3. පුණ්ණපාති ජාතකය (53)
“තථෙව පුණ්ණාපාතියොති” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, විෂ සුරාවක් අරබයා දෙසූහ. එක් කලෙක සැවැත් නුවර සුරා සොඬහු රැස්ව කුමන්ත්‍රණ කළහ. අපගේ සුරා මුදල් අවසන් විණි. දැන් ඒ කොහෙන් ලබන්නෙමු ද? එහි සිටි සැර පරුෂ සොඬකු මෙසේ කීය. ඒ පිළිබඳ නො සිතවු. උපායක් ඇත. කවර උපායක් ද? අනේපිඬු මහසිටුහු රාජ්‍යය සේවයට යන්නාහු, ඇඟිලි මුදු පැළඳ මටසිලුටු වස්ත්‍ර ඇඳ යති. අපි රා බඳුනට සිහි නැතිවෙන බෙහෙතක් යොදා අවන්හලක් සදා සිටාණන් එන කල මහසිටුතුමනි, මෙහෙන් එන්නයැ යි කැඳවා ඒ සුරා පොවා සිහි නැති වූ කල ඇඟිලි මුදු හා සළු පැහැරගෙන අපගෙ සුරා මුදල සොයා ගනිමු. අනෙක් සුරා සොඬහු ද ඒ පිළිගෙන එ සේ කොට සිටාණන් එන වේලෙහි පෙර ගමන්කොට සිටුතුමනි, මෙහෙන් එන්න. අපගේ ළඟ ඉමිහිරි සුරා ඇත. මඳක් බී යන්නැ යි කීවාහුය. කිම, සෝවාන් වීමෙන් අරී සව්වකු වූ සිටුතුමා රහමෙර බොන්නේ ද? අවශ්‍යතාවක් නැතිව ද සිටුතුමා ඒ සුරා සොඬුන් නිග්‍රහ කරනු පිණිස අවන් බිමට ගොස් ඔවුන්ගේ කාර්යය ද බලා මේ සුරාව මොවුන් විසින් මෙවැනි කරුණකට යොදන ලද්දේයැ යි දැන මෙතැන් පටන් ඔවුන් මෙයින් පලවා හරින්නෙමි යි සිතා මෙසේ කීය. එම්බා ක්‍රෑර ධූර්තයෙනි, තොපි සුරා බඳුනට බෙහෙත් යොදා පැමිණියවුන්ට පොවා සිහිසුන්කොට මිනිසුන් පහරන්නෙහු යි අවන්හලක් සදා හුන්නාහු, හුදෙක් සුරාව අගය කිරීම පමණක් කරන්නාහුය. තොපගෙන් එකෙක්වත් මඳක්වත් බීමට නො පෙළඹෙන්නෙහිය. ඉදින්, මෙහි එවැනි බෙහෙතක් නො යොදන ලද නම් තොපිත් බොවුහ යි ඔවුන් තැතිගන්වා පලවා හැර තමාගේ ගෙට ගොස් ධූර්තයන් කළ කරුණ බුදුරජුන්ට දන්වන්නෙමි යි අටියෙන් ගොස් දැන්වීය. එවිට බුදුරජහු මහසිට, මේ සුරා සොඬහු දැන් ඔබ වංචා කිරීමට කැමැත්තෝ මුත් පෙර නුවණැතුන් පවා වංචා කිරීමට කැමැත්තෝ වූහ යි වදාරා ඔහු විසින් අයදනා ලද්දාහු, අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කැරවන සමයෙහි බෝසත්හු බරණැස් සිටුහු වූහ. එදා ද මේ ධූර්තයෝ එපරිද්දෙන් ම කුමන්ත්‍රණ කොට විෂ සුරා සකසා බරණැස් සිටු එන විට පෙර මඟට ගොස් පෙර මෙන් ම කීහ. එවිට සිටුතුමා නො කැමැති ව ඔවුන්ට පරිභව කරනු පිණිස ගොස් ඔවුන්ගේ කාර්යය ද බලා මේ සුරාව මොවුන් විසින් මෙවැනි කරුණකට යොදන ලද්දේයැ යි දැන පලවා හරින්නෙමි යි සිතා මෙසේ කීය. පින්වත් ධූර්තයනි, රජු වෙත යන විට සුරා පානය සුදුසු නො වේ. රජු බැහැ දැක එන විට බලමු. තොපි මෙහි ම හිඳුව යි කියා රාජ්‍ය සේවය අවසන්කොට ආපසු ආවේය. ධූර්තයෝ සිටුතුමනි, එනු මැනවැ යි ඇවිටිලි කළහ. සිටු ද එහි ගොස් බෙහෙත් යොදන ලද සුරා සැළ බලා ධූර්තයනි, තොපගේ ක්‍රියාපටිපාටිය මට රුචි නො වේ. තොපගේ සුරා සැළ පුරවන ලද පරිදි ම තිබේ. තොපි සුරාව අගය කරනවා පමණයි. නො බොන්නහුය. සුරා මෙතරම් මිහිරි නම් තොප ද බොවු. ඒකාන්තයෙන් මේ සුරා විෂ මිශ්‍ර විය යුතුයැ යි සුරා සොඬුන්ගේ මනදොළ සිඳිමින් මේ ගාථාව කීහ.
“තථෙව පුණ්ණාපාතියො අඤ්ඤායං වත්තතෙ කථා,
ආකාරකෙන ජානාමි න චායං භද්දිකා සුරාති”
“සුරා බඳුන් පිරී පවතී. සුරා අගයන වෙනත් කථා පවථී. පවතින ආකාරයෙන් මේ යහපත් සුරා නො වන බව දනිමි.”
එහි “තථෙව” මා පැමිණෙන කාලයෙහි දුටු පරිදි දැනුදු ඒ පාත්‍ර එලෙස ම පිරී පවතී. “අඤ්ඤායං වත්තතෙ කථා” තොපගේ යම් සුරා අගයන කථා බොරුවකි. සත්‍යයයෙන් තොරය. ඉදින්, මේ සුරා මිහිරි නම් තොප ද බිය යුතුයි. එ සේ නම් ඉතිරි වන්නේ අඩක් පිරුණු සුරා බඳුන්ය. තොපගෙන් එකකු විසින් හෝ මේ සුරා පානය නො කරන ලදි. “ආකාරකෙන ජානාමි” එම නිසා මේ ආකාරයෙන් දනිමි. “න චායං භද්දිකා සුරාති” මේ සුරා යහපත් නො වන්නේය. මේවා විෂ යෙදූ සුරා විය යුතුයි. මෙසේ ධූර්තයන් අල්ලාගෙන නැවත එවැන්නක් නො කරන ලෙස තර්ජනයකොට අත්හළය. ඔහු දිවි හිමියෙන් දානාදී පිං කොට කම් වූ පරිදි මිය ගියේය.
බුදුරජහු මේ ජාතක දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. එදා සුරා සොඬහු දැන් ධූර්තයෝ ම වූහ. බරණැස් සිටු මම ම වීමි.
4. කිංඵල ජාතකය (54)
“නායං රුක්‍ඛො දුරාරූහොති” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, ගෙඩි වර්ග දැනීමෙන් දක්‍ෂ උපාසකයකු අරබයා දෙසූහ. සැවැත් නුවර වැසි කෙළෙඹියෙක් බුදුපාමොක් මහ සඟන තම උයනෙහි වඩා හිඳුවා කැඳ කැවිලි පිළිගන්වා උයන්පල්ලාට භික්‍ෂූන් සමග උයනෙහි හැසිර සංඝයාට අඹ ආදී නොයෙක් ගෙඩි ලබා දෙන ලෙස අණ කළේය. ඔහු ද මැනවැ යි පිළිගෙන භික්‍ෂූහු රැගෙන උයනෙහි හැසිරෙන්නේ, ගස දෙස බලා ම මේ ගෙඩිය අමුය. මෙය පැසුණේය. මේ මැනවින් පැසුණේයැ යි දනී. යමක් ඔහු කියයි ද ඒ එ සේ මය. මෙකරුණ භික්‍ෂූහු ගොස් බුදුරජුන්ට සැල කළහ. ස්වාමීනි, මේ උයන්පල්ලා ගෙඩි ගැන දක්‍ෂයෙකි. බිම සිටි සේ ම ගස දෙස බලා මේ ගෙඩිය අමුය. මෙය මැනවින් නො පැසුණේය. මෙය මැනවින් පැසුණේයැ යි දනී. යමක් ඔහු කියා ද එය එ සේ ම වෙයි. මහණෙනි, මේ උයන්පල්ලා ගෙඩි වර්ග පිළිබඳ දක්‍ෂයකු වූයේ දැන් පමණ නො වේ. පෙර ද නුවණැත්තේ ගෙඩි ගැන දක්‍ෂයෝ වූහ. ඉකුත් වත ගෙන හැර දැක්වූහ.