1. කුලාවක ජාතකය (31)
“කුලාවකාති” යන මේ ජාතක කථාව බුදුරදුන් ජේතවනාරාමයෙහි වසන සේක්, නො පෙරන ලද ජලය පානය කළ භික්‍ෂුවක අරබයා දෙසූහ. යහළු භික්‍ෂු දෙනමක් සැවැත් නුවරින් ඈත දනව්වකට ගොස් බත් පහසු තැනක සිත් වූ පරිදි වැස බුදුරදුන් දකින්නෙමු යි, එයින් නික්ම දෙව්රම බලා ගියහ. එක භික්‍ෂුවක අත පැන් පෙරහනක් ඇත. අනික් භික්‍ෂුවට නැත. දෙදෙනා ම එකතුව පැන් පෙරා බොති. දිනක් ඔවුහු විවාහ කළහ. පෙරහන හිමි භික්‍ෂුව අනික් භික්‍ෂුවට පෙරහන නො දී තමා ම පැන් පෙරා පානය කළේය. අනික් භික්‍ෂුව පෙරහන නො ලැබ දරා සිටීමට නො හැකි ව නො පෙරා ම පැන් පානය කළේය. ඒ දෙදෙනා ම පිළිවෙළින් දෙව්රම් වෙහෙරට අවුත් බුදුරදුන් වෙත පැමිණ වැඳ හුන්හ. උන්වහන්සේ ඔවුන්ගෙන් සුවදුක් විචාරා කොහේ සිට පැමිණියහුදැ යි ඇසූහ. ස්වාමීනි, අපි කොසොල් රට එක් කුඩා ගමක වැස එයින් නික්ම ඔබවහන්සේ දකිනු පිණිස පැමිණියෝ වෙමු. ඔබ දෙදෙන සමගියෙන් ආවහු ද? පෙරහන නැති භික්‍ෂුව ස්වාමීනි, අතර මඟ දී මොහු මා සමග විවාදකොට මට පෙරහන්කඩය නො දුන්නේය. අනෙක් භික්‍ෂුව මෙසේ කීය. ස්වාමීනි, මේ භික්‍ෂුව නො පෙරා ම දැන දැන ප්‍රාණීන් සහිත පැන් පානය කළේය. මහණ සත්‍යය ද? නො පෙරා දැන දැන ප්‍රාණීන් සහිත පැන් පානය කළෙහි ද? ස්වාමීනි, එ සේය. මා විසින් නො පෙරා පැන් පානය කරන ලදි. මහණ, පෙර නුවණැත්තෝ දිව්‍යය නගරයක රාජ්‍යය කරවන්නාහු යුදයෙන් පැරදී මුහුද මතින් යන්නාහු, තම සම්පත් සඳහා ප්‍රාණ වධ නො කරෙන්නෙමු යි ඒ සා මහත් සම්පත් අතහැර ගුරුළු පැටවුන් වෙනුවෙන් තම ජීවිතය අතහැර රථය නැවැත්වූහ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර මගධ රට රජගහ නුවර එක් මගධ රජෙක් රාජ්‍යය කළේය. එකල බෝසත්හු දැන් සක්දෙවිඳු පෙර අත්බවෙහි මගධ රට මචල නම් කුඩා ගමක උපන්නේ ද, බෝසත්හු ද එම මචල ගමෙහි ම උසස් කුලයක පුතකු වී උපන්නේය. නම් තබන දවසෙහි ඔහුට මඝකුමාර යි නම තැබූහ. ඔහු තරුණ වියට පැමිණියේ මඝ මානවක නමින් හැඳින්විණි. ඉක්බිති ඔහුගේ මව්පියෝ සමාන ජාති ඇති කුලයකින් දැරියක ආවාහකොට දුන්හ. ඔහු දූපුතුන් සමග වැඩෙන්නේ දානපතියකු විය. පන්සිල් රකී. එම ගමෙහි කුල තිහක් වෙයි. ඒ තිස් කුලයක අයත් මිනිස්සු එක දවසක් ගම මැද එකතු ව ගමෙහි කටයුතු කරත්. බෝසත්හු තමා සිටි තැන පයින් පස් විසුරුවා ඒ පෙදෙස සිත් ගන්නක් කොට සිටියේය. ඉක්බිති වෙනත් අයෙක් අවුත් එතැන සිටියේය. බෝසත්හු වෙනත් තැනකට ගොස් එතැන ද සිත් ගන්නා තැනක් කොට සිටියේය. එතැන ද අනෙකෙක් සිටියේය. බෝසත්හු වෙනත් තැනක් රමණීය තැනක් කොට සිටියේය. එතැන ද අනෙකෙක් සිටියේය. මෙසේ සියල්ලන් සිටි තැන් ම රමණීයකොට පසු කලෙක එහි මණ්ඩපයක් කරවීය. මණ්ඩපය ඉවත්කොට ශාලාවක් කරවීය. එහි දැව අසුන් අතුරා පැන් සැළියක් තැබීය.
පසු කලෙක ඒ තිස් ජනයෝ බෝසතුන් හා සමාන අදහස ඇත්තෝ වූහ. බෝසත්හු ඔවුන් පන්සිල්හි පිහිටුවා එතැන් සිට ඔවුන් සමග පින්කම් කරමින් හැසිරෙති. ඔවුහු ද ඔහු සමග පින් කරමින් අළුයම් වේලෙහි නැඟිට වෑ පොරෝ මොහොල් ගත් අත් ඇති ව සිව්මං සැල් ආදියෙහි මොහොලෙන් ගල් උගුලා පෙරලත්. ගැල්හි අත්ල ගැටෙන ගස් බැහැර කරත්. විසම තැන් සම කරත්. හේදඬු අතුරත්. පොකුණු සාරති. ශාලා කරත්. දන් දෙත්. සිල් රකිත්. මෙසේ බෙහෙවින් ගම්වැසි සියලු දෙන බෝසතුන් අවවාදයෙහි පිහිටා සිල් රැක්කෝය.
ඉක්බිති ඔවුන්ගේ ගම්පති තෙම සිතීය. පෙර මොවුන් සුරා බොන කල්හි ප්‍රාණ වධ ආදිය කරන කල්හි එක සුරා සැලියට කහවනුව ආදී වශයෙන් ද දඩ මුදල් වශයෙන් ද මම ධනය ලබමි. දැන් මඝ මානවක සිල් රක්වමි යි ඔවුන්ට ප්‍රාණ වධ ආදිය කරන්න ඉඩ නො දේයැ යි කිපී දැන් මම ඔවුන් ලවා පන්සිල් රක්කවමි යි රජු වෙත ගොස් දේවයිනි, බොහෝ සොරු ගමේ මිනී මැරුම් ආදිය කරමින් හැසිරෙති යි කීහ. රජු ඒ වචනය අසා යව. ගොස් ඔවුන් අල්ලාගෙන එව යි කීය. ගම් දෙටු ගොස් ඔවුන් සියල්ලන් ම බැඳගෙන අවුත් දේවයිනි, සොරුන් ගෙන එන ලද්දේයැ යි රජුට දැන්වීය. රජ ඔවුන් කළ දේ නො විමසා ම ඔවුන් ඇතු ලවා මඩව යි කීය. ඉක්බිති ඔවුන් සියල්ලන් ම රජ මිදුලෙහි හොවා ඇතා ගෙන ආවේය. බෝසත්හු ඒ සියලු දෙනාට ම අවවාද දුන්හ. තොපි සිල් සිහි කරවු. කේළාම් කී අය කෙරෙහි ද රජු කෙරෙහි ද ඇතු කෙරෙහි ද තමා හා සමානකොට මෙත් සිත් වඩවු. ඔවුහු ද එසේ කළහ. අනතුරුව ඔවුන් මැඩීම සඳහා ඇතු ළඟට ගෙනාවේය. ඔහු ඇදගෙන ආ නමුදු ළං නො වෙයි. මහත් සේ නාදකොට පලායති. එකිනෙකා ඇතකු බැගින් ගෙන ආවේය. ඔවුහු එ සේ ම පලාගියහ.