5. වට්ටක ජාතකය (35)
“සන්ති පක්ඛා” යන මේ දේශනාව බුදු රදුන් මගධ ජනපදයෙහි සැරිසරන සේක්, ලැව් ගිනි නිවීමක් අරබයා දෙසූහ. එක් කලෙක බුදුරදහු මගධ ජනපදයෙහි සැරිසරමින් එක් කුඩා ගමක පිඬු පිණිස හැසිර බතින් පසු සඟ ගණ පිරිවරා මඟට පිළිපන්හ. එකල්හි මහත් ලැව් ගින්නක් හට ගැනිණි. ඉදිරියෙන් පසුපසින් බොහෝ භික්ෂූහු වූහ. ගින්න ද දුම් කඳකින් යුතුව එක ම ජාලාවක් වී පැතිරෙමින් එන්නේය. එහි සිටි සමහර පුහුදුන් භික්ෂූහු මරණ බියෙන් බියපත් ව ගින්න නැවැත්වීම සඳහා විරුද්ධ ගිනි දෙමු යි ඉන් දැවුනු තැන වෙනත් ගින්නක් ඇති නො වේයැ යි ගිනි ගල ගෙන ගිනි දල්වති. සමහර භික්ෂූහු මෙසේ ඇසූහ. ඇවැත්නි, ඔබලා කුමක් කරන්නහු ද? අහස මැද සිටි චන්ද්‍රයා ද උදාගිරෙන් නැඟ එන දහසක් රැස් මඬලින් යුත් හිරු ද මුහුදු වෙරළ අසබඩ සිටියාහු මහ මුහුද ද මහමෙර ළඟ සිටියාහු මහ මෙර පව්ව ද නො දක්නවුන් මෙන් දෙවියන් සහිත ලෝකයෙහි අග පුඟුල් වූ බුදුරදුන් තමා සමග යන්නා වූ සම්මා සම්බුදුන් තෙවලා විරුදු ගිනි දෙමැ යි කියාවු ද? බුදු බල නො දන්නහු ද? එන්න. බුදුරදුන් වෙත යමු. ඉදිරියෙන් යන්නාහු ද පසු පසින් යන්නාහු ද සියල්ලෝ එක්ව බුදුරදුන් වෙත ගියහ. බුදුරදහු මහ සඟන පිරිවරා එක් පෙදෙසක වැඩ සිටියහ. ලැව් ගින්න අභිබවන්නාක් මෙන් හඬ නංවමින් එයි. එසේ බුදු රජුන් වැඩ සිටි තැනට අවුත් දියෙහි පා කරන ලද තණ හුලක් මෙන් නිවී ගියේය. සොළොස් ගිනි නිවුණු තැන සිට දෙතිස් කිරියක් පමණ තැන ඇවිලීමට නො හැක්කේ දියෙහි වූ තණ හුලක් මෙන් නිවීයයි.
භික්ෂූහු, අහෝ බුදු රජුන්ගේ ගුණ මහිමය. බුදු රජහු ඔවුන්ගේ කථාව අසා මහණෙනි, මේ මගේ අන් බලයක් නො වෙයි. මේ පෙදෙසට ම අවුත් ඒ ගින්න නිවෙයි. මේ මාගේ පැරණි සත්‍යය බලයකි. මෙම පෙදෙසෙහි මේ කප පවතින තුරු ගිනි නො ඇවිලෙන්නේය. මේ කපක් පවතින පෙළහරකි. ඉක්බිතිදු ආනන්ද තෙරණුවෝ බුදුරදුන්ට වැඩ සිටීම සඳහා දෙපර සිවුර සිව් ගුණකොට පැනවූහ. බුදුරදහු පළඟ බැඳ වැඩ සිටියහ. මහසඟන ද බුදුරජුන් වැඳ පිරිවරා වැඩ සිටියහ. ස්වාමීනි, දැන් මේ අපට ප්රකටය අතීතය වනාහි වැසී තිබේ. ඒ අපට ප්‍රකට කරනු මැනවැ යි භික්ෂූන් විසින් අයදන ලද බුදුරජහු අතීත පුවත ගෙන හැර දැක්වූහ.
පෙර මගධ රට එම ප්‍රදේශයෙහි ම මහබෝසත්හු වටු යෝනියෙහි පිළිසිඳගෙන බිජුවට පලා නික්මෙන්නාහු, මහ පන්දුවක් පමණ වටු පොව්වෙක් වූයේය. ඉක්බිති, මව්පියෝ ඔහු කැදැල්ලෙහි හොවා මුව තුඩින් ගොදුරු ගෙනවුත් දී පෝෂණය කරත්. ඔහුට පියා දිග හැර අහසින් ගමන හෝ පා ඔසවා ගොඩබිමින් ගමන් කිරීමේ ශක්තියක් හෝ නැත. එම පෙදෙසේ ද වසරක් වසරක් පාසා ලැව් ගිනි හට ගනී. මෙවර ද ලැව් ගින්න මහ හඬ නංවමින් එම පෙදෙසෙහි හට ගත්තේය. පක්ෂී සමූහයා තම තමන්ගේ කැදලිවලින් නික්ම මරණ බයින් බියපත් ව හඬමින් පලායත්. බෝසතුන්ගේ මව්පියෝ ද මරණයෙන් බියපත් වූයෝ බෝසතුන් දමා පලාගියහ. බෝසත්හු කැදැල්ලෙහි වැතිර සිටියෝ ම, ගෙල දිගුකොට බලන්නාහු, යටකැරගෙන එන ගින්න දැක සිතූහ. ඉදින්, මට පියා හඹා අහසින් වෙන තැනකට යාමේ බලය වේ නම්, උඩට පැන වෙන තැනකට යන්නෙමි. ඉදින්, පා ඔසවා පියවරෙන් යාමේ බලය ඇත්තේ නම් වෙනත් තැනකට යමි. මගේ මව්පියෝ ද මරණ බයින් බියපත් ව මා හුදකලාව අතහැර තමන්ගේ ආරක්ෂාව සඳහා පලාගියහ. දැන් මට වෙනත් පිළිසරණක් නැත. ආරක්ෂාව නැත්තෙක් වෙමි. අසරණ වෙමි. මා අද කුමක් කළ යුතු ද?
ඉක්බිති, බෝසතුන්ට මෙසේ සිතිණි. මේ ලෝකයෙහි සීල ගුණය ඇත. සත්‍යය ගුණය ද ඇත. අතීතයෙහි පෙරුම් දම් පුරා බෝමැඩ වැඩහිඳ සම්බුදු වූ සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දස්සන යනාදියෙන් හෙබි සත්‍යය, කරුණා, ක්ෂාන්ති ගුණයෙන් සපිරි සියලු සතුන් කෙරෙහි සමව පැවැති මෛත්‍රී භාවනා ඇති සියල්ල දත් බුදුවරුන් ද ලොව ඇත. ඔවුන් විසින් අවබෝධ කරන ලද දහම් ගුණ ද ඇත. ඒ කෙරෙහි ද එක ම සත්‍යය ගුණය ද ඇත. කැපී පෙනෙන එක් ස්වභාව ධර්මයක් පෙනේ. එම නිසා අතීත බුදුරදුන් ද උන්වහන්සේලා විසින් අවබෝධ කරන ලද ගුණ ද සිහිකොට මා කෙරෙහි විද්‍යාමාන වන සත්‍යය ස්වභාව ධර්මය ද ගෙන සත්‍යය ක්‍රියාකොට ලැව් ගින්න පසුබාවා අද මා තමාට සෙසු පක්ෂීන්ට ද සෙත සැලසීම කළ යුතුයි. එහෙයින් කියන ලදි.
“අත්ථී ලොකෙ සීලගුණො සච්චං සොචෙය්යනුද්දයා,
තෙන සච්චෙන කාහාමි සච්චකිරියමනුත්තමං
තෙන සච්චෙන කාහාමි සච්චකිරියමනුත්තමං
ආවජ්ජිත්වා ධම්මබලං සරිත්වා පුබ්බකෙ ජිනෙ,
සච්චබලමපස්සාය සච්චකිරියංඅකාසහන්ති”
සච්චබලමපස්සාය සච්චකිරියංඅකාසහන්ති”
“ලොව සීල ගුණය ඇත. සත්‍යය වචනය, චිත්ත පාරිශුද්ධිය, අනුකම්පාව යන ගුණධර්ම ද ඇත. මේ සත්‍යයෙන් උසස් සත්‍යය ක්‍රියාව කරමි.”
ධර්ම ශක්තිය සිහකොට පෙර බුදුවරුන්ගේ ගුණ සමරා ධර්ම බලයෙහි පිහිටා මම සත්‍යය ක්‍රියා කළෙමි.
ඉක්බිති, බෝසත්හු පෙර පිරිනිව් බුදුවරුන්ගේ ගුණ සිහිකොට තමා තුළ දක්නට ඇති සත්‍යය ස්වභාවය අරබයා සත්‍යය ක්‍රියා කරන සේක්, මේ ගාථාව කීහ.