10. ඛදිරඞ්ගාර ජාතකය (40)
“කාමං පතාමි නිරයං” යන මේ ජාතකය බුදු රජුන් දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, අනේපිඬු මහසිටාණන් අරබයා වදාළහ. ඔහු වනාහි දෙව්රම් වෙහෙර සඳහා ම සූපණස් කෙළක් ධනය බුදුසසුනට පරිත්‍යාගකොට විසුරුවා බුදුන්, දහම්, සඟුන් තුන්රුවන හැර වෙනත් රුවනක් පිළිබඳ හැඟීමක් නූපදවා බුදුරජුන් දෙව්රම් වෙහෙර වසන කල්හි දිනපතා මහඋවටැන් තුනකට යයි. උදෑසන ම එක් වරක් යයි. උදේ ආහාරය ගෙන එක් වරක් ද සවස් භාගයෙහි එක් වරක් ද යයි. මේ අතර උවටැන් ද ඇත්තේය. එ සේ යන්නේ ද ළදරු සාමණේර දරුවන් කුමක් ගෙනෙන ලද්දේදැ යි මගේ අත බලන්නාහු, හිස් අතින් නො යන විරූය. උදෑසන යන විට කැඳ ගෙන්වාගෙන යයි. උදේ ආහාරයෙන් පසු යන විට ගිතෙල්, වෙඬරු, මීපැණි ආදිය ද සවස් භාගයෙහි සුවඳ මල් වස්ත්‍රාදිය ගත් අත් ඇතිව යයි. මෙසේ සිටු පිරිනැමෙන ධනයෙහි ප්‍රමාණයක් ඇත.
මේ හැර බොහෝ වෙළෙඳ ජනයා ද ලියකියවිලි ඇතිව අටලොස් කෝටියක පමණ ධනය ණයට ගත්හ. මහසිටු ඒවා ද ගෙන්වා නො ගනී. තවත් ඔහුගේ කුල සන්තක අටළොස් කෙළක් ධනය ගං ඉවුරෙහි නිදන්කොට තිබිය දී සුළඟින් හා ජලයෙන් ඉවුර බිඳී ගිය කල මහමුහුදට ගියේය. ඒවා ලෝහ සැලිවල බහා පියන් වසා තිබූ සෙයින් ම මුහුද පතුලෙහි පෙරළෙමින් තිබේ. භික්‍ෂූන් පන්සියයකට නිබඳ දන් පවතී. සිටු ගෙදර මහසඟනට සතර මංහන්දියක කළ පොකුණක් සමාන විය. සිටුතුමා මහසඟනට මව්පිය තනතුරෙහි සිටියේය. මේ නිසා ඔහුගේ ගෙදරට බුදුරජාණන් වහන්සේ ද වඩිති. අසූ මහා සව්වෝ ද වඩිති. වඩනා සෙසු භික්‍ෂූන්ගේ පමණ නැත. ඔහුගේ ගෘහය සත් මහල්ය. දොරටු සතකින් යුක්තය. එයින් සතර වැනි දොරටුවෙහි මිසදිටු දෙවියෙක් වසයි. බුදුරජුන් ගෙට පිවිසෙන විට තම විමනෙහි සිටීමට නො හැකිය. දරුවන් ගෙන බිමට බැස සිටී. අසූ මහා සව්වන් ඇතුළු සෙසු භික්‍ෂූන් පිවිසෙන විට ද නික්මෙන විට ද එ සේ ම කරයි. දෙවියා සිතීය. ශ්‍රමණ ගෞතමයන් හා සෙසු මහණුන් මෙම ගෙට පිවිසෙන විට මට සැපයක් නම් නැත. නිබඳ ව බිමට බැස සිටීමට ද නො හැකිය. එම නිසා මොවුන් මේ ගෙට නො පිවිසෙන ලෙස මාවිසින් කළයුතු වන්නේයැ යි දිනක් ඔහු අයකැමියා සයනගතව සිටිය දී ඔහු වෙතට ගොස් ආලෝක පතුරුවා සිටියේය. මෙහි කවුද? මම සිව් වැනි දොරටුවෙහි වෙසෙන දෙවියා වෙමි. මෙහි පැමිණියේ මක්නිසා ද? ඔබට සිටුගේ ක්‍රියා කලාපය නො පෙනෙන්නේ ද? තමාගේ සැප නොබලා ධනය ගෙනවුත් ශ්‍රමණ ගෞතමයන්ට ම පුදයි. වෙළඳාමට හෝ වෙනත් කර්මාන්තයකට ධනය නො යොදයි. ධනය තම කාර්යයන් සඳහා යොදන ලෙසත් අවවාද කරනු. යම් සේ ශ්‍රමණ ගෞතමයන් ඇතුළු සව්වන් මෙහි නො පිවිසෙද් ද එ සේ කරනු. ඔහු ඇයට මෙසේ කීය. මෝඩ දේවිය, සිටුතුමා ධනය වියදම් කරන්නේ නෛසර්ගික බුදු සසුනේය. ඉදින් ඔහු මගේ කෙස් වැටිය ගෙන විකුණුවත් මම කිසිවක් නො කියන්නෙමි. ඔබ වහා යනු. නැවත දිනක දෙවියා සිටුගේ දෙටු පුත් වෙත එළැඹ එ සේ ම අවවාද කළේය. ඔහු ද පෙර සේ ම දෙවියාට තර්ජනය කළේය. එහෙත් සිටු සමග කථා කිරීමට අසමත් වෙයි.
මෙසේ නිබඳ ව දන් දීම නිසාත් ව්‍යාපාරාදිය නො කිරීම නිසාත් සිටුගේ ආදායම අඩුවද්දී ධනය පිරිහී ගියේය. මෙසේ ක්‍රමයෙන් දිළිඳු බවට පත්වෙත් ම සිටුහුගේ සළුපිළි, යහන්, බොජුන් ආදිය ද පෙර පරිදි නො වීය. මෙසේ වද්දීත් මහසඟනට දන් දෙයි. පෙර මෙන් ප්‍රණීතකොට දීමට නො හැකි විය. දිනක් බුදුරජුන් වැඳ හුන් මහසිටුහුට මහසිටු, ඔබ ගෙදර නිබඳ දානය දෙනු ලැබේ ද? ස්වාමීනි, දෙනු ලැබේ. එහෙත් එය ඇඹුල් කැඳ දෙවැනිකොට නිවුඩු බත් පමණයි. මහසිටු, රළු ආහාරයක් දෙමි යි සිතෙහි පසුබැසීමක් ඇති කැර නො ගන්න. පහන් සිතින් බුදු, පසේ බුදු, බුදු සව්වන්ට දෙනදානය රළු නම් නො වේ. මක් නිසා ද මහත් විපාක ගෙන දෙන බැවිනි යි සිත පහන් කැර ගත හැක්කකුට රළු දානයක් නම් නැත. ඒ මෙසේ ද දත යුතුයි.
“නත්‍ථි චිත්තෙ පසන්නම්හි අප්පිකා නාම දක්‍ඛිණා,
තථාගතෙ වා සම්බුද්ධෙ අථ වා තස්ස සාවකෙ
න කිරත්‍ථි අනොමදස්සිසු පාරිචරියා බුද්ධෙසු අප්පිකා,
සුක්‍ඛාය ආලොණිකාය ච පස්ස ඵලං කුම්මාසපිණ්ඩියා”
“සිත පහන් කල්හි සම්බුදු තථාගතයන් වහන්සේට හෝ නැතිනම් උන්වහන්සේගේ සව්වන්ට හෝ පහන් සිතින් දෙනු ලබන දක්‍ෂිණාව (දානය) සුළු නො වේ.”
නිවන දන්නා වූ බුදු රජුන් විෂයයෙහි පිරිනැමෙන දානය ස්වල්ප නො වේ. වියලුණු ලුණු නැති පිට්ටු පිඬක් දුන් ඵලය බලව.
තවදුරටත් බුදුරජහු ඔහුට මෙසේ කීහ. ගැහැවිය, ඔබ රළු අහර දෙනු ලබන්නේ අට අරි පුඟුලන් හටය. මම ප්‍රමාණයෙන් මුළු දඹදිව නගුලින් කැණ සත්රුවන් දෙන්නේ, පස් මහා ගංගා එක ම දිය දහරින් පිරුණක් කොට තමන් මහා දන් පවත්වන්නේ, තෙරුවන් සරණ ගිය හෝ පන්සිල් රකිනා වූ හෝ කිසිවකු නො ලැබුවෙමි. දක්‍ෂිණාර්හයෝ සුලභ නො වෙති. එම නිසා මගේ දානය රළුයැ යි පසුබට කැර නො ගන්නයැ යි කියා වේලාම සූත්‍රය දෙසූහ.
ඉක්බිති, සිටුහු පොහොසත් කාලයෙහි කථා කිරීමට පවා අසමත්ව සිටි දෙවියා, දැන් දුගීබවට පත්ව ඇති හෙයින් දැන් මාගේ වචනය පිළිගනිතැ යි සිතා මැදියම් රැයෙහි සිරි යහන් ගැබට පිවිස ආලෝකය පතුරුවා අහසෙහි සිටියේය. සිටුහු ඒ දැක ඔබ කවරෙක්දැයි ඇසීය. මහා සිටුතුමනි, මම සිව් වැනි දොරටුවෙහි අරක්ගත් දෙවියා වෙමි. කුමකට ආවෙහි ද? ඔබට අවවාද දෙනු කැමැති ව ආමි. එ සේ නම් කියව. මහා සිටුතුමනි, ඔබ ජීවිතයේ පැසුලු කල ගැන නො සිතුවේහුමය. දූදරුවන් නො බැලුවෙහිය. බොහෝ ධනය ශ්‍රමණ ගෞතමයන්ගේ සසුනෙහි විසුරුවා ඇත. මෙසේ ඔබ පමණ ඉක්මවා ධනය වියදම් කිරීම නිසා ද නව කම් නො කිරීම නිසා ද ශ්‍රමණ ගෞතමයන් නිසා දුගියකු වූවෙහිය. එ සේ වීත් ඔබ ශ්‍රමණ ගෞතමයන් අත් නො හරින්නෙහිය. අදත් ඒ ශ්‍රමණයෝ ඔබ නිවසට පිවිසෙන්නාහුමය. යම් දෙයක් ඔවුන් විසින් ගෙන එනු ලබයි ද ආපසු ගෙන යාමට නො හැකිය. ගත් දෙය පමණක් වේ. මෙතැන් පටන් ශ්‍රමණ ගෞතමයන් වෙත ඔබ ද නො යනු මැනවි. ඔහුගේ සව්වන්ට ද ගෙට පිවිසීමට ඉඩ නො දෙනු මැනවි. ශ්‍රමණ ගෞතමයන් හමුවුව ද හැරී නො බලා තමාගේ වෙළඳාම ද කර්මාන්ත ද කොට පවුල් ජීවිතය සකස් කරනු මැනවි. මේ ඇසූ මහසිටු ඔබ මට දෙන අවවාදය මෙය ද? එසේය. මහ සිටුතුමා, දේවිය, තා වැනි දෙවියන් සියයකටවත් දහසකටවත් ලක්‍ෂයකටවත් බුදුරජුන් විසින් මා නො සැලෙන්නකු කරනු ලැබ ඇත. මගේ ශ්‍රද්ධාව මහමෙර මෙන් නො සෙල්විය හැකිය. මනාව පිහිටියේය. සත්‍යය මාර්ගය හෙළිකරන බුදුසසුනෙහි මා විසින් වියදම්කොට ඇත. ඔබ කියූ දේ නුසුදුසුය. බුදුසසුනට දුන් පහරකි. එවැනි ආචාර ධර්ම නො දත් දුසිල් කාලකන්නියකු සමග මාගේ එක ගෙහි වාසයක් නැත. මෙතැනින් නික්ම වෙනත් තැනකට යව.