4. කිංඵල ජාතකය (54)
“නායං රුක්ඛො දුරාරූහොති” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, ගෙඩි වර්ග දැනීමෙන් දක්ෂ උපාසකයකු අරබයා දෙසූහ. සැවැත් නුවර වැසි කෙළෙඹියෙක් බුදුපාමොක් මහ සඟන තම උයනෙහි වඩා හිඳුවා කැඳ කැවිලි පිළිගන්වා උයන්පල්ලාට භික්ෂූන් සමග උයනෙහි හැසිර සංඝයාට අඹ ආදී නොයෙක් ගෙඩි ලබා දෙන ලෙස අණ කළේය. ඔහු ද මැනවැ යි පිළිගෙන භික්ෂූහු රැගෙන උයනෙහි හැසිරෙන්නේ, ගස දෙස බලා ම මේ ගෙඩිය අමුය. මෙය පැසුණේය. මේ මැනවින් පැසුණේයැ යි දනී. යමක් ඔහු කියයි ද ඒ එ සේ මය. මෙකරුණ භික්ෂූහු ගොස් බුදුරජුන්ට සැල කළහ. ස්වාමීනි, මේ උයන්පල්ලා ගෙඩි ගැන දක්ෂයෙකි. බිම සිටි සේ ම ගස දෙස බලා මේ ගෙඩිය අමුය. මෙය මැනවින් නො පැසුණේය. මෙය මැනවින් පැසුණේයැ යි දනී. යමක් ඔහු කියා ද එය එ සේ ම වෙයි. මහණෙනි, මේ උයන්පල්ලා ගෙඩි වර්ග පිළිබඳ දක්ෂයකු වූයේ දැන් පමණ නො වේ. පෙර ද නුවණැත්තේ ගෙඩි ගැන දක්ෂයෝ වූහ. ඉකුත් වත ගෙන හැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරන කල්හි බෝසත්හු සිටු කුලයෙහි ඉපිද වැඩිවිය පත්ව පන්සියයක් ගැල් යොදා වෙළඳාම් කරන්නෝ, එක් කලෙක බෝසත්හු මහමඟ වනයට පැමිණ වන මුව දොර සිට සියලු මිනිසුන් රැස්කැරවා මේ වනයෙහි විෂ ගස් තිබේ. එ සේ ම විෂ කොළ, මල්, ගෙඩි, මී ඇත. එම නිසා තොප විසින් පෙර පරිභෝග නො කරන ලද කොළයක්, මලක්, ගෙඩියක් මා නො විචාරා නො කෑ යුතුයැ යි කීහ. ඔවුහු ද ඒ මැනවැ යි පිළිගෙන වනයට පිවිසියහ. එක් වනය අද්දර ගම් දොරක කිම්ඵල නම් ගසක් ඇත. ඒ ගසෙහි කඳ, අතුරිති, මල්, ගෙඩි සියල්ලම අඹ ගසට සමානය. වර්ණයෙන් පමණක් නොව පැසුණු නො පැසුණු ගෙඩි ගඳ, රසයෙන් ද අඹ ගෙඩි සමාන විය. කෑ කල්හි හලාහල විෂයක් මෙන් එකෙණෙහි ම දිවි තොර කරයි. පෙරටුව ගිය සමහර කෑදර පුරුෂයෝ මේ අඹ ගසක්යැ හැඟීමෙන් කිම්ඵල කෑහ. සමහරු ගෙඩි ගෙන සාත්තු නායකයා විචාරා කමු යි අතින් ගෙන සිටියහ. ඔවුහු සාත්තු නායකයා පැමිණි කල ආර්යයෙනි, මේ අඹ ඵල කන්නෙමු යි විචාළහ. බෝසත්හු ඔවුන් අමතා දරුවනි, මේ අඹ නො වේ. නො කවු, ඔවුන් වළකා, යම් කෙනකු කෑ ද ඔවුන් වමනය කැරවීමෙන් චතුමධුර පොවා සුවපත් කළහ.
පෙර ද මිනිස්සු මේ ගස මුල නවාතැන් ගෙන අඹ ගෙඩියැ යි සිතා මේ විෂ ගෙඩි කා මරණයට පැමිණෙති. ගම් වාසීහු පසු දින නික්ම ඒ මළ මිනිසුන් දැක පාදයෙන් ගෙන මළ සිරුර කැලයට ඇද දමා ගැල් සමග ඔවුන් සන්තක දේ රැගෙන යති. මෙදින ද ඒ මිනිස්සු අරුණු නැගෙන වේලෙහිම අවුත් ගොනුන් මටය. ගැල මටය. මේ මේ භාණ්ඩ මටයැ යි කියමින් ගස ළඟට පැමිණ නිරෝගී ව සිටි මිනිසුන් දැක ඔබ මේ ගස අඹ නො වන බව කෙසේ දැන ගත්තහු ද? අපි නො දනිමු. අපේ ගැල් දෙටු නායකයා දැන ගත්හ යි කීහ. මිනිස්සු බෝසත්නු වෙත පැමිණ නුවණැත්තෙහි, ඔබ මේ ගස අඹ නො වන බව කෙසේ දත්තහු ද? මම කරුණු දෙකකින් ඒ දැන ගතිමි යි කියා මේ ගාථාව කීහ.