2. නච්ච ජාතකය (32)
“රුදං මනුඤ්ඤන්ති” යන මේ දම් දෙසුම බුදු රදහු දෙව්රම් වෙහෙර වසන්නාහු, බොහෝ පිරිකර ඇති භික්‍ෂුවක් අරබයා දේශනා කළහ. කථා පුවත යට දේව ධර්ම ජාතකයෙහි කී අයුරුමැ යි. බුදුරදහු මහණ, ඔබ බොහෝ පිරිකර ඇත්තෙක් වූයේ සැබෑ ද? ස්වාමීනි, එසේය. මහණ, ඔබ කුමක් නිසා බහුභාණ්ඩික වූයෙහි ද? ඔහු මෙපමණක් අඳන සිවුර අතහැර නග්න ව බුදුරදුන් ඉදිරියේ සිටියේය. මිනිස්සු චී චී යි කීහ. ඔහු එතනින් පලාගොස් ගිහිබවට පත්විය. භික්‍ෂූහු දම් සභාවෙහි හුන්නාහු, බුදුරදුන් ඉදිරියේ මෙසේ කරන්නේදැ යි ඔහුගේ අගුණ කථාකළහ. බුදුරදහු වැඩ මහණෙනි, දැන් කවර කථාවකින් හුන්නාහුදැ යි භික්ෂූන්ගෙන් ඇසූහ. ඒ භික්‍ෂුව ඔබ වහන්සේ ඉදිරියේ, සිව්පිරිස් මැද හිරි ඔතප් අතහැර ගම් දරුවකු මෙන් නග්න ව සිටි මිනිසුන් විසින් පිළිකුල් කරනු ලබන්නේ, ගිහිබවට පෙරලී සසුනින් පිරිහුණේය. ඔහුගේ අගුණ කථා කරමින් හුන්නෙමු. මහණෙනි, ඒ භික්‍ෂුව විළිබිය නැති නිසා උසස් සසුනෙන් පිරිහුණේ දැන් පමණක් නො වේ. පෙර ද ස්ත්‍රී රත්නයක් නො ලැබීමෙන් පිරිහුණේයැ යි වදාරා ඉකුත් වත ගෙනහැර දැක්වූහ.
පෙර පළමු වැනි කල්පයෙහි සිව්පාවෝ සිංහයා රජබවට පත් කළහ. මත්ස්‍යයෝ ආනන්ද මත්ස්‍යයා ද පක්‍ෂීහු සුවර්ණ හංසයා ද රජ කළහ. ඒ හංස රජුගේ දියණිය වූ හංස පෝතාකාව අභිරූපවත් වූවාය. හංස රාජයා ඇයට වරයක් දුන්නේය. ඇය තමාට කැමැති හිමියකු තෝරා ගැනීමට කැමැති වූවාය. හංස රාජයා ඇයට වරය දී හිමවතෙහි සියලු පක්‍ෂීන් රැස්කැරවීය. නානාප්‍රකාර හස්, මොණර ආදී පක්‍ෂීහු එක්ව මහත් ගල්තලාවක රැස්වූහ. හස් රජු තමාට අබිමත හිමියකු පැමිණ තෝරා ගන්නැ යි දියණිය කැඳවීය. ඕ පක්‍ෂී සමූහය බලන්නී, මිණිවන් ගෙල ඇති විසිතුරු පිල් ඇති මොණරකු දැක මොහු මගේ ස්වාමියා වේවා යි කැමැති වූවාය. පක්‍ෂි සමූහයා මොණරා වෙත පැමිණ මෙසේ කීහ. යහළු මොණර, රජ දුව මෙපමණක් පක්‍ෂීන් මැද සැමියකු රුචිවන්නී ඔබ දැක්වූවාය. මොණරා අදවත් මගේ තරම නො පෙනෙත්දැ යි ඉතා සතුටින් විලිබිය හැර ඒ මහා පක්‍ෂි සමාගමෙහි පිළිවිහිදා නටන්නේ නො වැසුණු තැන් ඇත්තකු විය.
හස් රජ ලජ්ජාවට පත්ව මොහුට සිතෙහි ඇතිවන ලජ්ජාව හෝ බාහිරින් හටගන්නා බිය හෝ නැත. විලිබිය සිඳ දැමූ මොහුට මගේ දියණිය නො දෙමි යි පක්‍ෂී සමූහයා මැද මේ ගාථාව කීවේය.
“රුදං මනුඤ්ඤං රුචිරා ච පිට්ඨී, වෙළුරියවණ්ණූපනිභා ච ගීවා,
ව්‍යාමමත්තානි ච පෙඛුණාති, නච්චෙන තෙ ධීතරං නො දදාමීති”
“හඬ මනෝඥය. පිට නානාවර්ණයෙන් හොබනේය. ගෙල පෙදෙස වෙරළුමිණි පැහැ ඇත්තේය. පිල් කළඹ බඹයක් පමණ දිගය. එහෙත් නැටීම නිසා මගේ දියණිය ඔබට නො දෙමි.”
එහි “රුදං මනුඤ්ඤං” මෙහි ‘ත’ කාරයට ‘ද’ කාරය විය. රුතං විය යුතුයි. ස්වභාවයෙන් ලැබුණ නාදය මිහිරිය යන අර්ථයයි. “රුචිරා ච පිට්ඨි” ඔබගේ පිට පෙදෙස විසිතුරුය. පියකරුය. “වෙළුරියවණ්ණූපනිභා” ඔබගේ ගෙල බඳින ලද වෙළුරිය මිණිවන් වේ. “ව්‍යාමමත්තාන” බඹයක් පමණ වූ, “පෙඛුණාති” පිල්. “නච්චෙන තෙ ධීතරං නො දදාමීති” ලජ්ජා බය හැර නැටූ බැවින් ම මෙබඳු නිර්ලජ්ජිත වූ ඔබට දුව නො ලැබේ යි කියා ඒ පිරිස මැදට හොත් රජු තමාගේ ම බෑණා වන හස් පැටවකුට තම දියණිය පාවා දුන්නේය. මොණරා හස් දියණිය නො ලැබ ලජ්ජාවට පත්ව එතැනින් ඉගිලී පලා ගියේය. හස් රජු ද තම නිවහනට ම ගියේය.
බුදුරදහු මහණෙනි, මොහු විලිබිය බිඳ ශාසනයෙහි පිරිහුනේ දැන් පමණක් නො වේ. පෙර ද ඒ නිසා ස්ත්‍රී රත්න ප්‍රතිලාභයෙන් පිරිහුණේය ම වීයැ යි වදාරා මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා අනුසන්ධි ගළපා නිමවූහ. එකල මොණරා බහුභාණ්ඩික භික්‍ෂුව විය. හංස රාජයා මම ම වීමි.