමී ධමන්තී” ඔවුන් සක් පිඹ ලබන ලද ධනය මගේ පියා නැවත නැවත පිඹින්නේ, “විධමීති” පිඹි විනාශ කළේය. බුදුරජහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා අනු සන්ධි ගළපා ජාතකය නිමවා වදාළ සේක. එදා පියා අකීකරු භික්‍ෂුවයි. පුතා වනාහි මම ම වීමි.
සවැනි ආශංසන වර්ගයයි.
7. ස්ත්‍රී වර්‍ගය
1. අසාතමන්ත ජාතකය (61)
“අසා ලොකිත්‍ථියො නාමාති” යන යන මේ දේශනාව බුදුරජහු ජේතවනාරාමයෙහි වැඩ වසන සේක්, උකටලී භික්‍ෂුවක් අරභයා වදාළහ. එහි කථාව උම්මදන්ති ජාතකයෙහි මතු සඳහන් වන්නේය. ඒ භික්‍ෂුවගෙන් බුදුරජහු මහණ, ස්ත්‍රීහු නම් වංක ගති ඇත්තෝය. ඔවුන්ගෙන් සැප නැත්තෝය. කෙළවර සිටින්නෝය. නුඹ මෙවැනි පහත් ගති ඇති ස්ත්‍රියක නිසා කුමකට කලකිරුණේදැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.