9. නන්ද ජාතකය (39)
“මඤ්ඤෙ සොවණ්ණයො රාසීති” යන මෙය බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සේක්, සැරියුත් මහතෙරුන් වහන්සේගේ එකට හැසිරෙන භික්ෂුවක් අරබයා වදාළ සේක. ඒ භික්ෂුව වනාහි කීකරුය. කියන දේ ඉවසන්නේය. තෙරුන් වහන්සේට මහත් උත්සාහයෙන් උපකාර කරයි. ඉක්බිති එක් කලෙක තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසා චාරිකාවෙහි හැසිරෙන්නේ දක්ෂිණාගිරි ජනපදයට වැඩම කළ සේක. ඒ අතවැසි භික්ෂුව එහි ගිය තැන් පටන් මානයෙන් උදම් වූයේ සැරියුත් තෙරණුන්ගේ වචනය නො තකයි. ඇවැත්නි, මෙය කරව යි කී කල්හි තෙරණුවන්ට විරුද්ධ ව සිටියි. තෙරහු ඔහුගේ අදහස් නො දනිති. උන්වහන්සේ එහි චාරිකාවෙහි හැසිර නැවත දෙව්රමට වැඩියහ. ඒ අතවැසි භික්ෂුව එතැන් සිට නැවත පෙර මෙන් කීකරු විය. තෙරහු බුදුරදුන්ට සැලකළහ. ස්වාමීනි, මගේ එක් අතවැසි භික්ෂුවක් එක තැනක දී සියයක් දී ගත් දාසයකු මෙන් විය. තවත් තැනක දී මානයෙන් උදම් ව මෙය කරව යි කී කල්හි විරුද්ධ වෙයි. සාරිපුත්රය, මේ භික්ෂුව මෙම ස්වභාවය ඇත්තකු වූයේ දැන් පමණක් නොව, පෙරදී ද මොහු එක් තැනකට ගියේ සියයට ගත් දාසයකු මෙන් වෙයි. තවත් තැනකට ගියේ විරුද්ධ සතුරකු මෙනැ යි වදාරා තෙරුන් විසින් අයදින ලද්දේ අතීතය ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරන කල්හි බෝසත්හු එක්තරා කෙළෙඹි කුලයක පිළිසිඳ ගත්හ. ඒ බෝසතුන්ට යහළු කෙළෙඹියෙකු ද සිටියේය. ඔහු මහලුය. ඔහුගේ බිරිය තරුණය. ඈ ඔහු නිසා පුතකු ලැබුවාය. කෙළඹියා මෙසේ සිතීය. මේ තරුණ ස්ත්රිය තරුණකම නිසා මාගේ ඇවෑමෙන් යම්කිසි පුරුෂයකු ගෙන මේ ධනය විනාශ කරන්නීය. මගේ පුතාට නො දෙන්නීය. මම මේ ධනය නිදන්කොට තබන්නේ නම් මැනවැ යි එම නිවසෙහි සිටි නන්ද නම් දාසය රැගෙන වනයට ගොස් එක් තැනක ධනය නිදන්කොට දරුව නන්ද, මේ ධනය මගේ ඇවෑමෙන් මගේ පුතුට කියව. එ සේ ම මගේ පුතු අත් නො හරින්නැ යි අවවාද කොට කලුරිය කළේය.
ඔහුගේ පුතා ද පිළිවෙලින් වැඩිවියට පත්වූයේය. ඉක්බිති, ඔහුට මව කීවාය. දරුව, නුඹේ පියා නන්ද නම් දාසයා රැගෙන ගොස් ධනය නිදන් කළේය. ඒවා ගෙන්වාගෙන පවුල නඩත්තු කරව. හෙතෙම එක් දිනක් නන්දට කීවේය. මාමේ, මගේ පියා නිදන් කළ යම්කිසි ධනයක් තිබෙනවා ද? එසේය. ස්වාමීනි, එය නිදන් කරන ලද්දේ කොහි ද? වනයෙහිය, ස්වාමීනි. එ සේ නම් එහි යම් යි උදැල්ල හා කූඩය රැගෙන නිදානය ඇති තැනට ගොස් මාමේ ඒ ධනය කොහිදැ යි ඇසීය. නන්ද එහි ගොඩවී නිදානය මත සිට ධනය නිසා මානය උපදවා එම්බල දාසියගේ පුත්රය, වැඩකාරයා, මේ ස්ථානයේ නුඹේ ධනයක් කොයින්දැ යි කුමාරයාට බැණ වදියි. කුමාරයා ඔහුගේ රළු වචන අසා නෑසුනාක් මෙන් සිට එ සේ නම් යමු යි ඔහු රැගෙන ආපසු හැරී නැවත දෙතුන් දවසක් ඉක්මවා එතැනට ගියේය. නන්දයා එදින ද එ සේ බැණ වදියි. කුමාරයා ඔහු සමග නපුරු බස් නො කියාම ආපසු හැරී ආවේය. ඔහු මෙසේ සිතීය. මේ දාසයා මෙතැනට ධනය ඇති තැන කියමි යි යයි. ගිය පසු පරුෂ වචනයෙන් බැණ වදියි. මෙහි හේතුව නො දනිමි. මගේ පියාගේ යහලු කෙළඹියකු ඇත. ඔහුගෙන් අසා දැන ගනිමි යි. බෝසතුන් වෙත ගොස් ඒ සියලු පුවත් සැලකොට මෙහි හේතුව කුමක්දැ යි විචාළේය.
බෝසත්හු දරුව නන්ද, යම්කිසි තැනක සිට ඔබට බැණ වදින්නේ ද ඔබ පියාගේ ධනය ඇත්තේ ද එතනමයි. එහෙයින් යම් දවසක නන්ද යම් තැනක සිට ඔබට බැණ වදී ද එකල්හි, එම්බල දාසය, තෝ කුමකට මට ආක්රෝෂ කරහිදැ යි ඔහු බැහැරට ඇද දමා උදැල්ල ගෙන ඒ ස්ථානය හාරා කුල සතු ධනය ගෙන දාසයා ලවා එය ඔසවා ගෙන එව යි කියා මේ ගාථාව කීහ.
“මඤ්ඤෙ සොවණ්ණයො රාසි සොවණ්ණමාලා ච නන්දකො,
යත්ථ දාසො ආමජාතො ඨිතො ථුල්ලානි ගජ්ජතීති”
යත්ථ දාසො ආමජාතො ඨිතො ථුල්ලානි ගජ්ජතීති”