8. නන්දිවිසාල ජාතකය (28)
“මනුඤ්ඤ මෙව භාසෙය්‍යා” යන මෙම ජාතකය බුදු රදහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, සවග මහණුන්ගේ පරුෂ තෙපුල් අරබයා දෙසූහ. එකල සවග මහණනු සිල්වත් මහණුන්ට ගරහත්. හෙළා දකිත්. වදන් ඊයෙන් විදිත්. දශවිධ වස්තුවෙන් පරිභව කරත්. භික්‍ෂූහු බුදු රදුන්ට සැලකළහ. බුදු රදහු සවග මහණුන් කැඳවා මහණෙනි, සත්‍යයදැ යි විමසා සත්‍යයැ යි කී කල්හි, දෝෂාරෝපණය කොට මහණෙනි, පරොස් බස වනාහි තිරිසන් සතුන්ට වුව ද රුචි නො වේ. පෙර එක් තිරිසන් සතකු තමාට පරොස් බසින් කථා කරන්නකු දහසකින් පැරදවීයැ යි අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර ගන්ධාර රට තක්සලාවෙහි ගන්ධාර නම් රජෙක් රාජ්‍යය කළේය. එකල බෝසත්හු ගව යෝනියෙහි උපන්නේය. ඔහු තරුණ වසු කාලයෙහි ම එක බමුණෙක් ගෝ දානය දෙන මිනිසුන් වෙත ගොස් ගොනකු ලැබ නන්දි විසාල යැයි නම්කොට පුත් තනතුරෙහි තබා ඉතා ආදරයෙන් කැඳබත් ආදිය ද පෝෂණය කළේය. බෝසත්හු වියට පත්වෙත් ම සිතූහ. මා, මේ මහණ විසින් දුක සේ පෝෂණය කරන ලද්දේය. මේ සියලු දඹදිව මා හා සමග බර ඇදීමට සමත් වෙනත් කෙනකු නැත. මම තම බලය පෙන්වා මේ බමුණාට මා පෝෂණය කිරීමේ වේතනය ලබාදෙන්නේ නම් මැනවි. ඔහු දිනක් බමුණාගෙන් මෙසේ ඇසීය. බමුණ, ගව සම්පත් ඇති එක් සිටුවරයකු වෙත ගොස් මාගේ ගොනා එකට බඳනා ලද ගැල් සියයක් අදී යි කියා දහසක් පරදුවට තබන්න. ඒ බමුණා ද සිටු වෙත ගොස් කථාව ඇරඹීය. මෙනුවර කාගේ ගොන්නු ශක්තිමත් ද? ඉක්බිති සිටුවරයා අසවල් අසවල් අයගේයැ යි කියා මෙනුවර අප ගොනුන් සමාන ශක්තිමත් තවත් ගොනුන් නැතැ යි කීය. බමුණා, මගේ එක් ගොනකු එකට බැඳි ගැල් සියයක් එකවර ඇදීමට සමත්යැ යි කීය. සිටුවරයා ගැහැවියෙනි, එබඳු ගොනකු කොහි සිටීදැ යි ඇසීය. මාගේ ගෙහියැ යි බමුණා කීය. එසේ නම් පරදුවක් තබන්න. හොඳයි තබමි යි සිටු දහසකට පරදු තැබීය.
සිටුවරයා ගැල් සියයට වැලි, බොරළු, ගල් ආදිය පුරවා පිළිවෙලින් තබා බන්ධන යොතින් එකට බැඳ නන්දිවිසාල නහවා සුවඳින් පසැඟිලි දී ගෙල මල් මාලා පළඳවා පෙරට තැබූ ගැලෙහි තනි ව යොදා තමා පෙර අසුනෙහි හිඳ කෙවිට ඔසවා කුළු ගොනා අඳුව, කුළු ගොනා ඔසව යි කීය. එවිට බෝසත් මේ බමුණා කුළු නොවූ මා කුළෙකු ලෙස කියයි. පාසතර ටැම් සතරක් ලෙස නිසලකොට සිටියේය. සිටුවරයා එකෙණෙහි ම දහසේ පරදුව ගෙන්වා ගත්තේය. බමුණා දහසකින් පැරදි ගොනා මුදා ගෙට ගොස් ශෝකානුකූලව හොත්තේය. නන්දිවිසාල අවුත් බමුණා ශෝකයෙන් මැඬී සිටිනු දැක කිම බමුණ, නිදන්නේ ද? දහසකින් පැරදි මම කවර නිදීමක් ද? බමුණ, මෙතෙක් කල් ඔබ ගෙදර වසන මා විසින් බිඳින ලද භාජනයක්වත් ඇත්තේ ද? කිසිවක් පාගන ලද්දේ ද? නුසුදුසු තැනක මළමුත්‍ර කළේ ද? නැත දරුව, එ සේ නම්, මට මක්නිසා කුළු වාදයෙන් කථා කළේ ද? වරද ඔබගේය. මගේ නො වේ. යව. සිටු සමග දෙදහසකින් ඔට්ටු තබව. එහෙත් කුළු නො වූ මට කුළු වාදයෙන් කථා නො කරනු.