6. මහිලාමුඛ ජාතකය (26)
“පුරාණචොරාන වචො නිසම්මාති” යන මේ ජාතක දේශනය බුදුරදුන් වේළුවනයෙහි වසන සේක්, දෙව්දත් අරබයා වදාළහ. දෙව්දත් අජාසත්ත කුමරා පහදවාගෙන ලාභ සත්කාර නිපදවා ගන්නේය. අජාසත් කුමරු දෙවිදතුන්ට ගයා ශීර්ෂයෙහි විහාරයක් කැරවා නොයෙක් රසවුලෙන් යුත් තුන්වස් සුවඳ ඇල් බොඩුන් සැලි පන්සියයක් දිනපතා එළවීය. ලාභ සත්කාර නිසා දෙව්දත්ගේ පිරිවර ද මහත් විය. ඔහු පිරිවර සමග විහාරයෙහි වෙසෙයි. එකල රජගහ නුවර වැසි යහළුවෝ දෙදෙනෙක් වූහ. ඔවුන් අතුරින් එක් අයකු බුදුන් වෙත පැවිදි වූ අතර අනෙක් යහළුවා දෙව්දත් ළඟ පැවිදි විය. මේ දෙදෙනා ඔවුනොවුන් තැන් තැන්වල දී හමුවෙත්. විහාරයට ගොස් ද හමුවෙත්.
දිනක් දෙව්දත් ඇසුරු කරන භික්ෂුව, අනිකාට මෙසේ කීවේය. ඇවැත්නි, ඔබ දිනපතා දහඩිය වගුරුවමින් පිඬුපිණිස හැසිරෙන්නේ කුමට ද? දෙව්දත් ගයා සීස විහාරයෙහි හිඳිමින් ම නොයෙක් රසයෙන් යුත් මිහිරි බොජුන් වළඳයි. මෙවැනි වෙන උපායක් නැත. ඔබ දුක් විඳින්නේ කුමට ද? අළුයම ගයා සීසයට අවුත් අවුළු සහිත කැඳ බී අටළොස් වැදෑරුම් කැවිලි කා නොයෙක් රසයෙන් යුත් මිහිරි බොජුන් බුදින්න ඔබට නො වටී ද? මෙසේ නිතර නිතර කියනු ලබන්නේ යනු කැමැති ව එතැන් පටන් ගයා සීසයට ගොස් ඇතිතාක් අනුභව කොට වේළුවනයට එයි. ඔහුට මෙකරුණ සැමදා සඟවා තබන්නට නො හැකි විය. ගයා සීසයට ගොස් දෙව්දත් පිරිනැමූ බොජුන් වළඳතැ යි නොබෝ දිනකින් ම ප්‍රකට විය. ඔහුගේ යහළු භික්ෂූහු, ඇවැත්නි, ඔබ දෙව්දත් පිරිනැමූ බොජුන් වළඳන්නේ සැබෑ දැ යි ඇසූහ. ඔබට කීවෝ කවුරු ද? අසවල් අසවල් අයයැ යි කීහ. ඇවැත්නි සත්‍යයකි. මම ගයා සීසයට ගොස් වළඳමි. එහෙත් දෙව්දත් මට අහර නො දෙයි. වෙනත් මිනිස්සු මට අහර දෙති. ඇවැත්නි, බුදුරදුන්ට විරුද්ධ වූවෙකි. එ සේ ම දුසිල්වත්ය. අජාසත් පහදාගෙන අකැප වශයෙන් තනිව ලාභ සත්කාර උපදවා ගත්තේය. ඔබ මෙවැනි නිවන් මඟට යොමු කරන සසුනෙහි පැවිදි ව දෙව්දත්ගේ අධර්මයෙන් ලැබුණ බොජුන් වළඳන්නෙහි. එව, බුදු රදුන් වෙත, ඔබ පමුණුවන්නෙමි. ඒ භික්ෂුව ගෙන දම් සභාවට ගියහ.
බුදුන් වහන්සේ ඒ දැක, කිම මහණෙනි, නො කැමැත්තෙන් ම භික්ෂුවක් මෙහි රැගෙන එන්නහු ද? එ සේය ස්වාමීනි, මේ භික්ෂුව ඔබවහන්සේ ළඟ පැවිදි ව දෙව්දත් අධර්මයෙන් උපදවා ගත් බොජුන් වළඳයි. මහණ, ඔබ දෙව්දත් අධර්මයෙන් උපදවාගත් බොජුන් වළඳන්නේ ඇත්තද? ස්වාමීනි, දෙව්දත් මට ආහාර නො දෙයි. මිනිස්සු මට දෙති. ඒ අහර මම වළඳමි. මහණ මේ කරුණේදී ලෝස මාත්‍රයක් ගැනීම නො කළ යුතුයි. දෙව්දත් අනාචාරීය. දුසිල්වත්ය. මහණ, ඔබ මෙහි පැවිදි ව මාගේ සසුන ඇසුරු කරමින් ම දෙව්දත්ගේ අහර ගැනීම සුදුසු ද? කවදත් අනුගාමිකයකු වූ ඔබ දුටුදුටවන් ඇසුරු කරන්නෙහියැ යි කියා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසතාණෝ ඒ රජුගේ ඇමැතියෙක් වූහ. එකල රජුගේ මගුලැතා මහිලාමුඛ නම් විය. සිල්වත්ය. ආචාර සම්පන්නය. කිසිවෙක්ට හිංසා නො කරයි. එක් දවසක් ඇත්හල ළඟ රාත්‍රී මැදියම්හි සොරු අවුත් මඟුලැති නුදුරෙන් හිඳ කුමන්ත්‍රණය කළහ. මෙසේ උමං සෑරිය යුතුය. බිත්ති සන්ධි බිඳීම මෙසේ කළ යුතුය. උමග සහ ගෘහ සන්ධි මාර්ගයක මෙබඳුය. නැව් තොටක් වැන්නය. අවුල් බාධක නැතිකොට භාණ්ඩ පැහැර ගත යුතුය. පැහැර ගන්නා විට අනිකා මරා ම ගත යුතුය. එවිට විරුද්ධ ව එන්නන් නො වන්නේය. සොරු වනාහි ආචාර සම්පන්න නො විය යුත්තෝය. නපුරු සැර පරුෂ දරුණු අයකු විය යුතුය. මෙසේ ඔවුනොවුන් කථාකොට ඔවුනොවුන් උගන්වා ගියහ. මෙසේ ඔවුහු බොහෝ දිනක් මේ සොරු එතනට අවුත් කුමන්ත්‍රණ කළහ. මගුලැති ඔවුන්ගේ වදන් අසා මට උගන්වතැ යි යන හැඟීමෙන් දැන් මා ඔවුන් මෙන් ම නපුරු දරුණු සාහසිකයකු විය යුතුයැ යි සිතා එබන්දෙක් ම විය. අලුයම ඇතු ළඟට ආ ඇත්ගොව්වා සොඬින් ගෙන බිම ගසා මරා දැමීය. මෙසේ තව්ත එකකු තවත් එකකු වශයෙන් ඔහු ළඟට පැමිණි හැම දෙනම මරා දමයි.