6. කඤ්චනක්ඛන්‍ධ ජාතකය (56)
“යො පහට්ඨෙන චිත්තෙනා” මේ ජාතක දේශනාව බුදුරජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, එක්තරා භික්‍ෂුවක් අරබයා දෙසූහ. සැවැත් නුවර වැසි කුල පුත්‍රයෙක් බුදුරජුන්ගේ දහම් අසා බුදුසසුනට බැතිමත්ව පැවිදි විය. ඔහුගේ ආචාර්ය උපාධ්‍යායවරු ශීලය හඳුන්වා දෙන්නාහු, ඇවැත්නි, ඒකාකාර ශීලය, දෙයාකාර ශීලය, තෙයාකාර ශීලය, සිව්, පස්, සය, සත්, අට, නව, දශාකාර ශීලය වශයෙන් ශීල බේද බොහෝ වේ. එ සේ ම මේ චුල්ල ශීලයය, මේ මජ්ඣිම ශීලයයි. මේ මහා ශීලයයි. මේ ප්‍රාතිමොක්‍ඛ සංවර ශීලයයි. මේ ඉන්‍ද්‍රිය සංවර ශීලයයි. මේ ආජීව පාරිශුද්ධි ශීලයයි, මේ පච්ච පටිසේවන ශීලයයි, ශීලය කියා දෙති. භික්‍ෂුව සිතන්නේ, මේ ශීලය ඉතා වැඩිය. මේ සියලු ශීල සමාදන්ව රැකීමට මම අසමත් වෙමි. ශීලය පුරන්න නො හැක්කෙමි. පැවිදි ව කවර ඵලයක් ද? මම ගිහි වී දානාදී පිං කරන්නෙමි. අඹුදරුවන් පෝෂණය කරන්නෙමි. මම මෙසේ සිතා ස්වාමීනි, මම සිල් රකින්ට නොහැකි වෙමි. නො හැකිවන්නට පැවිද්දෙන් කවර අර්ථයක් ද? ගිහි වෙමි. ඔබගේ පාසිවුරු ගනු මැනවැ යි කීය.
එසේ නම් ඇවැත්නි, බුදුරජුන් වැඳ යන්නැ යි ඔහු රැගෙන බුදුරජුන් හමුවෙහි දම් සභාවට ගියහ. බුදුරජහු දුරදී ම දැක මහණෙනි, අකැමැති භික්‍ෂුවක් බලයෙන් රැගෙන ආවහුදැ යි වදාළහ. ඔහු පිළිබඳ ස්වාමීනි, මේ භික්‍ෂුව මම සිල් රැකීමට නො හැකිවන්නෙමි යි සිවුරු පවරා දෙයි. එවිට අපි ඔහු රැගෙන ආමු. මහණෙනි, ඔබ කුමක් නිසා මේ භික්‍ෂුවට බොහෝ සිල් කියා දෙන්නාහු ද? යම් පමණක් මේ භික්‍ෂුව රකින්න හැක්කේ ද එපමණක් ම රකින්නේය. මෙතැන් පටන් ඔබ කිසිවක් නො කියන්න. මම මෙහි දී කළයුත්ත දන්නෙමි. එව මහණ, ඔබට බොහෝ සිල් අවශ්‍ය නැත. සිල් තුනක් පමණක් රකින්න හැකි ද? හැකිය ස්වාමීනි, එ සේ නම් ඔබ මෙතැන් පටන් කාය ද්වාරය, වචී ද්වාරය, මනෝ ද්වාරය යන ද්වාර තුන රැක ගන්න. කයින් පව් නො කරන්න. වචනයෙන් මනසින් නො කරන්න. දැන් යන්න. සිවුරු නො හරිනු. මෙම සිල් තුන පමණක් ම රක්ව. ඒ භික්‍ෂුව තුටු සිත් ඇත්තේව මැනවි ස්වාමීනි, මේ තුන් සිල් රකින්නෙමි යි බුදුරජුන් වැඳ ආචාර්ය උපාධ්‍යායන් සමග ම ගියේය. ඒ භික්‍ෂුව මේ තුන් ශීලය පුරන්නේ ම අවබෝධ විය. මගේ ආචාර්ය උපාධ්‍යායන් මට කියා දුන් ශීලය ද මෙපමණයැ යි ඔවුහු බුදු නො වූ නිසා මට අවබෝධ කැරවීමට අසත් වූහ. බුදුරජහු තමා උත්තරීතර ධර්ම රාජ වන බැවින් බුදු නුවණින් ඒ විවිධ වූ ශීලය තුන් දොරට ඇතුළත්කොට නියම කැරවූහ. බුදුරජහු ඒකාන්තයෙන් මට පිහිට වූහ යි විදසුන් වඩා කිහිප දිනක් ඇවෑමෙන් රහත් බවෙහි පිහිටියේය.
මේ පුවත දැන දම් සභාවෙහි රැස් වූ භික්‍ෂූහු ඇවැත්නි, ඒ භික්‍ෂුව බොහෝ සිල් රකින්න නො හැකිමි යි ගිහි වීමට සැරසුණු කල්හි සියලු ම සිල් තුන් කොටසකට ඇතුළත්කොට ගන්වා බුදුරජහු රහත් බවට පත් කළහ. අහෝ බුදුවරු නම් මහත් අසිරිමත් මනුෂ්‍යයෝයැ යි බුදුගුණ කියමින් හුන්හ. බුදුරජහු වැඩ මහණෙනි, දැන් කවර කථාවෙකින් හුන්නහුදැ යි විමසූහ. මෙබඳු කථාවෙනු යි කී කල්හි, විශාල ම බරක් වුව ද කොටස් වශයෙන් බෙදා දුන් විට සැහැල්ලු මෙන් දැනේ. පෙර ද නුවණැත්තෝ මහා රන් කඳක් එසවීමට නො හැකි කීහ. කොටස්කොට පහසුවෙන් ඔසවා ගියහ යි වදාරා ඉකුත් කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු එක් කුඩා ගමක ගොවියෙක් වූයේය. ඔහු දිනක් අත්හළ කුඩා කුඹුරක් සී සෑය. පෙර ඒ ගමෙහි ධනවත් සිටුවරයෙක් කළවා පමණ මහත් සිව් රියනක් දිග රන් කඳක් කුඹුරෙහි නිදන්කොට කලුරිය කළේය. එහි බෝසතුන්ගේ නගුල පැටළුණේය. බෝසත්හු ඒ මුල් ගොඩක් විය යුතුයැ යි සිතා පස් ඉවත් කරන්නේ, එය දැක පසින් වසා දවස ම සී සා හිරු බැස ගිය කල්හි ගොන් නගුල් ආදිය පසෙකින් තබා රන් කඳ ගෙන යන්නෙමි යි එසවීමට අසමත්ව පසෙක හිඳ සිතූහ. මෙපමණක් ජීවන වියදම් සඳහාය. මෙපමණක් නිදන්කොට තබමි. මෙපමණක් කර්මාන්ත සඳහා යොදමි. මෙපමණක් දානාදී පිංකම් සඳහා වන්නේයැ යි සතර කොටසට බෙදූහ. මෙසේ බෙදූ කල්හි රන් කඳ සැහැල්ලු විය. බෝසත්හු එය ඔසවා ගෙට ගෙන ගොස් කොටස් හතරකට බෙදා දානාදී පිංකම් කොට කම් වූ පරිදි මිය ගියහැ යි.
බුදුරජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා සම්බුදුන වූ සේක් ම, මේ ගාථාව වදාළහ.
“යො පහට්ඨෙන චිත්තෙන පහට්ඨමනසො නරො,
භාවෙති කුසලං ධම්මං යොගක්ඛෙමස්ස පත්තියා,
පාපුණෙ අනුපුබ්බෙන සබ්බ සංයොජනක්‍ඛයන්ති”
“යෝගක්ෂේමයට හෙවත් නිවනට පැමිණෙනු සඳහා දුරුකළ නීවරණයන් ඇති සිතින් (එහෙයින් ම) නිර්මල වූ සිත් ඇති යම් මනුෂ්‍යයෙක් කුශල ධර්මයන් වඩා ද හෙතෙමේ සියලු සංයෝජනයන්ගේ ක්‍ෂයයට හෙවත් රහත් ඵලයට පිළිවෙලින් පැමිණෙයි.”
එහි, “පහට්ඨෙනාති” විවෘත වූ, “පහට්ඨමනසොති” එම විවෘත වූ සතුටු වූ සිත් ඇත්තේ ස්වර්ණයක් මෙන් පැහැද දිදුලන ප්‍රභා සම්පන්න සිත් ඇත්තකු වී යන අර්ථයි.
මෙසේ බුදුරජහු රහත් බවෙන් කුළු ගන්වා මේ දේශනාව නිමවා අනුසන්‍ධි ගළපා ජාතකය නිම වූ සේක. එකල රන් කඳ ලැබූ පුරුෂයා නම් මම ම වීමි.