5. පඤ්චාවුධ ජාතකය (55)
“යො අලීනෙන චිත්තෙන” යන මේ ජාතකය බුදුරජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, හළ වීර්යය ඇති භික්ෂුවක් අරබයා වදාළහ. උන්වහන්සේ ඒ භික්ෂුව අමතා මහණ, ඔබ වීර්යය අත්හළේ සත්යයදැ යි විමසා සත්‍යයැ යි භාග්‍යවතුන් වහන්ස, කී කල්හි, පෙර නුවණැත්තෝ වීර්යය කිරීමට සුදුසු තැනදී වීරියකොට රජ සැපතට පත්වූහ යි වදාරා ඉකුත් වත දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසතාණන් ඒ රජුගේ අග මෙහෙසිය කුස උපන්හ. ඔහුට නම් තබන දිනයෙහි අටතුරා සියක් බමුණන් කැමැති සියලු දෙයින් සතප්පවා කුමරුගේ ලකුණු විචාළහ. ලකුණු සතරෙහි දක්ෂ වූ බමුණෝ ලකුණු සම්පත් පිරික්සා මහරජ, කුමරා පින්වත්ය. ඔබගේ ඇවෑමෙන් රජ වන්නේය. පංච ආයුධ කර්මයෙහි කැපී පෙනෙන්නේ ප්‍රකට ව දඹදිව ශ්‍රේෂ්ඨ පුරුෂයා වන්නේයැ යි ප්‍රකාශ කළහ. බමුණන්ගේ වදන් ඇසූ කුමරුට නම් තබන්නාහු. පඤ්චායුධ කුමාරයා යි නම් තැබූහ. පිය රජු සොළොස් වියෙහි සිටි ඔහු අමතා දරුව, ශිල්ප උගනුව යි කීය. පියාණෙනි, කවුරු ළඟ උගනිමි ද? දරුව, ගන්ධාර රට තක්සලා නුවරට යව. එහි දිසාපාමොක් ඇදුරුගේ ළඟ ශිල්ප උගනිවු යි ඔහුට ගුරු දීමනා වශයෙන් දෙන්නැ යි දහසක් දී පිටත් කළේය. කුමරා එහි ගොස් සිප්සතර හදාරා ගුරුන් විසින් දෙන ලද පංචායුධය ගෙන ගුරුන් වැඳ තක්සලා නුවරින් නික්ම පංචායුධයෙන් සැරසී බරණැස් නුවර මඟට පිවිසියේය.
එතුමෝ අතරමඟ සිලෙසලෝම නම් යකකු විසින් අරක් ගන්නා ලද වනයකට පැමිණියහ. වන මුවෙහි සිටි මිනිස්සු එතුමන් දැක පින්වත් තරුණය, මේ වනයට නො පිවිසෙනු මැනව. මෙහි ඇලෙන ලොම් ඇති යකකු ඇත. ඔහු දුටු දුටු මිනිසුන් මරතැ යි වැළකූහ. එහෙත් බෝසත්හු තමා ම තර්ක කරමින් නිර්භීත කේසර සිංහයකු සෙයින් වනයට පිවිසියෝ මය. බෝසතුන් වන මැදට පැමිණි කල්හි ඒ යක්ෂයා තල් ගසක් පමණ මැවී, කුළු ගෙයක් පමණ හිස හා පාත්‍රයක් පමණ ඇස් ඇතිව නෙළුම් අල මෙන් දළ දෙකක් මවා සුදු මුහුණින් හා ලප ඇති කුසින් යුතුව නිල්වන් අත් පා ඇත්තේ, බෝසතුන්ට තමා දැක්වීය. සිටුව, කොහි යන්නෙහි ද? මගේ භෝජනය වෙහි යි කීය. එවිට බෝසත්හු, යක්ෂය, මම මගේ පමණ දැන මෙහි පිවිසියෙමි. ඔබ අප්‍රමාද ව මා වෙත ආ යුතුය. විෂ පොවන ලද මේ ඊයෙන් විද ඔබ මෙතැන ම හෙළමි යි තැති ගන්වා හලාහල විෂ පෙවූ ඊයක් මුදා හැරියේය. ඊය යකුගේ ලොම්වල ඇලිණි. මෙසේ නැවත විදින්නාහු, ඊ පණසක් මුදාහළහ. ඒ සියල්ල ලොම්වල ඇලිණි. එවිට යක්ෂයා ඇඟ කිළිපොලා සියලු ම ඊ පාමුල හෙළා බෝසතුන් වෙත පැමිණියේය.
බෝසත්හු නැවතත් යකු බිය ගන්වා කඩුව ගෙන පහරක් ගැසීය. තෙතිස් අඟලක් දික් වූ කඩුව යකුගේ ලොම්වල ම ඇලිණි. ඊළඟට බෝසත්හු උලෙන් පහර දුන්හ. එය ද යකුගේ ලොම්වල ම ගැළිණි. මුගුරෙන් පහර දුනි. එය ද ලොම්වල ඇලිණි. ඔහු ඇලෙන බව දැන බෝසත්හු යකු අමතා යක්ෂය, මම පඤ්චායුධ කුමාරයා බව ඔබ නො ඇසූ විරූ ද? මා ඔබ අරක්ගත් මේ අඩවියට පැමිණියේ දුනු ආදී ආයුධ තකාගෙන නො වේ. තමා ගැන ම විශ්වාසය තබා පැමිණියෙමි. අද මම ඔබ අතින් තල සුණුවිසුණු කරන්නෙමි යි අධිෂ්ඨාන බව දක්වා ඝෝෂා කොට දකුණතින් පහරක් දුන්හ. අත ලොම්වල ඇලී ගියේය. මෙසේ වම් අතින් පහර දුන්හ. එය ද ඇලිණි. දකුණු පය ද වම් පය ද යක්ෂයාගේ ලොම්වල ඇලිණි. හිසින් යකු සුණුවිසුණු කරමි යි හිසින් පහර දුන්නේය. හිස ද ලොම්වල ඇලිණි. ඒ බෝසත්හු මෙසේ පස් තැනකින් ඔසවාගෙන පස් තැනකින් බැඳී යකුගේ සිරුරෙහි එල්ලෙමින් සිටිය ද අභීත ව අදීන ව සිටියහ.
යක්ෂයා මෙසේ සිතීය. මොහු වනාහි නාම මාත්‍රයෙන් පුරුෂයකු නො වේ. පුරුෂ සිංහයෙකි. ශ්‍රේෂ්ඨ පුරුෂයෙකි. මා වැනි යකකු විසින් අල්ලාගත් කළ පවා තැති ගැස්මක් නැත්තේය. මේ මඟෙහි දී මරන ලද පුරුෂයන් අතර මෙවැනි එක් පුරුෂයකුවත් නො දුටු විරූය. මොහු බය නො වන්නේ කුමක් නිසාදැ යි ඇසීය. මානවකය, ඔබ බය නො වීමට හේතුව කුමක් ද? යක්ෂය, මා බය වන්නේ කුමක් නිසා ද? එක් අත් බවක් තුළ එක් මරණයක් නියතමැ යි. ඒ හැරත් මගේ කුස තුළ වජිර (දියමන්ති) ආයුධයක් ඇත. ඉදින්, මා අනුභව කරන්නෙහි නම් එම ආයුධය දිරවන්න නො හැකි වන්නෙහිය. ඔබගේ අතුනු බහන් කඩ කඩ වී මරණයට පත් කරන්නේය. එ සේ වත් ම අපි දෙදෙනා ම නසින්නෙමු. මම මෙකරුණින් බය නො වෙමි යි, මෙහි දී බෝසත්හු තම අභ්‍යන්තරයෙහි ඇති ඥානය නැමැති ආයුධය සඳහා කීහ. ඒ අසා යක්ෂයා මෙසේ සිතී. මේ මානවකයා ඇත්තක් ම කියයි. මේ උතුම් පුරුෂයාගේ සිරුරින් මුං පියල්ලක් පමණ වූ හෝ මස් කැබැල්ලක, මගේ කුස තුළ දිරවන්න නො හැකි වන්නේය. මොහු මුදා හරිමි යි, මරණ බයින් තැති ගත්තේ, බෝසතුන් මුදා හැර මානවකය, ඔබ උතුම් පුරුෂයෙකි. ඔබගේ මාංශ මම නුබුදිමි. ඔබ අද රාහු මුවින් මිඳුණු සඳ මෙන් මගේ අතින් මිදී නෑ මිතුර මඩුල්ල සතුටු කරමින් යව යි කීය.