8. බක ජාතකය (38)
“නාච්චන්ත නිකතිප්පඤ්ඤොති” යන යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, සිවුරු මසා පිළියෙල කරන භික්‍ෂුවකු අරබයා වදාළ සේක. එක්තරා දෙව්රම් වැසි භික්‍ෂුවකු සිවුරෙහි යම් කිසිවක් කළ යුතු ද? කැපීම, මැදීම, අනුපිළිවෙලට මැසීම ආදී කටයුතුවල දක්‍ෂයෙකි. හෙතෙම ඒ දක්‍ෂතාවෙන් සිවුරු පිළියෙල කරයි. ඒ නිසා සිවුරු මසා පිළියෙල කරන්නායැ යි ප්‍රසිද්ධ විය. ඔහු කරන්නේ කුමක් ද යත්, දිරාගිය රෙදිවල අත්තම් දක්වා මනා පහස ඇති, දැකුම්කළු, ප්‍රිය උපදවන සිවුරක් කොට පඬු පොවා අවසානයේ පිටි දියෙන් සායම් පොවා හක් ගෙඩියෙන් මැද බබළන මනෝඥ එකක්කොට බැහැර කරයි. සිවුරු සකස් කිරීම නො දන්නා භික්‍ෂූන් ලද අළුත් සළු ගෙන උන්වහන්සේ සමීපයට අවුත්, අපි සිවුරු සකසන්න නො දනිමු. අපට සිවුරක් කැර දෙනු මැනවි යි කියති. ඔහු ඇවැත්නි, සිවුරක් කිරීමට බොහෝ කල් ගතවෙයි. මා විසින් කලින් නිම කළ සිවුරු ඇත. මේ සළුව තබා ඒ සිවුරු ගෙන යනු මැනවැ යි ගෙනහැර දක්වත්. ඔහු ඒ සිවුරුවල පැහැය පමණක් දැක වෙනස නො දැක හොඳ සිවුරකැ යි යන හැඟීමෙන් නො කැපූ සළු සිවුරු සකසන්නාට දී ගෙන යත්. ඔවුහු මදක් කිලටි වූ කල ඒ සිවුර උණු දියෙන් සෝදන කල්හි සිවුරේ යථා තත්ත්වය පෙනේ. ඒ ඒ දිරුණු තැන් ද පෙනේ. එවිට ඔවුහු විපිළිසර වෙති. මෙසේ මේ භික්‍ෂුව පැමිණි පැමිණි භික්‍ෂූන් වස්ත්‍රවලින් වංචා කරන්නේ හැම තැන ම ප්‍රකට විය.
ජේතවනාරාමයේ දී මේ භික්‍ෂුව යම් සේ ප්‍රසිද්ධ වූයේ ද එ සේ ම එක් කුඩා ගමක සිවුරු සකසන භික්‍ෂුවක් ලෝකයා රවටයි. ඔහුගේ යහළු භික්‍ෂූහු ස්වාමීනි, ජේතවනාරාමයේ දී සිවුරු සකසන භික්‍ෂුව මෙසේ ලෝකයා රවටතැ යි සැලකළහ. ඉක්බිති මොහුට මෙබඳු අදහසක් ඇතිවිය. කෙසේ හෝ මම ඒ නගර වැසි භික්‍ෂුව රවටන්නෙමැ යි දිරා ගිය සිවුරක් ඉතා මනා සේ සකස් කොට මනාව පඬු පොවා එය පොරවා ගෙන දෙව්රමට ගියේය. අනෙක් භික්‍ෂුව එය දැක ලෝභ උපදවා ස්වාමීනි, මේ සිවුර නුඹ වහන්සේ විසින් කරන ලද්දක්දැ යි විචාළේය. ඇවැත්නි, එ සේය. ස්වාමීනි, මේ සිවුර මට දෙව. නුඹ වහන්සේට වෙන සිවුරක් ලැබෙන්නේය. ඇවැත්නි, අපි ගම් වැසියෝය, සිව්පසය ලැබීම දුර්වලයි. මෙය මම නුඹට දී මම කුමක් පොරවන්නෙම් ද? ස්වාමීනි, මා ළඟ නො කැපූ වස්ත්‍ර ඇත. ඒවා ගෙන ඔබ සිවුරක් කරවු. ඇවැත්නි, මා විසින් මෙහි අතෙහි දස්කම් දක්වන ලදි. නුඹ මෙසේ කියන කල්හි වෙන කුමක් කළ හැකි ද? එය ගන්නැ යි ඔහුට දිරාගිය කැබැලි සිවුර දී නො මැසූ රෙද්ද ගෙන ඔහු රවටා ගියේය. ජේතවනවාසී භික්‍ෂුව එය පොරවා කීප දිනකින් උණු දියෙන් සෝදන්නේ දිරාගිය කැබැලි සිවුරක් බව දැක ලජ්ජාවට පත්වූවේය. ගම් වැසි සිවුරු සකසන්නා විසින් දෙව්රම් වැසි භික්‍ෂුව රවටන ලදැ යි ඔහුගේ වංචනික භාවය සංඝයා මධ්‍යයෙහි ප්‍රකට විය.
ඉක්බිති, එක් දිනක් භික්‍ෂූහු දම් සභාවෙහි ඒ කථාව කියමින් හුන්හ. බුදුරජාණන් වහන්සේ වැඩමවා මහණෙනි, කවර කථාවකින් යුතුව මෙහි දුන්නාහුදැ යි විචාළ සේක. උන්වහන්සේලා ඒ කරුණ සැලකළාහුය. බුදුරජාණන් වහන්සේ මහණෙනි, දෙව්රම් වැසි සිවුරු සකසන්නා දැන් පමණක් අනුන් වංචා කළේ නො වේ. පෙරත් වංචා කළේමය. ගම් වැසි භික්‍ෂුව විසින් ද ජේතවනවාසී භික්‍ෂුව වංචා කරන ලද්දේ දැන් පමණක් නොව පෙරත් වංචා කරන ලද්දේයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස එක් වනගත පෙදෙසක බෝසතාණන් වහන්සේ එක්තරා පියුම් විලක් ඇසුරුකොට පිහිටි ගසෙක රුක් දෙවියෙක් වී උපන්නේය. එහි එක්තරා ඉතා මහත් නො වූ විලක නියං කාලයේ ජලය මද විය. එහි බොහෝ මත්ස්‍යයෝ වෙති. ඉක්බිති, එක් කොකෙක් ඒ මසුන් දැක එක් උපායකින් මේ මසුන් වංචාකොට කන්නෙමි යි ගොස් ජලය කෙළවර සිතමින් හුන්නේය. ඉක්බිති මාලුවෝ ඌ දැක කුමක් සිතමින් සිටින්නේදැ යි විචාළහ. නුඹලා ගැන සිතමින් හුන්නෙමි. යාළුව, අපි ගැන කුමක් සිතන්නෙහි ද? මේ විලේ ජලය ටිකය. ආහාරත් අඩුය. පෑවිල්ලත් විශාලය. දැන් මේ මත්ස්‍යයන් කුමක් කරන්නේදැ යි නුඹලා ගැන සිතමින් හුන්නෙමි යි කීවේය. යාළුව, ඉතින් කුමක් කරමු ද? තොප ඉදින් මාගේ කීම කරන්නහු නම් මම තොප එකිනෙකා මුව තුඩින් ගෙන එක්තරා පස් පියුමෙන් ගැවසී ගත්තා වූ ලොකු විලකට ගෙන ගොස් මුදා හරින්නෙමි. යාළුව, කල්පාරම්භයේ පටන් මසුන් ගැන සිතන කොකෙක් නම් නැත. නුඹ අපේ එකිනෙකා කනු කැමැත්තේ වෙහි ද? නුඹලා මා කෙරෙහි විශ්වාස ඇති කල්හි නො කන්නෙමි. ඉදින් වනාහි විලක් ඇති බැව් මගේ කීම අදහන්නේ නැති නම් එක් මසකු මා සමග විල බලන්න එවනු. මාලුවෝ ඔහුගේ කීම අදහා මේ තෙමේ දිය ගොඩ දෙකෙහි ම සමර්ථයකු යි එක් කණ මසකු දුන්නාහුය. මොහු රැගෙන යව යි කීවාහුය. හෙතෙම ඒ කණ මත්ස්‍යයා රැගෙනවිත් විලට අතහැර සියලු විල පෙන්වා නැවත ගෙනවුත් ඒ මසුන් ඉදිරියේ අතහැරියේය. ඌ ඔවුන්ට විලෙහි සම්පත් වර්ණනා කළේය. ඔවුහු උගේ කථාව අසා යනු කැමැති වී හොඳයි යාළුව, අප ගෙන යව යි කීවාහුය.