9. කණ්හ ජාතකය (29)
“යතො යතො ගරුධුරන්ති” යන මේ ජාතකය බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වසන සේක්, යමා මහපෙළහර අරබයා දේශනා කළහ. බුදුරදහු දෙව්ලොව වැඩීම පිළිබඳ කථාපුවත තෙළෙස් වැනි නිපාතයෙහි සරභමිග ජාතකයෙහි එන්නේය. බුදුරදුන් යමා මහපෙළහර කොට දෙව්ලොව වැස් වැස මහා පවාරණය සඳහා සංකස්ස නුවර දොර බැස මහත් පිරිවර සමග දෙව්රමට පිවිසි කල්හි, භික්‍ෂූහු දම් සභාවෙහි රැස්ව ඇවැත්නි, තථාගතයෝ වනාහි අන් අයට සම කළ නො හැකි භාර උසුලන්නාහ. උන්වහන්සේ ඉසුලූ භාරය උසුලන්න අන් සමතකු නැත. ෂට් ශාස්තෲවරු අවම පෙළහර පාන්නෝය. අපි ම පෙළහර පාන්නෙමු යි කියා එක ද පෙළහරක් නො පෑහ. ඒකාන්තයෙන් බුදුරජාණෝ අසමධුරයැ යි බුදුගුණ කියමින් සිටියහ. බුදුරදුන් දම් සභාවට වැඩ මහණෙනි, දැන් කවර කථාවකින් හුන්නාහුදැ යි විමසූහ. ස්වාමීනි, අනිකකින් නො වේ. ඔබවහන්සේගේ මෙබඳු වූ අසමධුර ගැන කථාවෙනි. මහණෙනි, මා දැන් උසුලන ධුරය කවරකු උසුලන්නෙහි ද? පෙර තිරිසන් යෝනියෙහි ඉපද මා හා සමාන ධුර ඇති කිසිවකු නො වූයේයැ යි අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු ගව යෝනියෙහි පිළිසිඳ ගත්හ. ඔහු තරුණ වසු කාලයෙහි ම ඔහුගේ හිමිකරුවෝ එක් මැහැලියකගේ ගෙහි වැස නිවාස වේතනය වශයෙන් සලකා ඇයට දුන්හ. මැහැලිය වසු, පුතකු වශයෙන් සලකා කැඳ බත් දීමෙන් පෝෂණය කළාය. මැහැලිය, ගොනා කාළක නමින් හැඳින්වීය. වියට පැමිණෙත් ම කාළක අඳුන්වන්ව ගමෙහි ගොනුන් සමග හැසිරෙයි. සීලාචාරයෙන් යුක්ත විය. ගම් දරුවෝ අංවල ද කන්වල ද ගෙලෙහි ද එල්ලෙත්. නගුට ගෙන සෙල්ලම් කරති. පිටෙහි හිඳිත්. කාළක දිනක් සිතන්නේ, මගේ මව දුප්පත්ය. මා පුත් තනතුරෙහි තබා පෝෂණය කළාය. මම කිසියම් කුලියක්කොට මැය දුගී බවින් මුදවන්නේ නම් මැනවි. එතැන් සිට කාළක කුලියක් සොයමින් හැසිරෙයි.
දිනක් ගැල් නායක පුතෙක් ගැල් පන්සියයක් ගෙන විසම (මට්ටම් නො වූ) තොටකට පැමිණියේය. ගොන්හු ගැල් එතර කිරීමට අසමත් වූහ. ගැල් පන්සියයේ ම ගොන්නු යුගල වශයෙන් යෙදුව ද එක් ගැලක් හෝ එතැර කිරීමට නො හැකි වූහ. බෝසත්හු ද ගම් ගොනුන් සමග තොට සමීපයෙහි හැසිරෙයි. ගැල් නායක පුත්‍රයා ද ගව ශාස්ත්‍රය දන්නෙකි. ඔහු ගොනුන් අතර මේ ගැල් එතර කිරීමට සමත් ආජානීය ගවයකු සිටීදැ යි විමසන්නේ බෝසතුන් දැක මේ ආජානීය ගොනෙකි. මගේ ගැල් එතැර කරන්න ඔහුට හැකි වන්නේයැ යි සිතා සගයෙනි, මොහුගේ අයිතිකරු කවුරුදැ යි විචාළේය. මම මොහු ගැල්වල යොදා එතර කළ කල්හි කුලිය දෙමි යි කීය. දැන් මෙහි ඔහුගේ හිමියා නැත. ඌ යොදා ගන්න. ගැල්කරු නාසු ලණුවෙන් බැඳ අදින්නේ නමුත් සෙලවීමට නො හැකි විය. බෝසත්හු කුලිය නියම කළ කල්හි යමි යි නො ගියහ. ගැල් නායක පුත්‍රයා බෝසත්හුගේ අදහස දැන යහළුව, ඔබ ගැල් පන්සියය එතර කළ කල්හි එක ගැලකට කහවණු දෙක බැගින් කුලිය කොට දහසක් දෙමි යි කීය. එවිට බෝසත්හු තෙමේ ම ගියහ. ඉක්බිති මිනිස්සු කාළක ගැල්හි යෙදූහ. ඔහු එක වේගයෙන් ම පැල ඔසවා ගොඩ තැබීය. මේ ක්‍රමයෙන් සියලු ම ගැල් තොටින් එතැර කළේය.
අනතුරුව ගැල් නායක පුත්‍රයා එක ගැලකට එක කහවණු වන සේ කුලියකොට කාළකගේ ගෙල බැන්දේය. එවිට කාළක, මොහු තීරණය කැරගත් වේතනය නො දෙයි. මොහුට යන්න නො දෙමි යි එක සේ සියල්ලට පෙරටුව තිබූ ගැල ඉදිරියේ මග අවුරා සිටියේය. ඔහු එලවීමට තැත් කළ ද නො හැකි විය. ගැල් නායක පුත්‍රයා මොහු තමාගේ කුලිය අඩුබව දැනගත්තේයැ යි සිතා රෙදි කඩක දහසක් බැඳ මේ ඔබගේ ගැල එතර කිරීමේ කුලියයැ යි කාළකගේ ගෙල එලවීය. ඔහු දහසින් බැඳි සියල්ල ගෙන මව් වෙත යන්නේ, ගම් දරුවෝ මැහැලියගේ කාළකගේ ගෙලෙහි කුමක්දැ යි බෝසතුන් ළඟට එති. කාළක ඔවුන් ලුහුබැඳ දුරදී ම පලවා හැර මව් ළඟට ම ගියේය. ගැල් පන්සියයක් එතැර කිරීම නිසා කාළකගේ ඇස් රතුවී විඩාවට පත් වූ සේ පෙනිණි. උපාසිකාව ඔහු ගෙල බැඳි දහසින් පිරි පොදිය දැක පුත, මේ ඔබ කොහින් ලැබුවේ ද? ගම් දරුවන්ගෙන් විමසූහ. එපුවත අසා පුත, මම ඔබ ලත් කුලියෙන් ජීවත්වනු කැමැත්තී ද? මෙතරම් දුක් වින්දේ කිමදැ යි කියා බෝසතුන් උණු දියෙන් නාවා මුළු ඇඟ තෙල් ගා පැන් පොවා පථ්‍යය අහර කවා දිවි කෙළවර බෝසතුන් සමග කම් වූ පරිදි මිය ගියාය.