10. මුනික ජාතකය (30)
“මා මුනිකස්සාති” යන මේ ජාතකය බුදු රජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වසන්නාහු, මැදවියට පත් ගැහැනියකගේ පෙළඹවීමක් අරබයා දේශනා කළහ. මෙහි කථා පුවත තෙළෙස් වැනි නිපාතයෙහි චුල්ල නාරදකස්සප ජාතකයෙහි එන්නේය. බුදුරදහු ඒ භික්ෂුවගෙන් සැබෑද මහණ, ඔබ උකටලී වූයේ වෙහි ද? එ සේය ස්වාමීනි, මක් නිසා ද? ස්වාමීනි, ථුල්ල කුමාරිකාවක නිසාය. බුදුරදහු මහණ, ඒ ගැහැනිය ඔබට අනර්ථකාරීය. පෙර ද ඔබ ඇගේ විවාහ දිනයේ දී මියගොස් ජනයාට කටගැස්මක් බවට පත්වූවෙහි යි කියා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරන කල්හි බෝසතාණෝ එක් කුඩා ගමක එක කෙළෙඹියකුගේ ගෙයි ගව යෝනියෙහි උපන්හ. නමින් මහා ලෝහිත විය. ඔහුට චුල්ල ලෝහිත නමින් සොහොයුරකු ද විය. ඒ ගෙහි සියලු කාර්යය භාරය දෙසොහොයුරන්ගෙන් සිදු වේ. ඒ ගෙයි එක් කුමරියක ද ඇත. ඇය එනුවර වැසි එක් මනුෂ්ය කුල පුත්රයකුට ආවාහ කැර දීමට තීරණය කළේය. ඇගේ මව්පියෝ ඇගේ විවාහ මඟුලේ දී පැමිණි අමුත්තන්ට කටගැස්මක් වන්නේයැ යි කැඳබත් දී එක් මුනික නම් ඌරකු ද ඇතිදැඩි කළහ. මේ දුටු චුල්ල ලෝහිත සොහොයුරුගෙන් විමසීය. අප සොහොයුරන් නිසා මෙගෙදර සියලු වැඩ කටයුතු ඉටුවේ. මේ මිනිස්සු තණ හා පිදුරුම දෙති. මේ ඌරා කැඳබත් ආදියෙන් පෝෂණය කරති. ඌරා කුමන කරුණකින් ඒවා ලබයි ද? සොහොයුරු චුල්ලලෝහිතය. ඔබ ඌරාගේ භෝජනයට ආශා නො කරනු. මේ ඌරා මළබත් අනුභව කරයි. මේ කුමරියගේ විවාමඟුලේ දී පැමිණි අමුත්තන්ට කටගැස්මක් වන්නේයැ යි මොවුහු ඌරා පෝෂණය කරති. තව දින කීපයකින් ඒ අමුත්තෝ පැමිණෙති. එවිට ඌරා පාවලින් අදිමින් ඇඳ යටින් ගෙන මරා අමුත්තන්ට සූප ව්යඤ්ජන වන අයුරු ඔබට දැක ගත හැකි යි මේ ගාථාව කීය.
“මා මුනිකස්ස පිහයි ආතුරන්නාති භුඤ්ජති,
අප්පොස්සුක්කො භූසං ඛාද එතං දීඝායු ලක්ඛණන්ති”
අප්පොස්සුක්කො භූසං ඛාද එතං දීඝායු ලක්ඛණන්ති”
“මුනිකගේ අහරට ආසා නො කරන්නේය. ඔහු බුදින්නේ මළ මතය. නිරපේක්ෂව ලැබෙන පිදුරු කන්න. එය දීර්ඝායුෂ ලැබීමට කරුණුය.”
එහි “මා මුනිකස්ස පිහයි” මුනික ඌරාගේ අහරට ආසා නවත්වා දමනු. ඔහු කන්නේ මිහිරි බොජුනකැ යි ඔහුගේ අහරට ආසා නො කරනු. කවදා නම් මම ද ඔහු මෙන් සැපවත් වෙම්දැ යි මුනිකගේ තත්ත්වය නො පතව. “ආතුරන්නාති භුඤ්ජති” මෙහි “ආතුරන්නාති” නම් මළ බතයි. “අප්පොස්සුක්කො භූපං ඛාදා” ඔහුගේ භෝජනය ලැබීමට උත්සාහ නො කැර තමාට ලැබෙන පිදුරු කනු. “එතං දීඝායු ලක්ඛණන්ති” ඒ ආයු කාලය වැඩීමට හේතු වේ. ඉක්බිති ටික දිනකින් ම අමුත්තෝ ආහ. එවිට මුනික මරා නන් අයුරින් මස් පිසූහ. බෝසත්හු චුල්ල ලෝහිතට මෙසේ කීය. සොයුර, ඔබ මුනික දුටුවෙහි ද? එ සේය සොහොයුරාණෙනි, මුනිකගේ භෝජන ඵලය දුටිමි. ඔහුගේ ඒ බතට වඩා අපගේ තණ හා පිදුරු ආහාරය සිය ගුණයෙන් උසස් වේ. නිවැරදි වේ. දීර්ඝායුෂ ලක්ෂණයක් ද වේ.
බුදුන් වහන්සේ මහණ, ඔබ මෙසේ පෙර ද මේ කුමරිය නිසා ජීවිතක්ෂයට පත්ව මහජනයාගේ කටගැස්මක් බවට පැමිණියේ නවැ යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා සිව්සස් දෙසූහ. සිව්සස් කෙළවර උකටලී භික්ෂුව සෝවාන් පෙළෙහි පිහිටියේය. බුදුරජාණන් වහන්සේ අනුසන්ධි ගළපා ජාතකය නිමවා වදාළ සේක. එකල්හි මුනික සූකරයා උකටලී භික්ෂුව විය. චුල්ල ලෝහිත ආනන්ද විය. මහා ලෝහිත මම ම වීමි.
තෙවැනි කුරුඞ්ග වර්ගයයි.
4. කුලාවක වර්ගය
1. කුලාවක ජාතකය (31)
“කුලාවකාති” යන මේ ජාතක කථාව බුදුරදුන් ජේතවනාරාමයෙහි වසන සේක්, නො පෙරන ලද ජලය පානය කළ භික්ෂුවක අරබයා දෙසූහ. යහළු භික්ෂු දෙනමක් සැවැත් නුවරින් ඈත දනව්වකට ගොස් බත් පහසු තැනක සිත් වූ පරිදි වැස බුදුරදුන් දකින්නෙමු යි, එයින් නික්ම දෙව්රම බලා ගියහ. එක භික්ෂුවක අත පැන් පෙරහනක් ඇත. අනික් භික්ෂුවට නැත. දෙදෙනා ම එකතුව පැන් පෙරා බොති. දිනක් ඔවුහු විවාහ කළහ. පෙරහන හිමි භික්ෂුව අනික් භික්ෂුවට පෙරහන නො දී තමා ම පැන් පෙරා පානය කළේය. අනික් භික්ෂුව පෙරහන නො ලැබ දරා සිටීමට නො හැකි ව නො පෙරා ම පැන් පානය කළේය. ඒ දෙදෙනා ම පිළිවෙළින් දෙව්රම් වෙහෙරට අවුත් බුදුරදුන් වෙත පැමිණ වැඳ හුන්හ. උන්වහන්සේ ඔවුන්ගෙන් සුවදුක් විචාරා කොහේ සිට පැමිණියහුදැ යි ඇසූහ. ස්වාමීනි, අපි කොසොල් රට එක් කුඩා ගමක වැස එයින් නික්ම ඔබවහන්සේ දකිනු පිණිස පැමිණියෝ වෙමු. ඔබ දෙදෙන සමගියෙන් ආවහු ද? පෙරහන නැති භික්ෂුව ස්වාමීනි, අතර මඟ දී මොහු මා සමග විවාදකොට මට පෙරහන්කඩය නො දුන්නේය. අනෙක් භික්ෂුව මෙසේ කීය. ස්වාමීනි, මේ භික්ෂුව නො පෙරා ම දැන දැන ප්රාණීන් සහිත පැන් පානය කළේය. මහණ සත්යය ද? නො පෙරා දැන දැන ප්රාණීන් සහිත පැන් පානය කළෙහි ද? ස්වාමීනි, එ සේය. මා විසින් නො පෙරා පැන් පානය කරන ලදි. මහණ, පෙර නුවණැත්තෝ දිව්යය නගරයක රාජ්යය කරවන්නාහු යුදයෙන් පැරදී මුහුද මතින් යන්නාහු, තම සම්පත් සඳහා ප්රාණ වධ නො කරෙන්නෙමු යි ඒ සා මහත් සම්පත් අතහැර ගුරුළු පැටවුන් වෙනුවෙන් තම ජීවිතය අතහැර රථය නැවැත්වූහ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.