5. තිත්ථ ජාතකය (25)
“අඤ්ඤමඤ්ඤෙහි තිත්‍ථෙහි” යන මේ දේශනය බුදු රජහු දෙව්රම් වෙහෙර වසන්නාහු. දම් සෙනෙවි හිමිගේ අතවැසි එක් රන්කරු පුතකු වූ භික්‍ෂුවක් අරබයා වදාළහ. කෙනකුගේ සිතැඟි වෙසෙස් දන්නා නුවණ බුදුවරුන්ට ම වේ. අන් අයට නො වේ. එම නිසා දම් සෙනෙවි සැරියුත් තෙරණුවෝ තමාට ආසය අනුසය ඥානය නැති බැවින් සිතැඟි නො දැන අසුභ කමටහන ම කියා දුන්හ. එය ඔහුට සුදුසු නො වීය. මක්නිසා ද? ඔහු වනාහි පිළිවෙලින් ආත්ම පන්සියක් රන්කරු ගෙයක ම පිළිසිඳ ගත්තේය. ඔහුට මෙසේ බොහෝ කාලයක් රන් දැකීමෙන් හා භාවිතයෙන් අසුභ කමටහන යෝග්‍යය නො වූයේය. ඔහු එහි උපචාර නිමිති මාත්‍රයක් හෝ උපදවා ගනු නො හැකිව සිව් මසක් ගෙවීය.
දම් සෙනෙවි තෙරණුවෝ තම අතවැසි භික්‍ෂුවට රහත්බව ලබාදීමට නො හැකිව ඒකාන්තයෙන් මොහු බුදුන් විසින් හික්මවිය යුතු අයකු යි බුදුරදුන් වෙත ගෙනයන්නෙමැ යි සිතා අලුයම් වේලෙහි ඔහු ගෙන බුදුරදුන් වෙත වැඩියහ. බුදුරදහු කිම සාරිපුත්‍රය, එක් භික්‍ෂුවක් රැගෙන ආවෙහි යි ඇසූහ. ස්වාමීනි, මම මොහුට කමටහන් දුනිමි. සිව් මසකින් නිමිති මාත්‍රයක් හෝ ඉපදවීමට නො හැකි විය. මොහු බුදුරදුන් විසින් හික්මවිය යුතු අයකු යි සිතා බුදුරදුන් වෙත ගෙන එමි. සාරිපුත්‍රය, ඔබ කිනම් කමටහනක් අතවැසි භික්‍ෂුවට දෙන ලද්දේ ද? භාග්‍යවතුන් වහන්ස, අසුභ කමටහන දුනිමි. සාරිපුත්‍රය, ඔබගේ සන්තානයෙහි පුද්ගලයන්ගේ හැඟීම්වල විශේෂතා දන්නා ඤාණය නැත. දැන් යන්න. සවස් භාගයෙහි අවුත් ඔබ අතවැසියා රැගෙන යන්න. මෙසේ බුදුරදුන් සැරියුත් තෙරුන් යවා ඒ භික්‍ෂුවට කැමැති අඳන සිවුර දෙවා ඒ භික්‍ෂුව සමගම පිඬු පිණිස හැසිර රසවත් කන බොන දේ දෙවා මහසඟන පිරිවරන ලදුව නැවත විහාරයට වැඩමවා ගඳකිළියෙහි දවල් කාලය ගතකොට සවස් කාලයෙහි ඒ භික්‍ෂුව රැගෙන විහාර චාරිකාවෙහි හැසිරෙමින් අඹ උයනෙහි පොකුණක් මවා එහි නෙළුම් පඳුරක් ද එහි මහත් නෙළුම් මලක් ද මවා මහණ, මේ නෙළුම් මල දෙස බලා හිඳුව යි, ඔහු එහි රඳවා ගඳකිළියට වැඩියහ.
ඒ භික්‍ෂුව නෙළුම් මල නැවත නැවත බලයි. බුදුරදහු ඒ මල ක්‍රමයෙන් පරවුණු මලක් බවට පත් කළහ. ඔහු බලා සිටියදී ම පරවී විවර්ණ බවට පත්විය. මලෙහි පෙති සියල්ල ද මොහොතකින් වැටිණි. අනතුරුව මල් රේණු ද වැටී මල් කෙමිය පමණක් ඉතිරි විය. භික්‍ෂුව ඒ බලමින් සිතීය. මේ නෙළුම් මල දැන් ම ඉතා මනහර ලෙස පැවැතියේය. දැකුම්කළු විය. දැන් ඒ වර්ණය වෙනස් විය. පෙති ද රේණු ද වැටිණි. කෙමිය පමණක් ඉතිරි ව තිබේ. මේ පියුම පවා මහළු බවට පැමිණියේය. මගේ ශරීරයට නො එන්නේ ද? හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියල්ල ම අනිත්‍යයැ යි සිත විදර්ශනාවෙහි පිහිටුවීය. බුදුරදහු ගඳකිළියේ ම වැඩ සිටියේ, ඔහුගේ සිත විදර්ශනාවට නැගුණු බව දැක ආලෝකයක් විහිදුවා මේ ගාථාව වදාළහ.
“උච්ඡින්‍ද සිනෙහ මත්තනො කුමුදං සාරදිකං ව පාණිනා,
සන්ති මග්ගමෙව බ්‍රෑහය නිබ්බාණං සුගතෙන දෙසිතන්ති”
“මහණ, සරත් කාලයෙහි හටගත් කුමුදු මලක් අතින් කඩන්නාක් මෙන් තමාගේ සිත හා බැඳි ආශාව සිඳ දමන්න. බුදුන් විසින් දෙසන ලද ශාන්ති මාර්ගය නම් වූ නිවන වඩන්න.”
ඒ භික්‍ෂුව ගාථා කෙළවර රහත් බවට පත්ව මම සියලු භවයෙන් මිදුනෙමින් සිතා,
“සො වුත්‍ථවාසො පරිපුණ්ණ මානසො, ඛීණාසවො අන්තිමදෙහධාරී,
විසුද්ධසීලො සුසමාහිතින්‍ද්‍රියො, චන්දො යථා රාහුමුඛා පමුත්තො.
සමොතතං මොහ මහන්‍ධකාරං, විනොදයිං සබ්බමලං අසෙසං,
ආලොකමුජ්ජොතකරො පභඞ්කරො, සහස්සරංසී විය භානුමා නභෙති”
“ඒ මම සසුන් බඹසර විසුවෙමි. පිරිපුන් සිත් ඇත්තේ වෙමි. ආශ්‍රව ධර්ම නැති කෙළෙමි. සසර කෙළවර සිරුර දරන්නේ වෙමි. පිරිසිදු සිල් ඇත්තේ වෙමි. සංවර වූ ඉඳුරන් ඇත්තේ වෙමි. රාහු මුඛයෙන් මිදුණු චන්‍ද්‍රයා මෙන් වීමි.
පැතිරී ගිය මෝහ නැමැති ගනඳුර දුරු කෙළෙමි. ඉතිරි නො කොට සියලු කෙළෙස් මළ දුරු කළෙමි. අහසෙහි ආලෝකය පතුරුවන, පැහැ විහිදුවන සූර්යයා මෙන් බබළමි.”
ආදී ගාථාවලින් උදන් ඇනීය. උදන් අනා පළමුකොට ගොස් බුදුරදුන් වැන්දාහ. සැරියුත් තෙරණුවෝ ද පැමිණ බුදුරදුන් වැඳ තම අතවැසි භික්‍ෂුව රැගෙන ගියහ. මේ පුවත භික්‍ෂූන් අතර ප්‍රකට විය. භික්‍ෂූහු දම් සභාවෙහි බුදුරදුන්ගේ ගුණ වණමින් හුන්හ. සැරියුත් තෙරණුවෝ ආසයානුසය ඥානය නැති බැවින් තම අතවැසියාගේ සිතැඟි නො දනිති. බුදුහු දැන එක දවසින් ම ඔහුට සිව් පිළිසිඹියා සමග රහත්බව දුන්හ. අහෝ බුදුවරු වනාහි මහත් ආනුභාව ඇත්තෝ වෙති.
බුදුරදහු පැමිණ පැනවූ අසුනෙහි වැඩහිඳ මෙහි කවර කථාවකින් හුන්නාහුදැ යි විචාළහ. ස්වාමීනි, වෙනත් කථාවකින් නො වේ. ඔබ වහන්සේගේ ම දම් සෙනෙවි ඥානය පිළිබඳ කථාවෙනි. මහණෙනි මා දැන් සම්බුදු ව ඔහුගේ සිතැඟි දැනගැනීම පුදුම නො වේ. පෙර ද මම ඔහුගේ සිතැඟි දත්තෙමි යි අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජ රාජ්‍යය කළේය. එකල බෝසත්හු ඒ රජුට අර්ථයෙන් ද ධර්මයෙන් ද අනුශාසනා කරති. එකල රජුගේ මගුල් අසු නාවන තොටෙහි ඛලුංක ගණයට අයත් වෙළඹ අසකු (පහත් වර්ගයකට අයත් අසකු) නැහැවූයේය. මගුල් අසු, ඛලුංක අශ්වයා නෑ තොටට බස්සවන කල්හි පිළිකුලින් බැසීමට නො කැමැති විය. අස්ගොව් ගොස් රජුට සැලකළේය. රජ බෝසතුන් යැවීය. පණ්ඩිතයෙනි. මගුලසු මක්නිසා දියට බස්නා කල නො බසින්නේදැයි දනුව. බෝසත්හු දේවයිනි, මැනවැ යි, නහන තොටට ගොස් අසු බලා අසුගේ නීරෝග බව ද දැන කුමක් නිසා මොහු තොටට නො බසීදැ යි විමසන්නාහු, ප්‍රථමයෙන් අන් අසකු නහවන ලද්දේ විය යුතුයි. ඒ නිසා මේ අසු පිළිකුලින් නා තොටට නො බසිතැ යි සිතා අස් ගොව්වන්ගෙන් විමසීය. සගයිනි, මෙහි පළමුවෙන් නැහැවූයේ පෙර කුලවන් නො වූ කවරෙක් ද? ස්වාමීනි, වෙනත් වෙළඹ අශ්වයකුයැ යි කීහ.