7. වානරින්‍ද ජාතකය (57)
“යස්සෙතෙ චතුරො ධම්මාති” යන මේ ජාතක දේශනාව බුදුරජහු වේළුවනාරාමයේ වැඩ වාසය කරන සේක්, දෙව්දත් තෙරුන්ගේ ඝාතන ප්‍රයත්නයක් අරබයා දෙසූහ. එසමයෙහි බුදු රජහු දෙව්දත් තමා මැරීමට උත්සාහ කරතැ යි අසා මහණෙනි, දෙව්දත් මා මැරීමට උත්සාහ කළේ දැන් පමණක් නො වෙයි. පෙරත් උත්සාහ කෙළේ මය. එහෙත් තැති ගැන්වීම් පමණකුදු කිරීමට ඔහු අසමත් වීයැ යි වදාරා ඉකුත් වත දෙසූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරවන කල්හි බෝසත් තෙම වඳුරු යෝනියේ ඉපදී වැඩිවියට පත්ව අශ්ව පෝතකයකුගේ ප්‍රමාණ ශක්ති සම්පන්න වූයේ ඒකචාරී ව ගංතෙර වාසය කරයි. ඒ ගඟෙහි මැද කුඩා දූපතක් නොයෙක් ආකාර අඹ, කොස් ආදී ගෙඩි සහිත ගස්වලින් යුක්ත වූයේය. බෝසත් තෙම ඇත් බල ඇත්තේ ශක්ති සම්පන්න වූයේ ගඟේ මෙගොඩ සිට උඩ පැන ගඟ මැද එක් ගල් තලාවක් මතට එක්වර ම පනී. එතැනින් උඩ පැන ඒ දූපතට පනියි. එහි නොයෙක් ආකාර පලතුරු කා සවස ඒ ක්‍රමයට ම ආපසු ඇවිත් තමාගේ වාසස්ථානයේ වාසයකොට දෙවැනි දවසෙත් එ සේම කරයි. මේ ක්‍රමයට එහි වාසය කරයි.
එකල එක් කිඹුලෙක් තම අඹුව සමග ඒ ගඟෙහි වාසය කරයි. ඔහුගේ ඒ බිරිඳ එහා මෙහා යන බෝසතුන් දැක බෝසත්හුගේ හෘදය මාංශය ගැන දොළ දුකක් උපදවාගෙන කිඹුලාට කීවාය. හිමියනි, මට වනාහි, මේ වඳුරාගේ හෘදය මාංශය පිළිබඳ දොළක් උපන්නේය. කිඹුලා යහපත සොඳුරිය, ලබන්නීයැ යි කියා අද සවස ඌ කුඩා දූපතෙන් එන ගමන් ම අල්ලා ගන්නෙමි යි ගොස් ගල් තලාව මත හොත්තේය.
බෝසත් තෙම, දවසේ සැරිසරා සවස් කාලයෙහි කුඩා දූපතේ සිටිමින් ගල්තලාව බලා මේ ගල දැන් උස්ව පෙනෙයි. කුමන කාරණයක් නිසාදැ යි සිතුවේය. එහි වනාහි ජලය ප්‍රමාණය ද ගල් තලාවේ ප්‍රමාණය ද මනාව පිහිටි පරිදි ම වෙයි. ඒ නිසා මොහුට මෙබඳු අදහස් විය. අද මේ ගඟෙහි ජලය අඩු නො වෙයි. වැඩෙන්නේ ද නැත. එසේ නමුත් මේ ගල් තලාව ලොකු වී පෙනෙයි. කෙසේ හෝ මෙහි මා අල්ලා ගැනීමට කිඹුලෙක් හොත්තේ වෙයි. ඔහු විමසන්නෙමි යි එහි ම සිට ගල සමග කථා කරන්නාක් මෙන් එම්බා ගල, කියා පිළිතුරක් නො ලබන්නේ තුන් වරක් දක්වා ගලයැ යි කීවේය. කිම, ගල පිළිතුරක් දෙයි ද? නැවතත් ගලට වදාරා කිම, එම්බා ගල, අද මට පිළිතුරක් නො දෙන්නේදැ යි කීවේය. කිඹුලා අන් දිනවල ඒකාන්තයෙන් මේ ගල වඳුරාට පිළිතුරු දුන්නේය. දැන් මොහුට පිළිතුරක් දෙන්නෙමි යි සිතා කිම, පින්වත් වඳුර රජ යි කීවේය. නුඹ කවරෙක් ද? මම කිඹුලෙක්මි. කුමක් සඳහා මෙහි හුන්නේදැ යි නුඹේ හදවත බලාපොරොත්තුවෙනි. බෝසත් තෙමේ සිතුවේය. මට වෙන ගමන් මාර්ගයක් නැත. අද මා විසින් මේ කිඹුලා වංචා කළ යුතුයැ යි, ඉක්බිති, ඌට මෙසේ කීවේය. යහළු කිඹුලාණෙනි, මම ආත්මය නුඹට පරිත්‍යාග කරන්නෙමි. නුඹ කට දල්වාගෙන (විවරකොට) මා නුඹ සමීපයට ආ කල්හි ගන්නැ යි කිඹුලා කට විවර කළ කල්හි ඇස් පියවෙයි. හෙතෙම ඒ කාරණය නො සලකා කට විවර කෙළේය. ඉක්බිති, ඌගේ ඇස් වැසුණේය. හෙතෙම කට විවරකොට ඇස් පියාගෙන වැතුරුණේය. බෝසත් තෙමේ එසේ කළ බව දැන දූපතෙන් පැන ගොස් කිඹුලාගේ හිස පාගා එතැනින් පැන විදුලියක් මෙන් බබළන්නේ පරතෙර සිටියේය.
කිඹුලා ඒ අසිරිය දැක මේ වඳුරු රජු විසින් ඉතා පුදුම ක්‍රියාවක් කරන ලදැයි සිතා එම්බා වඳුරු රජ, මේ ලෝකයෙහි කරුණු සතරකින් යුක්ත වූ පුද්ගලයා පස මිතුරන් මැඩලයි. ඒ කරුණු සියල්ල ඔබ තුළ ඇතැ යි සිතමි යි කියා මේ ගාථාව කීවේය.
“යස්සෙතෙ චතුරො ධම්මා වානරින්‍ද! යථා තව,
සච්චං ධම්මො ධිතී චාගො දිට්ඨං සො අතිවත්තතීති”
“වානරේන්ද්‍රය, වාක් සත්‍යය, පරීක්‍ෂා ඥානය, ධෛර්යය, ත්‍යාගය යන මේ සතර ධර්මයෝ (සතර ගුණයෝ) තට මෙන් යමකුට විද්‍යාමාන වෙද්ද හෙතෙමේ සතුරා ඉක්මවා යේ. (සතුරා මැඩ පවත්වයි.)”
එහි “යස්සෙතෙ” යම්කිසි පුද්ගලයකුට, “එතෙ” දැන් කියයුතු දෙය ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දක්වයි. “චතුරො ධම්මා” ගුණ ධර්මයෝ සතරකි. “සච්චං” වාක් සත්‍යය, මගේ ළඟට එමි යි බොරු නො කියා ආවේ වෙමි යි, මෙය ඔබගේ වාග් සත්‍යයයි. “ධම්මො” විමසුම් නුවණයි. මෙසේ කළ කල්හි මෙනම් ප්‍රතිඵලයක් වන්නේයැ යි, එය ඔබගේ විමසුම් නුවණ වන්නේය. “ධිතී” නො සිඳුණු වීර්යයැයි කියනු ලැබේ. මේ ගුණය ද ඔබට ඇත්තේය. “චාගො” ආත්ම පරිත්‍යාගයයි. ඔබ ආත්මය පරිත්‍යාගකොට මා ළගට ආවෙහිය. එහෙත් මම ඔබ අල්ලා ගැනීමට නො සමත් වීමි. ඒ මගේ ම දෝෂයයි. “දිට්ඨන්ති” පස මිතුරාය. “සො අතිවත්තතීති” යම් පුද්ගලයකුට ඔබට මෙන් මේ ගුණ ධර්ම සතර ඇත්තේ ද හෙතෙම ඔබ මා ඉක්ම වූවාක් මෙන් තමාගේ පස මිතුරා ඉක්මවයි. මැඩ පවත්වයි.
මෙසේ කිඹුලා බෝසතුන්ට ප්‍රශංසාකොට තමාගේ වාසස්ථානයට ම ගියේය. බුදුරජහු මහණෙනි, දෙව්දත් මා නැසීමට උත්සාහ කළේ දැන් පමණක් නො වේ. පෙර ද උත්සාහ කළේ මයැ යි මේ දම් දෙසුම ගෙන හැර දක්වා අනුසන්‍ධි ගළපා ජාතකය නිමවූහ. එකල කිඹුලා නම් දෙව්දත්ය. ඔහුගේ බිරිඳ චිඤ්චා මානවිකාව වූවාය. වඳුරු රජ වනාහි මම ම වීමි.
8. තයෝධම්ම ජාතකය (58)
“යස්ස එතෙති” යන මේ දේශනාව ද බුදු රජහු වේළුවනාරාමයෙහි වැඩ වසන සේක්, ඝාතන ප්‍රයත්නයක් ම අරබයා වදාළ සේක.
පෙර බරණැස නුවර බඹදත් රජු රජ කරද්දී දෙව්දත් වඳුරු යෝනියෙහි ඉපදී හිමවත් පෙදෙසෙහි වඳුරු රැළක් පරිහරණය කරන්නේ තමන් නිසා උපන් වඳුරු පොව්වන්ගෙන් වැඩිවියට පත් වූවෝ වඳුරු රැළ පරිහරණය කරති යි බියෙන් දතින් සපා ඔවුන්ගේ අණ්ඩ කෝෂ උපුටා දමයි. එකල බෝධි සත්ත්වයෝ ද එම වඳුරු නායකයා නිසා ම එක් වැඳිරිය කුසෙහි පිළිසිඳ ගත්හ. එකල්හි ඒ වැඳිරිය ගැබ පිහිටි බව දැන ගැබ රැක ගන්නී, වෙනත් පර්වත පාදයකට ගියාය. පිරිපුන් ගැබ් ඇති ඇය බෝසතුන් වැදුවාය. හෙතෙම වැඩිවියට පැමිණ නුවණ ඇති වූයේ ශක්ති සම්පන්න වූයේය. බෝසත්හු එක් දවසක් මවගෙන් මෙසේ විචාළහ. මෑණියනි, මගේ පියා කොහිද? දරුව, අසවල් පර්වත පාදයෙහි වඳුරු රැළ පාලනය කරමින් වාසය කරයි. මෑණියනි, එසේ නම් මා ඔහු වෙත පමුණුවනු මැනවි. දරුව, පියා වෙත පැමිණවිය නො හැකිය. එහි ගිය විට ඔබගේ පියා තමා නිසා උපන් වානර පොව්වන් රළ පාලනය කරති යි බියෙන් දතින් සපා අණ්ඩ කෝෂ කඩා දමයි. මෑණියනි, මා ඔහු වෙත පමුණුවනු මැනවි. මම කළ යුත්ත දනිමි.