6. සකුණ ජාතකය (36)
“යං නිස්සිතා” යන මේ දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වසන්නාහු, දැවීගිය පන්සලක් ඇති භික්‍ෂුවක් අරබයා දෙසූහ. එක් භික්‍ෂුවක් බුදුරදුන් හමුවෙහි කමටහන් ලබාගෙන දෙව්රමින් නික්ම කොසොල් දනව්වෙහි පසල් ගමක් ඇසුරුකොට වන වෙසෙයි. ඔහු වස් විසූ පළමු මසයෙහි ම පන්සල දැවී ගියේය. ඔහු මාගේ පන්සල දැවී ගියේය. දැන් දුක සේ වේයැ යි මිනිසුන්ට කීය. මිනිස්සු, දැන් අපගේ කුඹුරු වියලී ඇත. කුඹුරුවලට වතුර බැඳ කරන්නෙමු යි කීහ. වතුර බැඳි කල්හි බීජ වී පැළ වූ කල්හි වැටක් බැඳ කරමු යි ද ඉන්පසු ධාන්‍යය වැට බැඳි කල්හි කපා පාගා කරමු යි මෙසේ එක එක කාර්යය පෙන්වමින් තුන් මස ම ගත කළහ. ඒ භික්‍ෂුව ද තුන් මස ම එළිමහනෙහි දුක සේ වෙසෙන්නේ, කමටහන වඩා ගුණ විශේෂයක් ඉපදවීමට නො හැකි විය. වස් පවාරණය කොට භික්‍ෂුව, බුදුරදුන් වෙත ගොස් වැඳ එකත් පසෙක හුන්නේය. බුදුරජහු ඔහු සමග පිළිසඳර කථාකොට මහණ, වස් කාලය සුව සේ විසුවෙහි ද? ඔබගේ කමටහන සඵල වූවෙහි දැ යි විමසූහ. මස්තකප්‍රාප්ත නො විණියැ යි කීය. මහණ, පෙර තිරිසන් සත්තු පවා සුදුසු නුසුදුසු කම් දැන සිටියහ යි සිතා කුමක් හෙයින් නො දත්තෙහි දැ යි කියා වදාරා ඉකුත් වත දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි බෝසත්හු කුරුළු යෝනියෙහි ඉපිද කුරුළු සමූහයා පිරිවරා මහා වනයෙහි අතුරිකිළි කොළ ගහණ මහා ගසක් ඇසුරුකොට වසති. ඉක්බිති එක් දවසක් ඒ රුකෙහි අතු දෙකක් එකිනෙක ගැටෙන කල්හි දුම් නගී. මේ දැක බෝසත්හු සිතූහ. මෙසේ මේ අතු දෙක ගැටෙත් ම ගිනි පිට වන්නේය. ඒ ගින්න වැටී වියලි කොළ ඇවිලී ගිනි ගනී. එතැන් පටන් ගස ම දැවෙන්නේය. අපට මෙහි විසිය නො හැකිය. මෙතැනින් අන් තැනකට පලා යා යුතු වන්නේය. ඉක්බිති, බෝසත්හු කුරුළු සමූහයා අමතා මේ ගාථාව කීහ.
“යං තිස්සිතා ජගතිරුහං විහඞ්ගමා ස්වායං අග්ගිං පමුඤ්චති,
දිසා භජථ වක්කඞ්ගා ජාතං සරණතො භයන්ති”
“කුරුල්ලන් යම් ගසක් ඇසුරුකොට විසුවාහු ද එය ම ගිනි විහිදුවයි. කුරුල්ලන් ඒ ඒ දිසාවට පලා යහු. අපට පිහිට වූ ස්ථානයෙන් ම බිය හටගැනිණි.”
එහි “ජගතිරුහං” ජගති නම් පොළොවයි. එහි හටගත් බැවින් ගස ද “ජගතිරුහං” යි කියනු ලැබේ. “විහඞ්ගමා” හි “විහ” යනු අහසයි. එහි ගමන් කරන කුරුල්ලා “විහඞ්ගමා” යි කියනු ලැබේ. “දිසා භජථ” මේ ගස හැර මෙයින් පලා යාම සඳහා සිව්දිසා ඇසුරු කරවු. “වක්කඞ්ගා” යි කුරුල්ලන් අමතයි. ඔවුහු හිස සහ ගෙල අවශ්‍ය විට ඒ මේ අතට ඇද කරති. එම නිසා “වක්කඞ්ගා” යි කියති. ඔවුන්ගේ දෙපසෙහි පියාපත් ඇති බැවින් ද මෙනම් වේ. “ජාතං සරණතො භයන්ති” අපට පිහිට වූ ගසෙන් ම බිය හට ගැනිණි. එවු. වෙන තැනකට යමු.
බෝසතුන්ගේ කීකරු නුවණැති කුරුල්ලෝ ඔහු සමග ම එකවර ම ඉගිලී අන් තැනකට ගියහ. එහි සිටි අනුවණ කුරුල්ලෝ මොහු දිය බිඳෙහිත් කිඹුලන් දකිතැ යි බෝසත් වදනය නො පිළිගෙන එහි ම විසූහ. නොබෝ දිනකින් බෝසත් සිතූ අයුරින් ම ගිනි හටගෙන ඒ ගස දැවිණි. දුම් හා ගිනිදැල් නැඟි කල්හි දුමින් අන්‍ධ වූ කුරුල්ලෝ අන් තැනකට පලා යාමට අසමත් වූහ. ගින්නට වැටී විනාශ වූහ.
මහණ, පෙර තිරිසන්නු පවා ගස් මුදුන්වල වසන්නාහු, තමාට සුදුසු නුසුදුසු තැන් දනිති. ඔබ කුමක් නිසා නො දත්තෙහි ද? බුදුරජහු මේ පුවත ගෙනහැර දක්වා සිව්සස් දෙසූහ. සිව්සස් කෙළවර ඒ භික්‍ෂුව සෝවාන් පෙලෙහි පිහිටියේය. බුදු රජහු පූර්වාපර සන්‍ධි ගළපා ජාතකය නිමා කළහ. කුරුල්ලෝ මේ බුදුපිරිස වූහ. නුවණැති කුරුල්ලා මම ම වීමි.