7. අභිණ්හ ජාතකය (27)
“නාලං කබලං පදාතවෙ” යන මේ ජාතක දේශනාව බුදු රජහු ජේතවනයෙහි වසන සේක්, එක් උපාසකයකු ද මහළු භික්‍ෂුවකු ද අරබයා වදාළහ. සැවැත් නුවර යහළුවෝ දෙදෙනෙක් වූහ. ඔවුනතුරින් එක යහළුවෙක් පැවිදි වී දවස් පතා අනික් යහළුවාගේ ගෙදර යයි. ඔහු භික්‍ෂුවට දන් දී තමා ද අනුභවකොට ඔහු සමග ම විහාරයට පැමිණ හිරු බැස යන තුරු අල්ලාප සල්ලාපයෙහි පෙළෙමින් හිඳ නුවරට යයි. අනිකා ද නගර දොරටුව දක්වා පසු ගමන්කොට නවතී. මේ දෙදෙනාගේ මිත්‍රකම භික්‍ෂූන් අතර ප්‍රකට විය. එක් දිනක් භික්‍ෂූහු දම් සභාවෙහි මේ දෙදෙනාගේ මිත්‍රබව පිළිබඳ කථා කරමින් හුන්හ. බුදුන් වහන්සේ දම් සභාවට වැඩ මහණෙනි, දැන් කිනම් කථාවකින් හුන්නහුදැ යි ඇසූහ. ස්වාමීනි, භික්‍ෂූහු මෙබඳු කථාවකිනැ යි කියහු. මහණෙනි, මොවුහු දැන් පමණක් යහළු වූවෝ නො වෙති. පෙර ද යහළුවෝ යි අතීත කථාව ගෙන හැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරන කල්හි බෝසත්හු ඇමැති වූහ. එකල එක් සුනඛයකු මගුල් ඇත් හළට ගොස් මඟුලැති බොජුන් ගන්නා තැන වැටී තිබුණ බත් තළු කයි. සුනඛයා ඒ අහරින් ම යැපෙන්නේ, මඟලැතුගේ මිත්‍රයෙක් වූයේය. ඇතු සමග ම අහර ගනී. දෙදෙනා ම ඔවුනොවුන්ගෙන් වෙන්ව විසීමට නො හැක්කේය. ඇතා, සුනඛයා සොඬින් ගෙන ඔබිනොබ සොළවමින් සෙල්ලම් කරයි. දිනක් ගම් වැසි මිනිසෙක් ඇත් ගොව්වාට මිල දී සුනඛයා ගෙන තම ගමට ගියේය. එතැන් පටන් ඒ ඇතු සුනඛයා නො දැක නො කයි. නො බොයි. නො නායි. මෙකරුණ රජුට සැලකළහ. රජ බෝසතුන් යැවීය. පඬිතුමනි, යන්න. කවර කරුණක් නිසා ඇතු මෙසේ කරනුදැයි දැනගන්න.
බෝසත්හු ඇත්හළට ගොස් ඇතුගේ දොම්නස් ස්වභාවය දැන මොහුගේ සිරුරේ කිසි රෝග ලක්‍ෂණයක් තිබෙන්නේ නැත. මොහු කිසිවකු සමග මිත්‍රත්වයෙන් වූයේ විය යුතුය. ඔහු නො දැකීමෙන් ඇති වූ ශෝකයෙන් මෙසේ වූවා විය යුතුයැ යි සිතා ඇත් ගොව්වන්ගෙන් විමසූහ. මොහුට කිසිවකු සමග විශ්වාසයක් ඇත් ද? එ සේය ස්වාමීනි, එක් සුනඛයකු සමග බලවත් මිත්‍රකමක් තිබිණැ යි කීහ. දැන් ඒ සුනඛයා කොහිද? එක් මිනිසකු විසින් ගෙනයන ලද්දේය. ඔහුගේ නිවස දන්නේ ද? නො දනිමි ස්වාමීනි, බෝසත්හු රජු සමීපයට ගොස් මහරජ, ඇතුට කිසි රෝගයක් නැත. එක් සුනඛයකු සමග සිල්වත් විශ්වාසයක් තිබිණි. ඌ නො දැකීම නිසා අහර නො බුදිතැ යි හඟිමි යි මේ ගාථාව කීහ.
“නාලං කබලං පදාතවෙ නච පිණ්ඩං න කුසේ න ඝංසිතුං,
මඤ්ඤාමි අභිණ්හ දස්සනා නාගෙ සිනෙහමකාසි කුක්කුරෙති”
“මඟුලැතු අහර පිඬු ගැනීමට අසමත්ය. එ සේ ම බත් පිඬු හෝ දෙන ලද තණ හෝ ගැනීමට අසමත්ය. නහන විට සිරුර ඉලීම් ආදියට ද අසමත්ය. සුනඛයා නිතර දැකීමෙන් ඔහු කෙරෙහි ආදරය කළේයැ යි සිතමි.”
එහි “නාලං” නො සමතකු “කබලං” ආහාර වේලාවෙහි පළමුවෙන් දෙන කුළු ආහාර, “පදාතවෙ” යි මෙහි පාදාතවෙ, සිටිය යුතු තැනය අකාර ලෝපය දත යුතුය. ගැනීමට යන අර්ථයයි. “න ච පිණ්ඩං” කෑම සඳහා ගුලි කොට දෙනු ලබන බත් පිඬ ගැනීමට අසමත්ය. “න කුසෙ” දෙන ලද තණ ද ගැනීමට අසමත්ය. “න ඝංසිතුං” නාවන කල්හි සිරුර ඉලීමට ද අසමත්ය. මෙසේ යමක් කිරීමට අසමත් ද, ඒ සියල්ල රජුට සැලකොට ඒ අසමත් වීමට හේතු වශයෙන් තමා සලකන කරුණ සැලකරන්නේ, “මඤ්ඤාමි” ආදිය කීහ.
රජු ඔහුගේ වදන් අසා පණ්ඩිතයිනි, දැන් කුමක් කළ යුතුදැ යි විචාළේය. අප මගුල් ඇතුගේ යහළු සුනඛයා එක් මිනිසෙක් ගෙන ගියේය යම් ගෙදරක සිටී නම් ඔහුට මෙපමණ දඩයැ යි බෙර හසුරුවන මැනවැ යි බෝසත්හු කීහ. රජ එ සේ කැරවීය. මේ පුවත අසා සුනඛයා ගෙනගිය මිනිසා ඌ අත්හළේය. සුනඛයා වේගයෙන් ගොස් ඇතු සමීපයට ම ගියේය. ඇතු ඌ සොඬින් ගෙන කුඹෙහි තබා හඬා වැළප කුඹින් බස්වා ඌ කෑ පසු තමා කෑවේය. තිරිසනාගේ සිතැඟි දනිතැ යි බෝසත්හු හට මහත් සම්පත් දුන්නේය.
බුදුරදහු මහණෙනි, මොවුන් විශ්වාසවන්ත වූයේ දැන් පමණක් ම නො වේ. පෙර ද විශ්වාසිකයෝ වූහැ යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා සිව්සස් කථාවෙන් අවසන්කොට අනුසන්ධි ගළපා ජාතකය නිමවා වදාළ සේක. මේ සිව්සස් කථාවෙන් අවසන් කිරීම සියලු ජාතකයන්හි ඇත. අපි වනාහි යම් අරුතක ආනිශංසයක් පෙනේනම්, එහි දී ම දක්වන්නෙමු.
එකල්හි සුනඛයා උපාසකයා විය. ඇතා මහලු තෙරය. ඇමැති පඬිවරයා මම ම වීමි.
8. නන්දිවිසාල ජාතකය (28)
“මනුඤ්ඤ මෙව භාසෙය්‍යා” යන මෙම ජාතකය බුදු රදහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, සවග මහණුන්ගේ පරුෂ තෙපුල් අරබයා දෙසූහ. එකල සවග මහණනු සිල්වත් මහණුන්ට ගරහත්. හෙළා දකිත්. වදන් ඊයෙන් විදිත්. දශවිධ වස්තුවෙන් පරිභව කරත්. භික්‍ෂූහු බුදු රදුන්ට සැලකළහ. බුදු රදහු සවග මහණුන් කැඳවා මහණෙනි, සත්‍යයදැ යි විමසා සත්‍යයැ යි කී කල්හි, දෝෂාරෝපණය කොට මහණෙනි, පරොස් බස වනාහි තිරිසන් සතුන්ට වුව ද රුචි නො වේ. පෙර එක් තිරිසන් සතකු තමාට පරොස් බසින් කථා කරන්නකු දහසකින් පැරදවීයැ යි අතීත කථාව ගෙනහැර දැක්වූහ.