4. ආජඤ්ඤ ජාතකය (24)
“යදා යදා” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, වීර්යය අත්හළ භික්‍ෂුවක් අරබයා දෙසූහ. බුදුරදහු ඒ භික්‍ෂුව අමතා මහණ, පෙර පඬිවරු අස්ථානගතයෙහි පවා පහර ලැබුව ද වීර්යය කළ හැකියැ යි කියා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරන කල්හි පෙර පරිද්දෙන් ම සත් රජහු නුවර වට කළහ. ඉක්බිති එක් රථයෙහි සිටි යුද්ධ කරන සෙබළෙක් ඔවුනොවුන් සොහොයුරු වූ අශ්වයන් දෙදෙනෙකු රථයෙහි යොදා නගරෙන් නික්ම බලකොටු සයක් බිඳ රජුන් සයදෙනකු අල්ලාගත්තේය. එකල්හි දෙටු අසු පහරක් ලැබූ හෙයින් සෙබලා රථය යොදා මෙහෙයවමින් රජ දොරටුව ළඟට අවුත් දෙටු සොයුරු රියෙන් මුදවා යුද ඇඳුම ළිහිල්කොට එක පසින් හොයා වෙනත් අසකු සදන්න පටන්ගත්තේය. බෝසත් රජු ඒ දැක පෙර පරිද්දෙන් සිතා රථිකයා කැඳවා වැදහොත්තේ ම මේ ගාථාව කීය.
“යදා යදා යත්‍ථ යත්‍ථ යදා යදා,
ආජඤ්ඤො කුරුතෙ වෙගං හායන්ති තත්‍ථ වාළවාති”
“පෙරවරු ආදී යම් යම් කාලයක මඟ යුදබිම ආදී තැනක යම් මොහොතක යුද බලකොටු ආදී තැනක ආයුද ප්‍රහාරයක් ලද හෝ නො ලද කල, ආජඤ්ඤෙ අශ්වයා ම වේග කරයි. වළවා ආදී සෙසු අස්හු පිරිහෙත්.”
එහි “යදා යදා” යනු පෙරවරු ආදී යම් කාලයක, “යත්‍ථ” යි යම් තැනක, මඟෙහි හෝ යුද බිමෙහි හෝ “යදා” යම් මොහොතක, “යත්‍ථ යත්‍ථ” සත්ත්ව බලකොටු මෙන් බොහෝ යුදබිම්වල, “යදා යදා” යම් යම් කලෙක පහරක් ලද කල හෝ නො ලද කල, “ආජඤ්ඤො කුරුතෙ වෙගං” රියදුරුගේ සිත් කැමැත්ත දැනගන්නා ස්වභාව ඇත්තේ යන අරුත්හි ආජඤ්ඤ නම් වූ උසස් කුල අසු වේගවත් වේ. වීර්යය අරඹයි. “හායන්ති තත්‍ථ වාළවා” කුලවත් අසු වේගවත් ව ක්‍රියා කරන කල්හි වළව නම් වූ දුබල අශ්වයෝ පිරිහෙත්. එම නිසා මේ රථයෙහි මා යොදව යි කීය.
රියදුරු බෝසතුන් නැගිටුවා රථයෙහි යොදා සත් වැනි බල කොටුව බිඳ සත් වැනි රජු ද ගෙන රිය පදවමින් රජ දොරටුව වෙත අවුත් සෛන්ධවයා මුදාහළේය. බෝසත්හු එක් පසකින් හොවින්නේ පෙර පරිද්දෙන් ම රජුට අවවාද දී මිය ගියහ. රජු අසුගේ මළ සිරුරු කිස කරවා රියදුරුට සම්මානකොට දැහැමින් රාජ්‍යය කරවා කම් වූ පරිදි මිය ගියේය.
බුදුරදහු දම් දෙසුම ගෙනහැර දක්වා සිව්සස් සමග මේ ජාතකය නිමවූහ. එසේ කෙළවර භික්‍ෂුව රහත් ඵලයෙහි පිහිටියේය. එකල රජ ආනන්ද තෙරණුවෝය. අශ්වයා බුදුරදාණෝය.
5. තිත්ථ ජාතකය (25)
“අඤ්ඤමඤ්ඤෙහි තිත්‍ථෙහි” යන මේ දේශනය බුදු රජහු දෙව්රම් වෙහෙර වසන්නාහු. දම් සෙනෙවි හිමිගේ අතවැසි එක් රන්කරු පුතකු වූ භික්‍ෂුවක් අරබයා වදාළහ. කෙනකුගේ සිතැඟි වෙසෙස් දන්නා නුවණ බුදුවරුන්ට ම වේ. අන් අයට නො වේ. එම නිසා දම් සෙනෙවි සැරියුත් තෙරණුවෝ තමාට ආසය අනුසය ඥානය නැති බැවින් සිතැඟි නො දැන අසුභ කමටහන ම කියා දුන්හ. එය ඔහුට සුදුසු නො වීය. මක්නිසා ද? ඔහු වනාහි පිළිවෙලින් ආත්ම පන්සියක් රන්කරු ගෙයක ම පිළිසිඳ ගත්තේය. ඔහුට මෙසේ බොහෝ කාලයක් රන් දැකීමෙන් හා භාවිතයෙන් අසුභ කමටහන යෝග්‍යය නො වූයේය. ඔහු එහි උපචාර නිමිති මාත්‍රයක් හෝ උපදවා ගනු නො හැකිව සිව් මසක් ගෙවීය.
දම් සෙනෙවි තෙරණුවෝ තම අතවැසි භික්‍ෂුවට රහත්බව ලබාදීමට නො හැකිව ඒකාන්තයෙන් මොහු බුදුන් විසින් හික්මවිය යුතු අයකු යි බුදුරදුන් වෙත ගෙනයන්නෙමැ යි සිතා අලුයම් වේලෙහි ඔහු ගෙන බුදුරදුන් වෙත වැඩියහ. බුදුරදහු කිම සාරිපුත්‍රය, එක් භික්‍ෂුවක් රැගෙන ආවෙහි යි ඇසූහ. ස්වාමීනි, මම මොහුට කමටහන් දුනිමි. සිව් මසකින් නිමිති මාත්‍රයක් හෝ ඉපදවීමට නො හැකි විය. මොහු බුදුරදුන් විසින් හික්මවිය යුතු අයකු යි සිතා බුදුරදුන් වෙත ගෙන එමි. සාරිපුත්‍රය, ඔබ කිනම් කමටහනක් අතවැසි භික්‍ෂුවට දෙන ලද්දේ ද? භාග්‍යවතුන් වහන්ස, අසුභ කමටහන දුනිමි. සාරිපුත්‍රය, ඔබගේ සන්තානයෙහි පුද්ගලයන්ගේ හැඟීම්වල විශේෂතා දන්නා ඤාණය නැත. දැන් යන්න. සවස් භාගයෙහි අවුත් ඔබ අතවැසියා රැගෙන යන්න. මෙසේ බුදුරදුන් සැරියුත් තෙරුන් යවා ඒ භික්‍ෂුවට කැමැති අඳන සිවුර දෙවා ඒ භික්‍ෂුව සමගම පිඬු පිණිස හැසිර රසවත් කන බොන දේ දෙවා මහසඟන පිරිවරන ලදුව නැවත විහාරයට වැඩමවා ගඳකිළියෙහි දවල් කාලය ගතකොට සවස් කාලයෙහි ඒ භික්‍ෂුව රැගෙන විහාර චාරිකාවෙහි හැසිරෙමින් අඹ උයනෙහි පොකුණක් මවා එහි නෙළුම් පඳුරක් ද එහි මහත් නෙළුම් මලක් ද මවා මහණ, මේ නෙළුම් මල දෙස බලා හිඳුව යි, ඔහු එහි රඳවා ගඳකිළියට වැඩියහ.