7. තිත්තිර ජාතකය (37)
“යෙ වද්ධමපචායන්තී” යන මේ ජාතකය බුදුරජුන් දෙව්රම් වෙහෙරට වඩින සේක්, සැරියුත් තෙරණුවන්ගේ සෙනසුන් වැළැකීම අරබයා දෙසූහ. අනේපිඬු මහසිටුහු විසින් විහාරය කැරවා දූතයන් යවන ලද කල්හි බුදුරජහු රජගහ නුවරින් නික්ම විශාලා නුවරට වැඩ එහි කැමැති කල් වැස සැවැත් නුවරට යන්නෙමි යි මහමඟට පිළිපන්හ. එකල්හි සවග මහණුන්ගේ අතවැසියෝ පෙරටුව ගොස් තෙරවරුන් සෙනසුන් නො ගත් කල්හි මේ සෙනසුන අපගේ උපාධ්‍යායන්ටයැ, මෙය ආචාර්යන්ටයැ, මෙය අපට ම වන්නේ යි සෙනසුන් වෙන්කොට ගනිත්. පසුව පැමිණි තෙරවරු සෙනසුන් නො ලබත්. සැරියුත් තෙරණුවන්ගේ අතවැසියෝ ද තෙරුන් සඳහා සෙනසුනක් සොයන්නාහු නො ලැබූහ. සැරියුත් තෙරණුවෝ සෙනසුනක් නො ලබන්නාහු, බුදුරදුන්ගේ සෙනසුන ළඟ ගසක් මුල සක්මනින් හා වාඩිවීමෙන් ගත කළහ. බුදුරජහු අළුයම් කල්හි නික්ම උගුර පෑදූහ. තෙරණුවෝ ද උගුර පෑදූහ. මේ කවරෙක් ද? ස්වාමීනි, මම සාරිපුත්ත වෙමි. සාරිපුත්ත, මේ වේලාවේ මෙහි කුමක් කරහි ද? තෙරණුවෝ සියලු පුවත් සැලකළහ. බුදුරජහු තෙරුන්ගේ කථාව අසා දැන් මා ජීවත් ව සිටියදී ම භික්‍ෂූහු ඔවුනොවුන් කෙරෙහි ගෞරවයක් සුවචබවක් නැතිව වෙසෙත්. මා පිරිනිවී කල්හි කුමක් කරන්නාහුදැ යි සිතත් ම ධර්ම සංවේගය පහළ විය.
එම රැය ඉකුත් වූ කල්හි බුදුරජහු බික්සඟන රැස් කැරවා මෙසේ දෙසූහ. මහණෙනි, සවග මහණුන් පෙරටුව අවුත් මහතෙරවරුන්ට සෙනසුන් වළක්වන බව සැබෑ ද? ස්වාමීනි, සත්‍යයයි. ඉක්බිති, බුදුරජහු සවග මහණුන්ට දොස් පවරා දැහැමි කථා පවත්වා භික්‍ෂූන් ඇමතූහ. මහණෙනි, කවරෙක් ප්‍රථම ආසනයට, ජලයට, ආහාරයට සුදුසු ද? රජ කුලයෙන් පැවිදි වූ තැනැත්තෝයැ යි සමහරු කීහ. බමුණු කුලයෙන්, ගැහැවි කුලයෙන් පැවිදි වූ තැනැත්තේයැ යි සමහරු කීහ. සමහරු විනයධරයා, ධර්ම කථිකයා, පළමු, දෙවැනි, තෙවැනි, සතර වැනි ධ්‍යාන ලාභියා, ෂට් අභිඥාලාභී පුද්ගලයා සුදුසු බව කීහ. මෙසේ භික්‍ෂූහු තමතමන් සිතැඟි පරිදි අග්‍ර ආසනාදියට සුදුසු පුද්ගලයා ප්‍රකාශ කළ කල්හි මහණෙනි, මගේ සසුනෙහි අග්‍ර ආසන ආදියට පත්වීමට රජ, බමුණු, ගැහැවි කුලයෙන් පැවිදි වීම ප්‍රමාණවත් නො වේ. විනයධර, සුත්තන්තික, ආභිධම්මික ආදී තනතුරු දැරීම හෝ ප්‍රථම ධ්‍යාන ආදී විශේෂ ගුණලාභී වීම හෝ සෝවාන් ආදී මගඵල ලැබීම හෝ ප්‍රමාණ නො වේ. මහණෙනි, මේ සසුනෙහි වැඩිමහලු පිළිවෙලින් වැඳීම, අසුනෙන් නැඟී සිටීම, ඇඳළි බැඳීම, ගරු කිරීම කළ යුතුයි. අග්‍රාසන, අග්‍රෝදක, අග්‍රපිණ්ඩ ලැබිය යුතුය. සසුනෙහි සුදුසුබව එයයි. එම නිසා වැඩිමහලු තෙරණුවෝ මේ සියල්ලට සුදුස්සෝ වෙති. මහණෙනි, සාරිපුත්ත තෙරණුවෝ මගේ අග්‍රශ්‍රාවක වෙති. මා අනුව දම්සක් පවත්වති. එම නිසා මට අනතුරු සෙනසුන ලැබීමට සුදුස්සෝ වෙති. එහෙත් ඔහු මේ රැය සෙනසුනක් නො ලැබ රුක් මුලක් අබියෙස රාත්‍රිය ගත කළහ. මහණෙනි, තොපි දැන්ම ම මෙසේ ගරු නැතිව, කීකරු නැතිව වසන්නහු, කල්යත් ම කුමක් කොට වසන්නහු ද? මෙසේ බුදුරදහු ඔවුන්ට ඔවාදෙනු පිණිස මහණෙනි, පෙර තිරිසන් සත්තු පවා ඔවුනොවුන්ට ගරු නො කොට කීකරු නො වී අසමාන පැවතුම් ඇතිව නො වසන්නමු නම්, එය අපට සුදුසු නො වේ. වැඩිමහළු අය ඇත. ඔහුට වැඳීම් ආදිය අප අතර කරන්නෙමු යි මනාව විමසා මේ අපගේ වැඩිමහළු අය යි දැන ඔහුට වැඳුම් ආදිය කොට දෙව්මඟ පුරවමින් ගියහ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර හිමවත පෙදෙස මහා නුග ගසක් ඇසුරුකොට වටුවෙක්, වඳුරෙක්, ඇතෙක්යැ යි යහළුවෝ තිදෙනෙක් විසූහ. ඔවුහු ඔවුනොවුන්ට ගරුසරු නැතිව, කීකරු නැතිව අසමාන ගති පැවතුම් ඇත්තෝ වූහ. ඉක්බිති ඔවුන්ට සිතිවිල්ලක් ඇතිවිය. අප මෙසේ විසීම සුදුසු නො වේ. අප අතුරින් වැඩිමහල්ලා යමකු ද ඔහුට වන්දනාමාන කැරෙමින් වෙසෙන්නෙමු යි. අපගේ වැඩිමහල්ලා කවරෙක්දැ යි සිතා දිනක් ඊට උපායක් ඇතැ යි තිදෙනා ම නුග ගස මුල හිඳ වටුවා ද වඳුරා ද ඇතාගෙන් විමසූහ. ඇත් යහළුව, ඔබ මේ නුග රුක කොපමණ කලක සිට දන්නේ ද? යහළුවෙනි, මා ඇත් පොව් කල මේ නුග පැළය කළවා අතර තබා යමි. මා මේ නුග පැළය යටකොට සිටි කල්හි මෙහි කෙළවර අත්ත නාභියෙහි ගැටෙයි. මෙසේ මම මේ නුග ගස කුඩා පැළය කල සිට දනිමි. නැවත අනෙක් දෙදෙනා වඳුරාගෙන් පෙර ගමන් ම විමසූහ. යහළුවනි, මම වඳුරු පැටියකුව සිටි කාලයෙහි බිම හිඳ ගෙළ දිගු නො කොට ම මේ නුග පැළයේ අග දළුව කමි. මේ අනුව මම මේ ගස පැළය කල සිට ම දනිමි යි කීය. අනතුරු ව ඉතිරි දෙදෙනා පෙර පරිදි ම වටුවාගෙන් ඇසූහ. යහළුවනි, පෙර අසවල් තැන මහත් නුග රුකක් විය. මම එම ගසෙහි ගෙඩි කා මෙතන වසුරු හෙළීමි. මේ නුග ගස එයින් හටගත්තේය. එම නිසා මම මේ ගස පැළවීමට පෙර සිට ම දනිමි. එම නිසා මම ඔබ දෙදෙනාට ම වඩා මහළු වෙමි.
මෙසේ කී කල්හි වඳුරා සහ ඇතා යහළුව, ඔබ අප දෙදෙනාට වඩා මහළු වෙහි. මෙතැන් පටන් අපි ඔබට ගරු සත්කාර, වන්දනාමාන, ඇඳිළි කම්, ළැදි කම්, උවටැන් කරමු. අපි ඔබගේ අවවාදයෙහි පිහිටමු. එතැන් පටන් වටුවා ඔවුන්ට අවවාද දුන්නේය. සීලයෙහි පිහිටුවීය. තෙමේ ද සීලයෙහි පිහිටියේය. මෙසේ ඒ තිදෙන පන්සිල්හි පිහිටා ඔවුනොවුන්ට ගරු සැලකිලි ඇතිව, සමාන පැවතුම් ඇතිව ආදර සහිත ව දිවි කෙළවර දෙව්ලොව ගියෝ වූහ. මේ තිදෙනාගේ සමගි වාසය “තිත්තිරිය බ්‍රහ්මචරියං” හෙවත් “වටුබඹසර” නම් වීය.
මහණෙනි, මෙසේ තිරිසන් සත්තු පවා ඔවුනොවුන් ආදර, ගරු සරු සහිත ව කීකරු ව විසූහ. තෙපි වනාහි මනාව දෙසූ සසුනෙහි පැවිදි ව ඔවුනොවුන්ට ගරු සරු නැති ව කීකරු නැති ව කුමක් නිසා වසන්නාහු ද? මහණෙනි, මෙතැන් පටන් මම තොපට වැඩිමහළු පිළිවෙල අනුව වැඳුම් පිදුම්, ඇඳිළි කම් කීම, නිවැරදි මඟ අනුදනිමි. මෙතැන් සිට මහළු පිළිවෙල අනුව මුලසුන, අග්‍රෝදක, අග්‍රපිණ්ඩ අනුගමනය කිරීම කළ යුතුය. නවක භික්‍ෂුව තෙරවරුන් ආසනයෙන් නො වැළැක්විය යුතුය. යම් භික්‍ෂුවක් එසේ වැළැක්වීම කළහොත් දුකුලා ඇවැතක් වේයැ යි, මෙසේ බුදුරදහු ධර්ම දේශනාව ගෙනහැර දක්වා මේ ගාථාව වදාළහ.