3. සම්මෝදමාන ජාතකය (33)
“සම්මොදමානා” යන මේ දේශනාව බුදු රදහු කිඹුල්වත ඇසුරුකොට නිග්‍රෝධාරාමයෙහි වසන්නාහු, සුඹුළු කලහයක් අරබයා දෙසූහ. ඒ පුවත කුණාල ජාතකයෙහි එන්නේය. එදා බුදුරදහු නෑයන් අමතා මහරජවරුනි, නෑයන් ඔවුනොවුන් අතර කලහය සුදුසු නො වේ. පෙර තිරිසන්නු පවා සමගි ව සිටි කාලයෙහි පසමිතුරන් අභිබවා සිටියහ. ඔවුනොවුන් අසමගි වූ කල්හි මහත් විනාශයකට පත්වූහ යි වදාරා නෑ රජුන් විසින් අයදනා ලදුව අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි බෝසත්හු වටු යෝනියෙහි ඉපිද නොයෙක් දහස් ගණන් වටුවන් පිරිවරා වනයෙහි වෙසෙහි. එකල වටු වැද්දෙක් වටුවන් වසන ස්ථානයන්ට ගොස් වටු හඬකොට ඔවුන් රැස්වූ බව දැන ඔවුන් මතුයෙහි දැල එළා දැලේ කෙළවර මඬිමින් සියල්ලන් එක්තැන්කොට පැස පුරවාගෙන ගෙට ගොස් වටුවන් විකුණා ලැබෙන මිලෙන් දිවි ගෙවයි. දිනක් බෝසත්හු ඒ වටුවන්ට කීහ. මේ වටු වැද්දා අපගේ නෑයන් විනාශ කරයි. වැද්දාට අප අල්ලා ගැනීමට නොහැකි වන එක් උපායක් මම දනිමි. මින්මතු වැද්දා තොප මතුපිට දැල දැමූ කල්හි එක එකා එක එක දැල් සිදුරෙහි හිස තබා දැල ඔසවා කැමැති තැනකට ගෙනගොස් කටු ලැහැබක දැල රඳවමු. මෙසේ ඇතිකල යටින් ඒ ඒ තැනින් පලා යන්නෙමු. වටු රැල ද මැනවැ යි පිළිගත්හ. දෙවැනි දවස්හි වැද්දා වටුවන් මතුපිට දැල එලූ කල බෝසතුන් කී පරිදි ම දැල ඔසවා එක් කටු ලැහැබක දමා දැල යටින් තැන් තැන්වලින් පලා ගියහ. කුරුළු වැද්දා කටු ලැහැඹින් දැල මුදා ගන්නා විට ම සවස් විය. ඔහු හිස් අතින් ම ගියේය.
දෙවැනි දවස් සිට ම වටුවෝ එසේ කරත්. හිරු බැස යන තෙක් දැල පමණක් දෙන්නේ කිසිවක් නො ලැබ හිස් අතින් ම ගෙදර යයි. වටු වැද්දාගේ බිරිය කිපී හැම දින ම ඔබ එන්නේ හිස් අතිනි. පිටත, තවත් ඔබට පෝෂණය කළ යුතු තැනක් ඇතිබව හැඟෙයි, කීවාය. වටු වැද්දා සොඳුර, එවැනි තැනක් මට නැත. එසේ වුවත් වටුවෝ ද සමගිව හැසිරෙති. මා ැදැල දැමූ කෙනෙහි ම ඔවුහු දැල ඔසවා ගෙනගොස් කටු ලැහැබක දමා ඉගිලී යත්. එහෙත් මොවුහු හැමදාම සමගිව සතුටින් නො හැසිරෙන්නෝය. එම නිසා දුක් නො වනු. ඔවුන් දබර වූ දාට සියල්ල ම රැගෙන තිගේ මුහුණ සිනහගන්වමින් එන්නෙමි කියා බිරියට මේ ගාථාව කීය.
“සම්මොදමානා ගච්ඡන්ති ජාලමාදාය පක්‍ඛිනො,
යදා තෙ විචදිස්සන්ති තදා එහින්ති මෙ වසන්ති”
“පක්‍ෂීහු දැල රැගෙන සතුටින් යත්. යම් දවසක ඔවුහු වාදවිවාද කරත් ද එදා මගේ ගොදුර බවට පත්වන්නාහ.”
“යදා තෙ විචදිස්සන්ති” යම් කලෙක ඒ වටුවෝ විවිධ මති මතාන්තර ඇත්තෝව වාද විවාද කෙරෙත් ද කලහ කරත් ද යන අර්ථයයි. “තදා එහින්ති මෙ වසං ති” ඒ කාලයෙහි ඒ සියල්ලෝම මගේ ගොදුර බවට එන්නාහ. එවිට මම ඔවුන් ගෙන තිගේ මුහුණ සන්තෝෂ කරමින් එන්නෙමි යි සිය බිරිය අස්වැස්සේය.
කීප දිනක් ඉක්ම යාමෙන් වටුවකු ගොදුරු බිමට බසින්නේ නො සැලකිලිමත්ව අනෙකුගේ හිස පෑගීය. එවිට අනිකා කවරෙක් මගේ හිස පෑගීදැ යි කිපියේමය. ඔහු පුන පුනා කියන්නාහු, ඔබ ම දැල ඔසවයි. ඔවුනොවුන් විවාද කළහ. මෙසේ මොවුන් දබර කරද්දී බෝසත්හු සිතූහ. දබර කිරීමෙහි යහපතක් නැත. දැන් ම ඔවුහු දැල නො උස්සන්නාහ. එයින් මහත් විනාශයකට පැමිණෙන්නාහුය. වටු වැද්දාට ඉඩක් ලැබෙන්නේය. අපි මෙහි විසීමට නො හැකි වන්නෙහි යි ඔහු තම පිරිස රැගෙන වෙන නා ගසකට ගියෙය්. වටු වැද්දා ද ටික දිනකට පසු අවුත් වඩු හඬින් හඬා ඔවුන් රැස් වූ කල්හි මතුපිට දැල එලීය. එවිට එක් වටුවෙක් තා දැල ඔසවන විට පියාපත් දෙකෙන් පිහාටු වැටිණි. දැන් ඔබ ම ඔසවනු යි කීය. මෙසේ ඔවුන් තෝ ඔසවනු, තෝ ඔසවනු යි කියමින් වාද කරද්දී ම වටු වැද්දා දැල ඔසවා ඒ සියල්ලන්ම එකතුකොට පැස පුරවාගෙන බිරිය සිනහ ගන්වමින් ගෙට ගියේය.
බුදුරදහු මහරජවරුනි, ඥාතීන් අතර කලහය නම් සුදුසු නො වේ. කලහය විනාශයට මුලමයැ යි මේ ධර්ම දේශනාව වදාරා ජාතකය නිමවූහ. එදින මෝඩ වටුවා දෙව්දත් විය. නුවණැති වටුවා මම ම වීමි.
4. මච්ඡ ජාතකය (34)
“න මං සීතං නමං උණ්හන්ති” යන මේ ජාතක දේශනාව බුදු රදුන් දෙව්රමෙහි වසන සේක්, පෙර කල බිරියගේ පෙළඹවීමක් අරබයා දෙසූහ. එකල බුදුරදහු ඒ භික්‍ෂුවගෙන් මහණ, ඔබ උකටළීවූවෙහි ඇත්ත ද? ස්වාමීනි, එ සේය. ඔබ උකටළී කරන ලද්දේ කවරකු විසින් ද? ස්වාමීනි, මා පෙර ගිහි කල බිරියයි. මිහිරි අත්පහස ඇති නිසා ඇය අත්හැරීමට නො හැක්කෙමි. ඉක්බිති, බුදුරදහු මහණ, මේ ස්ත්‍රිය අනර්ථකාරිය. පෙර ද ඔබ මේ ස්ත්‍රිය නිසා මරණයට කැපව සිටියදී මා වෙත පැමිණ මරණින් මිදුණේයැ යි අතීත කථාව ගෙනහැර දැක්වූහ.