4. මච්ඡ ජාතකය (34)
“න මං සීතං නමං උණ්හන්ති” යන මේ ජාතක දේශනාව බුදු රදුන් දෙව්රමෙහි වසන සේක්, පෙර කල බිරියගේ පෙළඹවීමක් අරබයා දෙසූහ. එකල බුදුරදහු ඒ භික්ෂුවගෙන් මහණ, ඔබ උකටළීවූවෙහි ඇත්ත ද? ස්වාමීනි, එ සේය. ඔබ උකටළී කරන ලද්දේ කවරකු විසින් ද? ස්වාමීනි, මා පෙර ගිහි කල බිරියයි. මිහිරි අත්පහස ඇති නිසා ඇය අත්හැරීමට නො හැක්කෙමි. ඉක්බිති, බුදුරදහු මහණ, මේ ස්ත්‍රිය අනර්ථකාරිය. පෙර ද ඔබ මේ ස්ත්‍රිය නිසා මරණයට කැපව සිටියදී මා වෙත පැමිණ මරණින් මිදුණේයැ යි අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර දඹදිව බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි බෝසත්හු ඔහුගේ පුරෝහිත විය. එදවස ධීවරයෝ නදියෙහි දැල දැමූහ. එකල එක් මහා මත්ස්‍යයෙක් ඇල්ම නිසා තමාගේ මැසින්න සමග ක්‍රීඩා කරමින් යන්නේය. මැසින්න පෙරටුව යන්නී, දැලෙහි ගඳ දැනී එය මඟ හරිමින් ගියාය. රතියෙහි ඇළුණු ලොල් මසු දැල තුළට ම පිවිසියේය. ධීවරයෝ මාළුවා එහි පිවිසි බව දැන දැල ඔසවා මසු ගෙන නො මරාම වැලි මත දමා මූ කිහිරි අඟුරෙහි පිස කන්නෙමු යි අඟුරු බස්සවති. උල් තනති. මසු කිහිරි අඟුරෙහි තැබීම හෝ හුලින් ඇනීම හෝ වෙන යම් දුකක් හෝ මා නො පෙළයි. යම් කිසි විදියකින් ඒ මැසින්න මා වෙනත් මැසින්නක් කරා ගියේයැ යි සිතා මා කෙරෙහි දොම්නසට පත් වේ ද එය ම මා පෙළයි. හඬමින් මේ ගාථාව කීය.
“න මං සීතං න මං උණ්හං න මං ජාලස්මි බාධනං,
යං ච මං මඤ්ඤතෙ මච්ඡි අඤ්ඤං සො රතියා ගතොති”
යං ච මං මඤ්ඤතෙ මච්ඡි අඤ්ඤං සො රතියා ගතොති”
“සීතල මා නො පෙළයි. උෂ්ණය නො පෙළයි. දැලෙහි බැඳීම ද මා නො පෙළයි. යම් හෙයකින් මා නො දකින මැසින්න හේ වෙන මැසින්නක සඳහා කාම රතිය පිණිස ගියේයැ යි සිතයි ද එය ම මා පෙළයි.”
එහි “න මං සීතං න මං උණ්හං” මසුන් දියෙන් ගොඩගත් කල සීතල වේ. දියට ගිය කල්හි උණුසුම් වේ. මේ දෙක ම සඳහා මට සීත හෝ උණුසුම පීඩා නො කැරේ යි, වැලපෙයි. කිහිරතුරෙහි පැසීම මුල්කොට දුක් ඇතිවෙයි. ඒ සඳහා ද මට උණුසුම පීඩාවක් නො වේ යි, වැලපෙයි. “න මං ජාලස්මි බාධනං” මා දැලෙහි බැඳීමක් වී ද එය ද මා නො පෙළයි. නො වැලපෙයි. මෙහි ලුහුඬු අදහස නම්, ඒ මැසින්න දැලෙහි බැඳුණු මා කෙවුලන් විසින් අල්ලා ගන්නා ලද බව නො දන්නී, මා නො දකින විට දැන් ඔහු වෙනත් මැසින්නක සමග කම් සුව පතා ගියේයැ යි සිතන්නී ද නො සතුටට පත් ඇගේ ඒ සිතුවිල්ල මා පෙළයි. වැලිතලාවෙහි වැතිරී සපමින් වැලපෙයි.
ඒ වෙලාවෙහි පුරෝහිතයා දස් පිරිස පිරිවරා නහනු පිණිස ගංතෙරට පැමිණියේය. ඔහු වනාහි සියල්ලන්ගේ හඬ දන්නෙකි. එහෙයින් ඔහු මසුගේ වැලපීම අසා මෙසේ සිතී ය. මේ මසු කෙලෙස් වසඟ ව හඬයි මෙසේ කැළඹුණු සිතින් මිය යන්නේ ද නිරයෙහි ම උපදින්නේ ය. මා මොහුට පිහිට වන්නෙමි. කෙවුලන් වෙතගොස් එම්බල, අපට තොපි එක දවසක්වත් ව්‍යඤ්ජන සඳහා මසකු නො දේවියැ යි කීය. ස්වාමීනි, කුමක් කියන්නහු ද? ඔබට කැමැති මසකු ගෙන යනු මැනවැ යි කියූහ. අපට අන් මසකුගෙන් කම් නැත. මේ මසුම දෙනු. ස්වාමීනි, ගනු මැනව. බෝසත්හු මසු දෙඅතින් ගෙන ගංතෙර හිඳ එම්බල මත්ස්යය, අද මා තා නො දැක්කේ නම් මරණයට පත්වන්නේය. දැන් මෙතැන් පටන් කෙලෙස් වසඟ නො වෙනු යි අවවාදකොට ජලයට මුදාහැර නගරයට ගියේය.